UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය

කෞතුකාගාරයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, භූතානය, නේපාලය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, චීනය, කොරියාව, ජපානය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ මලයාසියාව යන රටවල බෞද්ධ ස්මාරකවල ආකෘති සහ ඡායාරූප ද වෙනත් පුරා වස්තු ද තැන්පත් කර ඇත. ඒවා ඉදිරිපත් කර ඇත්තේ මුළු ලෝකයේ ම බුදු සමයේ ඉතිහාසය හා වර්තමාන තත්ත්වය මැනවින් අවබෝධ කර ගත හැකි ආකාරයෙන්ය.


ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාර ගොඩනැගිල්ල

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටුවා ඇති ලෝක බුදු සමය පිළිබඳ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය 2600 සම්බුද්ධත්ව ජයන්තිය අරභයා ස්ථාපනය කරන ලද්දකි. ලෝකය පුරා විහිදී ඇති ථෙරවාද, මහායාන බෞද්ධ රටවල බුද්ධාගමේ ඉතිහාසය පිළිබඳව හා වර්තමාන තත්ත්වය පිළිබිඹු වන පරිදි සකසා ඇති එම කෞතුකාගාරය මෙම ගණයේ ප්‍රථම කෞතුකාගාරය ලෙස හැඳින්වීම නිවැරැදිය.

මහනුවර දළදා මාලිගයට යාබදව පිහිටා ඇති දෙමහල් ගොඩනැඟිල්ල ගොඩ නංවන ලද්දේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ජේමිස් ලොංඩන් විසින් 1880 දීය. එසේ ගොඩනැඟුවේ මහනුවර අධිකරණ කටයුතු කරගෙන යාම සඳහාය. සියලුම උසාවි මෙහි ස්ථාන ගත කර තිබුණු අතර මහාධිකරණ සැසිවාර එකල පවත්වන ලද්දේ දළදා මාලිගයට අයත් මඟුල් මඬුවේ ය. එම කටයුතු එසේ සිදුවන අතර මෙම ගොඩනැඟිල්ල දළදා මාලිගයට භාර දී එහි ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් පිහිටුවීම පිළිබඳව යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ය. එම යෝජනාවට රජයේ අවධානය යොමු කරවන ලද්දේ ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාය. එසේම ආරම්භයේ සිටම දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දැරූ නිලමේවරු මෙම අදහස ක්‍රියාත්මක කිරීමට උත්සුක වූ නමුත් ගොඩනැඟිල්ල ලබා ගැනීම අපහසු වූ බැවින් එය ක්‍රියාත්මක කළ නොහැකි විය.

එහෙත් උසාවි සංකීර්ණය එම ස්ථානයෙන් ඉවත් කොට එම ගොඩනැඟිල්ල දළදා මාලිගාවට දියයුතු යන මතය ප්‍රබලව මතු වන්නට විය. මේ නිසාම රජයට උසාවි සංකීර්ණය වෙන තැනකට ගෙන යාම කළ යුතු විය. ඒ අනුව 2004 දෙසැම්බරයේ දී ගැටඹේ ඉදිකරන ලද උසාවි සංකීර්ණයට මහනුවර උසාවි ගෙන යාමත් සමඟම නිදහස් වූ ගොඩනැගිල්ල වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් ලෝක බුදුසමය පිළිබඳ කෞතුකාගාරයක් පිහිටුවීම සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මැතිතුමන් වෙත පවරණ ලදී.


බංගලිදේශයේ කොමිලා නගරයේ රුබ්බාන්මුරු බෞද්ධ පන්සල (12 වන සියවස)

අනතුරුව ක්‍රියාත්මක වූ නිලංග දෑල දියවඩන නිලමේතුමා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බෞද්ධ රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සහයෝගයෙන් ලොව පුරා සිටින බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් ලෝක බෞද්ධ කෞතුකාගාරයක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන ලදී. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මෙය විවෘත කිරීමට අපේක්‍ෂාව වූ නිසා සියලු කටයුතු යුහුසුළුව කළ යුතු විය. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මහතා ප්‍රධාන කොටගත් විශේෂඥ පිරිසකගේ සැලසුම හා සංවිධානය අනුව දළදා මාලිගාවේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් අදහස් කළ පරිදි නියමිත දිනට මෙය විවෘත කිරීමට හැකිවීම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

එම කෞතුකාගාරයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, භූතානය, නේපාලය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, චීනය, කොරියාව, ජපානය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ මලයාසියාව යන රටවල බෞද්ධ ස්මාරකවල ආකෘති සහ ඡායාරූප ද වෙනත් පුරා වස්තු ද තැන්පත් කර ඇත. ඒවා ඉදිරිපත් කර ඇත්තේ මුළු ලෝකයේ ම බුදු සමයේ ඉතිහාසය හා වර්තමාන තත්ත්වය මැනවින් අවබෝධ කර ගත හැකි ආකාරයෙන්ය. මීට අමතරව මධ්‍යම ආසියාවේ බෞද්ධ තොරතුරු විදහා දක්වන මැදිරියක් ද විවෘත කර ඇත.

ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයට ඇතුල් වූ තැන් සිට ඊතල පිළිවෙළින් වටයක් ගිය විට ලෝකයේ ම බෞද්ධ රටවල චාරිකාවක යෙදුනා සේ හැඟීමක් පහළ වේ. එබැවින් මෙම කෞතුකාගාරය ලෝකයේම බෞද්ධයා ඒකරාශි කරන මධ්‍යස්ථානයක් ලෙසද හැඳින්විය හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ ලෝකයටම අඩුපාඩුවක්ව පැවති, ලෝකයේ බෞද්ධ කටයුතු පිළිබඳ විමර්ශනයක් කිරීමට සුදුසු ස්ථානයක් නොමැති අඩුපාඩුව මෙම කෞතුකාගාරය ඇරඹීමෙන් සම්පූර්ණ වී ඇති බව සඳහන් කළ යුතු ය.

එසේම මෙය ඉතා ක්‍රමානුකූලව සකසා තිබීම ඉතාමත් ප්‍රශංසනීය වන අතර එය විෂය දැනුම ඇති විද්වත් පිරිසකගේ ප්‍රයත්නයක් බව කාට වුව ද පැහැදිලි වේ. එබැවින් එම කාර්යය කිරීමට මුල්වීම පිළිබඳව දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාට අපගේ ස්තුතිය හිමි විය යුතු ය.

එසේම මෙම ස්ථානය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් කොට සලකා මෙම ලිපිය පිළියෙල කිරීමට සියලු උපකාර කළ දළදා මාලිගාවේ මහ ලේකම්, හිටපු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සී.ඩබ්. කරුණාරත්න මහතාට ද ස්තුතිය පිරිනමමි.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි මස 29 වැනි දා සඳුදා පූර්වභාග 10.47 ට ලබයි.
30 වැනිදා අඟහරුවාදා පූර්වභාග 11.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 29 වැනි දා සඳුදා.

මීළඟ පෝය
අගෝස්තු මස 06 වැනිදා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]