UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාලබේ ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසල

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ කොට්ඨාසයේ මාලබේ සුසිලාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කරගෙන පවත්වාගෙන යන ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසල කඩුවෙල ශාසනාරක්‍ෂක බල මණ්ඩලය තුළ ඇති දහම් පාසල් අතුරින් අද්විතීය ස්ථානයක් හිමිකර ගත් දහම් පාසලකි. ඉපැරැණි ඉතිහාසයක් ඇති අප දහම් පාසල 1947 වර්ෂයේදී කොළඹ අග්‍ර ශ්‍රාවක මහා විහාරාධිපති භාරත දේශයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස මාහිමිපාණන් වහන්සේ හා ඉන් අනතුරුව විහාරාධිපතිත්වයට පත් හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී අපවත් වී වදාළ පොරවගම සුමනසිරි නා හිමිපාණන් වහන්සේගේ උනන්දුව හා උත්සාහය මත දහම් පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වන තමා හා තමා අවට පරිසරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇති එම අවබෝධය අනුව හැසිරෙන හා එසේ හැසිරීමේ ප්‍රතිඵල අත් දකින දරු පිරිසක් බිහිකරලීමේ අභිලාෂයෙන් සුසිලාරාම ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසල නමින් දහම් පාසලක් ආරම්භ කරන ලදී.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 35 දෙනෙකුගෙන් ආරම්භ වී වර්තමානයේ 1400ක් පමණ විශාල සිසු දරු දැරියන් පිරිසක් අප දහම් පාසල් මාතාවගෙන් දහම් දැනුම ලබති. මූලික ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. සෑම වසරකම අවසානයේ පවත්වනු ලබන ශ්‍රේණි විභාගවලින්ද,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන ශ්‍රේණි විභාගවලින්ද සිසුහු විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇත. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලය මගින් පවත්වන දහම් දැනුම පද්‍ය, ගද්‍ය, කථික ආදි තරගවලින්ද සිසුන් පළමුවන, දෙවන, තෙවන ස්ථාන හිමිකර ගන්නට සමත්ව ඇති අතර මින් විශිෂ්ට ජයග්‍රහණ හිමිකර ගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමස්ත ලංකා තරගවලට ඉදිරිපත්ව ජයග්‍රහණ කොතෙකුත් ලබා ඇත.

දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය හිමියන් ලෙස බලවත් පරිශ්‍රමයෙන් හා කැපවීමෙන් විශිෂ්ට මෙහෙයක් ඉටුකරන්නේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ධර්මාචාර්ය , විහාරාධිකාරි ශාස්ත්‍රපති බෝදාගම සීලවිමල හිමියෝය. වර්තමාන අනුශාසකත්වය හොබවමින් ගුරු මණ්ඩලයට හා සිසු සිසුවියන්ට නිවැරැදි මාර්ගය පෙන්වමින් කටයුතු කරනු ලබන්නේ විහාරාධිපති, ශාස්ත්‍රපති පොරවගම විමලරතන හිමියන් විසිනි. දරුවන්ගේ දහම් අධ්‍යාපනය මැනවින් සපුරාලන්නට උචිත උගත් ඇදුරු මඩුල්ලක් ද සිටිති. එම ප්‍රශස්ත වූ සේවාව කරන්නා වූ පිරිස 38 දෙනෙකුගෙන් සමන්විත ය.

