UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගලකඩ රතනපාල නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිප්‍රාප්ත අකුරැස්ස ගොඩපිටිය ජේතවන රාජමහා විහාරය, කනහලාගම ත්‍රිබෝධි ලංකාරාමය යන විහාරද්වයාධිපති කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පිරිවෙන්පති

අගලකඩ රතනපාල නා හිමි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ප්‍රධාන සානු නායක කාරක මහා සංඝ සභාව මඟින් “ධර්ම කීර්ති ශ්‍රී සරණපාල” ගෞරව නාමය සහිතව ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය ජූලි 04 වන දා මල්වතු මහා විහාරයේ රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී සිදු කැරිණි. අභිනව නාහිමියන් වෙත උපහාර දැක්වීමේ උත්සවය මල්වතු පාර්ශවයේ අනුනායක ධුරන්ධර ශාස්ත්‍රපති අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන්ගේ සහ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස ගොඩපිටිය ජේතවන රාජ මහා විහාරස්ථානයේ දී ජූලි 06 වන දා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.

අගලකඩ රතනපාල නා හිමි

ඓතිහාසික ආගමික, අධ්‍යාපනික, සමාජීය හා සංස්කෘතික උරුමයකින් විරාජමාන වන ගොඩපිටිය රජ මහා විහාරය වර්තමානය වන විට එකී සෑම අංශයකින්ම අභිසංවර්ධනයක් සනිටුහන් වෙමින් පැවතීම පෙරමඟ සුබ ලකුණක් බව දන්නා දක්නා සියල්ලන්ගේ අදහසය.මේ ඓතිහාසික උරුමයේ වර්තමාන හා අනාගත සුරක්‍ෂිත භාවය කේන්ද්‍රීය මෙහෙයුම් බලවේගය වන්නේ අගලකඩ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

1962 දී ඇඩිවින් සමරසිංහ සහ ජාතුන් දහනායක සෝමාවතී යන දම්පතීන්ගේ තෙවන පුණ්‍යවන්ත පුතණු කෙනෙක් වශයෙන් අගලකඩ ගම් පියසේ දී ජන්ම ලාභය ලැබූ නාහිමියෝ පෝරතොට මේධංකර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ඉන්පසු මේ පුණ්‍යවන්ත කුමරා අපවත්වී වදාළ ගොඩපිටිය රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අභිධර්ම විශාරද විනයාචාර්ය කිරම සරණපාල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් වශයෙන් 1974 පොසොන් මස දොළොස්වන දා උතුම් සසුන් කෙතේ විපුල සරු බීජයක්ව ශාසන ජන්ම ලාභය ලැබුවේ රජ මහා විහාරාධිපතිව වැඩ විසූ ආදිකතෘභූත අගලකඩ ධම්ම රක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඥාති පුත්‍රයෙකු ද වශයෙනි. එතැන් පටන් ගුරු ඇසුරින් ලැබූ ධර්ම විනය පරිචය හා පිරිවෙන් අධ්‍යාපනයෙන් ලැබූ අධ්‍යාපන ප්‍රවීණතාවයන් කරණකොටගෙන ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනුණි. ගුරු දේවයන් වහන්සේ වැඩසිටියදීම පාරිවේණික භික්‍ෂූන් වහන්සේලාටත් සුවහසක් දරුවන්ටත් ඉගෙනුම සම්පතක් බවට පමණක් නොව විහාරස්ථානයේ පරිපාලන හා ආගමික කටයුතුවලටද නායකත්වය ලබා දීමට නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිදු වූයේ සාංසාරික කුසලබල මහිමයද ගුරු දේවයාණන්ගේ ආශිර්වාදයද ලබමිණි. උගත මනා බණ දහමින් පිරිපුන් වූයෙන් ද ගොඩපිටිය ජේතවන පිරිවෙණ, සපුගොඩ විද්‍යා නිකේත පිරිවෙන, මාතර මහා මන්තීන්ද මහා පිරිවෙන ආදී විද්‍යාස්ථානයන්ගෙන් ලැබූ ධර්ම ශාස්ත්‍රඥානයෙන් පිරිපුන් වූයෙන්ද 1984 පොසොන් මස හත්වැනි දා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උපෝසථාගාරයේ දී සුපිරි සුද්දෝපසම්පදා ශීලයෙහි පිහිටු වුණි.

