UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 25 මහා මොග්ගල්ලාන ශ්‍රාවක චරිතාපදානය

පුනරුප්පත්ති ලිපි මාලාව - 25

මහා මොග්ගල්ලාන ශ්‍රාවක චරිතාපදානය

පසුගිය සාකච්ඡාවෙන් අප කතා කළේ බුදුරජාණන් වහන්සේ පෙර භවයක එනම්, බෝසත් අවධියෙහි කුසාවතී නගරයෙහි මහා සුදස්සන නම් සක්විති රජව මහානුභාව සම්පන්න ඓශ්චර්යන් වින්දනය කළ ආකාරය යි. මෙතැන් සිට අපගේ සාකච්ඡාවට භාජනය වන්නේ ශ්‍රාවක - ශ්‍රාවිකා අපදානයන් හි ඇතුළත් ස්වංකථිත පෙර ජන්මයන් හා සම්බන්ධ වූ කථා ප්‍රවෘත්තීන් විමසා බැලීමට යි. ඒ තුළින් අපට පුනර්භවය මෙන්ම පුනර්භවය සඳහා කර්මය බලපාන අයුරු විමසා බැලිය හැකිය.

ඒ අනුව ශ්‍රාවක අපදානයන්හි පළමු අවධානය යොමුවන්නේ මහා මොග්ගල්ලාන ශ්‍රාවක අපදානය විමසා බැලීමට යි. මෙහි දැක්වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ විසින් පෙර භවයන් පිළිබඳ කළ ස්වයං කථිත විස්තරයන් ය.

“ලෝක ශ්‍රේෂ්ඨ මිනිසුන් අතර උතුම් වූ අනෝමදස්සි සම්බුදුරජාණන් වහන්සේ දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදුව හිමවතෙහි වැඩවසන සේක. එකල්හි මම වරුණ නම් නාග රාජයෙක්ව උප්පත්තිය ලදිමි. කැමැති රූපයක් මවා ගැනීමට සමත් වූයේ, සෘද්ධි සම්පන්න වූයේ මහ සයුර වාසස්ථාන විය. නිතර මම පිරිවර නාග සමූහයාගෙන් වෙන් වූයේ තූර්ය වාදයන් පැවැත් වූයෙමි. එකල්හි නාග කන්‍යාවෝ අනෝමදස්සි බුදුරදුන් පිරිවරාගෙන තූර්ය වාදනයන් පැවැත්වූහ”.

‘මෙසේ තූර්ය වාදනයන් පවත්වන කල්හි චාතුර්මහාරාජික දෙවියෝ ද තූ®ර්ය වාදනයන් කළහ. මේ දෙපිරිසගේ තූර්ය වාදනයන් අසා බුදුරජාණන් වහන්සේ ඒ බව දත් සේක. මම බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට මාගේ භවන වෙත ගියෙමි. අසුන් පනවා දානය සඳහා කාලය එළඹි කල්හි ඒ බව සැළ කළෙමි. රහතන් වහන්සේ දහසක් විසින් පිරිවරන ලද ඒ ලෝක නායකයන් වහන්සේ මාගේ භවන වෙත එළඹ වැඩහුන් සේක. එකල්හි මම සංඝයා සහිතව වැඩහුන් ලෝකනායකයන් වහන්සේට ප්‍රණීත වූ ආහාරපානයෙන් උපස්ථාන කළෙමි. සම්මා සම්බුද්ධ වූ ඒ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ දන් වළඳා අවසානයේ භික්‍ෂු සංඝයා මැද වැඩ සිට මාගේ අනාගතය පිළිබඳ මෙසේ දේශනා කළ සේක.’

‘යමෙක් පැහැදුණු සිතින් ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ ද, ශ්‍රාවක සංඝයා ද පුදා දන් දී යම් පිනක් ලබා ගත්තේ ද, ඒ පිනෙන් හෙතෙම දෙව් ලොවට යන්නේ ය. එමෙන් ම හැත්තෑ හත් වාරයක් දෙව් ලොව රාජ්‍ය කරන්නේ ය. අටසිය වරක් පෘථිවියෙහි රජ වන්නේ ය. පණස් පස් වතාවක් සක්විති රජ වන්නේ ය. එකල්හි ඔහුට මහත් වූ භවභෝග සම්පත් ඇති වන්නේ ය.

“මෙයින් අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයකින් පසුව ‘ඔක්කාක’ කුලයෙහි උපන්නා වූ ගෝත්‍රයෙන් ගෝතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය. එකල්හි මේ ‘වරුණ නා රජ’ නිරයෙන් චුතව මිනිසත් බව ලැබ බ්‍රාහ්මණ කුලයෙහි ‘කෝලිත’ නමින් උපදින්නේ ය. පසුව ඔහු බුද්ධියෙන් මුහුකුරා යන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැවිදිව උන්වහන්සේගේ ද්විතීය ශ්‍රාවකයා බවට පත් වන්නේ ය. අරඹන ලද වීර්යය ඇත්තේ සෘද්ධිමත් බවෙහි කෙළ පැමිණියේ සියලු ආශ්‍රවයන් දුරුකොට ක්‍ෂීණාශ්‍රව වූයේ ආශ්‍රව රහිත වූ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නේ ය යනුවෙන් අනෝමදස්සි සම්බුදු රජාණන්වහන්සේ වරුණ නා රජුගේ අනාගත භවයන් දේශනා කළ සේක.” නැවතත් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ තමාගේ අතීත භවයන් මෙසේ දේශනා කළ සේක.

“පාප මිත්‍රයන්ගේ ඇසුර නිසා කාම රාගයෙහි වසඟයට පත් වූයේ, දුෂ්ඨ සිත් ඇතිව මව ද පියා ද මැරුවෙමි. මම නිරයෙහි හෝ නැතහොත් මිනිසත් බවෙහි හෝ වෙනත් යම් භවයක ