UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 07 - 08

පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 07 - 08

රාධ මහරහතන් වහන්සේ

අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී නිකෙලෙස් රහතුන්ගෙන් නිකෙලෙස් රහත් තෙරිණියන්ගෙන් දඹදිව් තලය සෝබමානවත් වුණා. තථාගත හඳමඬලේ උපන් ඒ ශ්‍රාවක පුතුන්ගේ ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවසේ අසිරිමත් බව කැටි වූ සුන්දර උදානයන් ථේර ථේරි ගාථා නමින් ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ගැන අසිරිමත් තොරතුරු මේ ථේර ථෙරී ගාථා ග්‍රන්ථය තුළින් අපට මුණ ගැසෙනවා. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හඳ මඬල අප ඉදිරියේ විදහා දැක්වෙනවා. සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් අප සරණ යන ඒ ශ්‍රාවක සංඝරත්නය මොනතරම් ශ්‍රේෂ්ඨ ද? කොතරම් පිවිතුරු ද කියා අපට සිත සිතා සතුටුවන්ට පුළුවනි. පළමුවෙනි ධර්ම සංඝායනාව සිදුකළ කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ථේර ථේරී ගාථා හඳුන්වා දී ඇත්තේ මේ අයුරිනි.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ඔහු දැක කරුණු විමාසා ‘මේ රාධ බමුණා කවුරුන් හෝ භික්ෂූවකට උපකාරයක් කර ඇද්ද? කියා සඟ පිරිසෙන් විමසා සිටියා. එවිට දම් සෙනවි වූ සාරිපුත්තයන් වහන්සේ ඉදිරිපත් වී ‘තමා පිණ්ඩපාතේ වඩිනවිට තමන් වහන්සේට බත් හැන්දක් පූජා කළ බව කියා සිටියා. සාරිපුත්තයන් වහන්සේගේ කළගුණ මෙනෙහි කිරීමේ ගුණයට ප්‍රශංසා කළ භාග්‍යවතුන් වහන්සේ, රාධ බ්‍රාහ්මණයාගේ හේතු සම්පත් දැක ඔහු පැවිදි කරන්නට අනුදැන වදාළා

අද අප සිත පහදවා ගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයින් අතර වැඩසිටි තවත් උතුම් රහතන් වහන්සේ නමක් වන රාධ මහරහතන් වහන්සේ පිළිබඳව යි.

ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම දේශනා මතක තබා ගන්නා ප්‍රතිභාව ඇති භික්ෂූන් අතර අග්‍ර තනතුර ලැබුවේ රාධ මහරහතන් වහන්සේ යි. උන්වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ යුගයේ දී සිටු කුමරෙක්ව ඉපිද සිටියා. දිනක් විපස්සී බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩිද්දී, සම්බුදු ගුණ කෙරෙහි බලවත් පැහැදීමෙන් යුතුව මිහිරි අඹ ඵලයක් පූජා කළා.

තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ කෙරෙහි හටගත් චිත්තප්‍රසාදයෙන්, අග්‍ර දක්ෂිණ්‍යෙයිය බුදුරජාණන් වහන්සේට පිදූ දානයත් නිසා සිටු කුමරු මරණින් මතු දෙව්ලොව ඉපදුණා. එහිදී තව තවත් පින් බලවත් කරගෙන දෙව් මිනිස් සුගතියේ ඉපිද ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී රජගහ නුවර බ්‍රාහ්මණ පවුලක ඉපිද, රාධ යන නම ලැබුවා.

තරුණ වියට පත් රාධ කුමරු විවාහ වී දරුවන් කිහිප දෙනෙකුගේ පියෙක් බවට පත්වුණා. මහළු වයසට පත් වූ විට අඹුදරුවන් විසින් නො සලකා හැරීම නිසා අසරණ වූ ඔහු භික්ෂූන් වෙත ගොස් තමා පැවිදි කරන ලෙසට ඉල්ලා සිටියා. ‘ඉතා මහළු වූ හෙයින් වත්පිළිවෙත් කිරීමට පවා නොහැකි නිසා පැවිදි කිරීමට නො හැකියැයි කියා භික්ෂූන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එම නිසා චිත්ත පීඩාවට පත් වූ රාධයන් ආහාර පාන පවා හරිහැටි නො ගෙන පසුතැවීමෙන් කල් ගෙවීම නිසා බොහෝ දුර්වල වුණා.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ඔහු දැක කරුණු විමසා ‘මේ රාධ බමුණා කවුරුන් හෝ භික්ෂූවකට උපකාරයක් කර ඇද්ද? කියා සඟ පිරිසෙන් විමසා සිටියා. එවිට දම් සෙනවි වූ සාරිපුත්තයන් වහන්සේ ඉදිරිපත් වී ‘තමා පිණ්ඩපාතයේ වඩිනවිට තමන් වහන්සේට බත් හැන්දක් පූජා කළ බව කියා සිටියා. සාරිපුත්තයන් වහන්සේගේ කළගුණ මෙනෙහි කිරීමේ ගුණයට ප්‍රශංසා කළ භාග්‍යවතුන් වහන්සේ, රාධ බ්‍රාහ්මණයාගේ හේතු සම්පත් දැක ඔහු පැවිදි කරන්නට අනුදැන වදාළා.

අග්‍රශ්‍රාවක සැරියුත් තෙරුන් විසින් පැවිදි කරන ලද රාධ හිමියන් නොබෝ කලකින් සව් කෙලෙසුන් නසා අරහත්වය සාක්ෂාත් කළා. අරහත්වයට පත්වූ උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිම හැසිරෙමින් ධර්ම දේශනා වහා වටහා ගන්නා භික්ෂූන් අතර අග්‍ර බවට පත්වුණා.

රාධ මහරහතන් වහන්සේ අන් අයට සමථ විදර්ශනා වැඩීමෙහි උත්සාහවත් කරමින් ථේර ගාථාවල සඳහන් මේ ගාථාවන් වදාළා.

යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමතිවිඡක්‍ධති
ඒවං සුභාවිතං විත්තං
රාගො සමතිවිඡක්‍ධති

ගේ හොඳට සෙවිලි කර නො ගත්තෝ වැස්ස වසිද්දී වහළය සිදුරු කරගෙන වතුර වැටෙනවා. සමථ – විදර්ශනා වශයෙන් සිත නො වැඩුවොත් සිත සිදුරු කරගෙන රාගය ඇතුල් වෙනවා.

යථා අගාරං සුචිජන්තං
වුට්ඨි න සමතිවිඡඣති
ඒවං සුභාවිතං චිත්තං
රාගේ න සමතිවිඡක්‍ධති

ගේ හොඳට සෙවිලි කර ගත්තොත් වැස්ස වසිද්දී වහළය සිදුරු කරගෙන වතුර වැටෙන්නේ නැහැ. ඒ වගේමයි සමථ – විදර්ශනා වශයෙන් දියුණු කරන ලද සිත. ඒ සිත සිදුරු කරගෙන රාගයට ඇතුළු වෙන්න බැහැ.

උන්වහනසේ පිරිනිවන් පෑමට පෙර මෙසේ ද වදාළා. ’ලොව දෙන්නවුන්ගේ් දන් පිළිගන්නා වූ රන්වන් වූ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වීදියට වැඩම වූ කල්හී මම අඹ ඵලයක් පිදුවෙමි. මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම්ද එහි විපාක වශයෙන් දුගතියක නූ පන්නෙමි. පින්ඵල දානයේ විපාකය මෙබඳුය.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. ත්‍රිවිද්‍යාවද අෂ්ඨ විමෝක්ෂයන් ද සාක්ෂාත් කොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.


සුධාර මහරහතන් වහන්සේ

පුන් පොහෝ දිනෙක සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් ශෝභමාන වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. නාරං ගෙඩියක් රැගත් මම දක්ෂිණාර්හ වූ මහා ප්‍රඥා ඇති මහාවීර ශාස්තෘන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි. එකල්හි මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ ආනිශංස එබඳුය

අප ඉගෙන ගන්නේ ථේර ගාථාවල සඳහන් වන සුරාධ මහ රහතන් වහන්සේ පිළිබඳව යි. උන්වහන්සේ සිඛි බුදුරජාණන් වහන්සේ ගේ යුගයේ දී සිටු කුමරෙක්ව ඉපිද සිටියා.

සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින් නාරං ගෙඩියක් පූජා කළා. ඒ හේතුවෙන් මරණින් මතු දෙව්ලොව ඉපිද තව තවත් පින බලවත් කරගත්තා.

අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී පෙර සඳහන් කළ රාධ බ්‍රාහ්මණයාගේ බාල සොහොයුරා ලෙස උපත ලැබුවා. වැඩිමහල් සොයුරු රාධයන් පැවිදි වූ කල්හි සුරාධයන් ද ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්තා. සීල, සමාධි, ප්‍රඥා පරිපූර්ණවත්වයට පත්කරගත් සුරාධ තෙරුණුවන් ද සුළු කලෙකින්ම නිකෙලෙස් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වය සාක්ෂාත් කළ සුරාධ තෙරුන් බුදු සසුනෙහි උත්තම බව ප්‍රකාශ කරමින් සිය අරහත්වය ප්‍රකට කරවමින් මෙම ගාථාවන් වදාළා.

ඛිණාහි මය්හං ජාති
වුසිතං ජිනසංසනං
පහීණෝ ජාලසංඛාතෝ
භාවනෙත්ති සමූහතං

මගේ ඉපදීම අවසන් වුණා. බුදු සසුනේ නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. දෑස් අඳුරු කරන දැලක් වගේ තිබෙන අවිද්‍යාව නැතිකර දැම්මා. භවය ගැට ගසන තෘෂ්ණාව මුලින්ම උදුරලා දැම්මා.

යස්සත්ථාය පබ්බජිතෝ
අගාරස්මං අනගාරියං
සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ
සබ්බ සංයෝජනක්ඛයෝ

ගිහි ගෙය අත්හැර දමා මේ බුද්ධ ශාසනයේ මම පැවිදි වූයේ යම් අර්ථයක් ඇතිව. අන්න ඒ උතුම් ජීවිතාර්ථය මම ලබා ගත්තා. හැම භවයක්ම නැති කර දැම්මා.

උතුම් නිවනින් සැනසුන සුරාධ රහතන් වහන්සේ මෙසේ ද උදන් ඇනුවා.

පුන් පොහෝ දිනෙක සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් ශෝභමාන වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. නාරං ගෙඩියක් රැගත් මම දක්ෂිණාර්හ වූ මහා ප්‍රඥා ඇති මහාවීර ශාස්තෘන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි. එකල්හි මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ ආනිශංස එබඳුය.

දැන් මම සියලු කෙලෙස් තවා ත්‍රිවිද්‍යාවත් සාක්ෂාත් කළෙමි. ෂඩ් අභිඤ්ඤාවන් ද, අෂ්ඨ විමෝක්ෂයන් ද ලබන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඉටු කෙළෙමි.

ගෞතම බුදු සසුනේ උත්තම අරහත්වය සාක්ෂාත් කරන්ට තරම් ඒ දෙ සොහොයුරන් වාසනාවන්ත වුණා. අපටද ඒ ශ්‍රාවක සඟරුවන කෙරෙහි සිත පහදවාගෙන උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනවා උදාවේවා.

සටහන : නයනා නිල්මිණි

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]