ධර්ම විනය ඥානයෙන් ද ආගමික කටයුතු වලදී දැක්වූ කෘතහස්ථභාවයද විහාරාරාම පරිපාලන විඥානයෙන් ද පිරිපුන් අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1989 දී දකුණේ සුපතල විද්‍යස්ථානයක් වන කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත පිරිවෙණෙහි උපගුරුවරයකු වශයෙන් අධ්‍යාපන සත්කාරය ඇරඹීය. අවුරුදු තුනක සේවා කාලයෙන් පසු උන්වහන්සේ තුළ වූ එවකට පාලන විශේෂඥභාවය දුටු තත් ආයතනාධිපති, මහාචාර්ය ගතාරේ ධම්මපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එවකට එම පිරිවෙනෙහි පරිවේණාධිපති වූ වර්තමානයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ඕමාරේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අගලකඩ රතනපාල ස්වාමින් වහන්සේට නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය පිරිනැමූණි. එම තනතුරේ වසර 12 ක පමණ සේවා කාලයක් සම්පූර්ණ කරන ලදුව ඕමාරේ කස්සප නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදයෙන් තත් පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරය පිරිනැමුණි.


සමාජයට මා හැඟි ආදර්ශයක්

ශාස්ත්‍රවේදී අගලකඩ රතනපාල ස්ථවිරයන් අපේ මල්වතු මහා විහාරපාර්ශ්වයට අයත් දැන උගත් ශික්‍ෂාකාමී මහා විහාර සම්ප්‍රදායන් මැනවින් ගරු කරන නායක ස්ථවිර නමකි. ගොඩපිටිය ජේතවන රජමහ විහාරය, කනහලාගම ත්‍රිබෝධිලංකාරාම විහාරය යන උභය විහාරයන් හි අධිපති ධුරය දරමින් එම විහාරස්ථානයන් හි අභිවෘද්ධිය සහ මනා පැවැත්ම උදෙසා සිදු කර ඇති සේවාව ප්‍රශංසනීය වේ.

ලංකාවේ ප්‍රමුඛපෙළේ අධ්‍යාපන ආයතන වලින් ස්වකීය අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කරන ලද මෙකී නායක ස්ථවිරයන් දීර්ඝකාලයක් කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන මහ පිරිවෙණේ ආචාර්යවරයෙකු නියෝජ්‍ය පරිවේණාධිපති, පරිවේණාධිපති යන තනතුරු හොබවමින් මෙරට සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපනය කෙරෙහි සිදු කර ඇති සේවාව අති විශාලය. එසේම අතුරලියේ ශාසනාරක්‍ෂක බලමණ්ඩල සභාපති ධුරය ඇතුළු විවිධ සමිති සමාගම්වල නිලතල හොබවමින් ද විවිධ හැකියාවන් සහ දක්‍ෂතාවයන්ගෙන් සමන්විතව ප්‍රදේශයේ ජාතික ආගමික සංස්කෘතික හා සමාජයීය කටයුතු වල නිරත වෙමින් ද සිදු කර ඇති සේවාව වත්මන් සමාජයට මාහැඟි ආදර්ශයක් වන බවට විශ්වාස කරමු.

මේ සියලු කාරණා පිළිබඳ ප්‍රසාදයටපත් අප මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාව මඟින් ධර්ම කීර්ති ශ්‍රී සරණනපාල යන ගෞරව නාමය සහිතව ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය අගලකඩ රතනපාල ස්ථවිරයන් වෙත පත් කරන්නට යෙදුණි.

එබැවින් අනාගතයේ දීත් ප්‍රශස්ත ආගමික ජාතික සහ සමාජයීය සේවාවක් ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා අගලකඩ ධර්මකීර්ති ශ්‍රී සරණපාල රතනපාලාභිධාන ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් සහ සිරි දළදා සමිඳු පිහිටෙන් ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධ වේවායි ආශිංසනය කරම්හ.


අභිමානවත් සේවාවක නිරත වෙමින් සිටිති

අකුරැස්ස ගොඩපිටිය ජේතවන රාජමහා විහාරය හා කනහලාගම ත්‍රිබෝධිලංකාරාමය යන උභය විහාරාධිපති, කඹුරුපිටිය සපුගොඩ විද්‍යානිකේත විද්‍යායතන පිරිවෙනේ පරිවේණාධිපති, ශාස්ත්‍රවේදී ගෞරවාර්හ අගලකඩ රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උත්තරීතර මහානායක, අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානු නායක විංශද්වර්ගික කාරක සංඝ සභාව මඟින් ධර්ම කීර්ති ශ්‍රී සරණපාල ගෞරව නාම සම්මුතිය සහිතව ‘ගිරුවාපත්තුව ඇතුළු ගාලු, මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක’ පදවිය ලබාදීම නිමිත්තෙන් උන්වහන්සේ ට පූජෝපහාර වශයෙන් පවත්වනු ලබන උපහාර උත්සව අවස්ථාව සඳහා ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මම අතිශයින් සතුටට පත්වෙමි.

ගෞරවාර්හ කිරම සරණපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මධ්‍යයේ වර්ෂ 1974 ජූනි මස 12 වෙනි දා පැවිදි දිවියට ඇතුළත් වූ රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, එතැන් පටන් වියත් පැවිදි පඬිවරුන් සෙවණේ නිරන්තර ඇසුර ලබා අර්ථයෙන් මෙන්ම ධර්මයෙන් ද පිරිපුන්ව මහඟු ශාසනික මෙහෙවරක් අරඹනු ලැබූහ. සමාජීය සද් කර්තව්‍යයන් වලදී නිබඳව ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරනු ලබන රතනපාල නාහිමියන්, තමන් වහන්සේ තුළින් විද්‍යාමාන වන්නා වූ සහජ දක්‍ෂතාවයන් හේතු පාදක කර ගනිමින් බහුශ්‍රැත බොහෝ පිරිස් උන්වහන්සේ ව සමිති සමාගම්වල ප්‍රමුඛත්වයට පත් කර ගත්හ.ඒ අනුව, අතුරලිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලය, අකුරැස්ස සාමවිනිසුරු සංගමය, අකුරැස්ස මානව හිතවාදීන්ගේ සංගමය, තිබ්බොටුවාව සණස සමිතිය යන ස්වේච්ඡා සංවිධානයන් හි විවිධ තනතුරු හොබවනු ලබන උන්වහන්සේ, අදටත් ප්‍රදේශය බබළවමින් අභිමානවත් සේවාවක නිරතවෙමින් සිටිති. තිලොවට තිලක වූ අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා අනුදැන වදාරන්නට යෙදුණු පරිදි මේ ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය පතා බිහි කළා වූ සුරක්‍ෂිත පවුර වන්නේ සැදැහැති භික්‍ෂුවයි.

“යො අග්ග දායී වරදායී සෙට්ඨ දායී ච යො නරො
දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජති”

යමෙක් අගනා දේ දෙන්නේ ද, උසස් දේ දෙන්නේ ද, ශ්‍රේෂ්ඨ දේ දෙන්නේ ද, හේ උපනූපන් තන්හි දීර්ඝායුෂයත්, කීර්තියත්, ප්‍රංශසාවත් නිරන්තරයෙන් ලබන්නේ ය. යන උතුම් සම්බුදු වදන යථාර්ථයක් කළා වූ රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, වත්මන් ජන සමාජයට අවැසි යතිවරයාණන් වහන්සේ නමකි.

තෙරුවන් සරණින්, උතුම් දළදා වහන්සේගේ හා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් නිදුක් නීරෝගීව, චිරාත් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය, ගෞරවාර්හ අගලකඩ රතනපාල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ලැබේවා! යි මෙත් සිත් පෙරටුව මම ප්‍රාර්ථනා කරමි. එමෙන්ම, උන්වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන මෙම උපහාර උත්සවයේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....!

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]