අප දහම් පාසල දහම් අධ්‍යාපනය සඳහා සීමාවූවක් නොවේ. දරුවා තුළ යහපත් ගුණධර්ම ඇති කරමින් පොදු ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. සෑම වසරකම ජනවාරි 12 වැනි දිනට යෙදෙන දහම් පාසලේ ආරම්භක දිනය සිහිගන්වමින් රාජගිරිය වික්ටෝරියා රෝහලට වියළි ආහාර ද්‍රව්‍ය පිළිගැන්වීමද, සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන හිස තෙල්ගෑමේ චාරිත්‍රයද දහම් පාසලේ සිසු දරු දැරුවන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙරේ. සෑම ඇසළ පොහෝ දිනකදීම සීල සමාදාන වැඩසටහන් පවත්වා දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව පෝෂණය කරන්නට මඟ පෙන්වයි. ගැමුණු හා තිස්ස යනුවෙන් ශිෂ්‍ය නිවාසයන් දෙකක් පවත්වා ගෙන යයි. මෙමගින් දරුවන් අතර තරගකාරිත්වයක් ඇති කිරීම නොව කාර්යක්ෂමතාව හා එකමුතුකම , කණ්ඩායම් හැගීම් වැඩි දියුණු කිරීමටද බලාපොරොත්තු වේ. සෑම තෙමසකට වරක් මහා සභා රැස්වීම කැඳවීම මඟින්ද දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීමට කටයුතු සලස්වා දෙයි.

කුඩා කල සිටම බෞද්ධ දරුවන් තුළ නායකත්ව වගකීම හා කැපවීම මෙන්ම ක්‍රියාශීලි බව වර්ධනය කිරීම පිණිස ඔවුන් අතරින් ශිෂ්‍ය නායක –නායිකා කණ්ඩායමක්ද පත්කර ඇත. මෙයට අමතරව පන්ති මට්ටමින් ශිෂ්‍ය නායක නායිකාවන්ද පත්කර ඇත. චරිතවත් ප්‍රඥාවත් පෙරටු කොටගත් සුසිලාරාම ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලින් දැයට සදාචාර සම්පන්න දරු දැරියන් පිරිසක් බිහි කිරීමට වෙර වීර්ය නිරන්තරයෙන්ම දරයි. දහම් පාසලේ සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කරවීම, විහාරස්ථ ශ්‍රී සුමනසිරි අනුස්මරණ පුස්තකාලය ම¼ගින් සිදුවන අතර දහම් පාසල් සංවර්ධනය සමිතිය මඟින් දහම් පාසලේ දියුණුව සලසා දෙයි. ඔවුන්ගේ ඒකායන අපේක්‍ෂාව වන්නේ දහම් පාසලෙන් ගුණයහපත් සාරධර්ම හඳුනන චාරිත්‍ර– වාරිත්‍ර හඳුනන දරුවන් බිහිකරලීමයි.

සෑම වසර දෙකකට වරක් දහම් පාසල තුළ දක්ෂතා දැක් වූ සියලුම දරු දැරියන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදාන උත්සවයක්ද ප්‍රදේශවාසීන්ගේ බැතිබර අනුග්‍රහය ඇතිව ඉතා සාර්ථක මෙන්ම උසස් අන්දමින් පවත්වනු ලබයි. සෑම වසරකදීම දහම් පාසලේදීම දක්ෂතම සහ හොඳම සිසුවා සහ සිසුවිය තෝරා ඔවුන්ව අගය කිරීම හා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයක් සිදු කරයි. මේ වර්ෂයේදි ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදාන උත්සවයක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව 2013 සැප්තැම්බර් මස 01 වන ඉරිදා සවස 2.30 ට කොළඹ නවකෝරළයේ හා නව තොටුමුණේ අධිකරණ සංඝනායක කොටාරෝඩ් හි ශ්‍රී ජයවර්ධනාරමාධිපති දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ මූලාසනයෙන් ආරම්භ වන ත්‍යාග ප්‍රදාන උත්සවයට කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ දේශක ආචාර්ය ජේ.ආර්.පී. සූරියප්පෙරුම මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පොරවගම විමලරතන හිමියන් හා ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති බෝදාගම සීලවිමල හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට සුසීලාරාම ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

අමිල මෙහෙවරක යෙදෙමින් ගුණනුවණින් සුවඳවත් වූ නිපුණතා වලින් හෙබි පින්වත් වූ දරුවන් පිරිසක් ලක් මෑණියන්ට දායාද කිරීමට තව තවත් ශක්තිය හා ධෛර්ය ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලට ලැබේවා!

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]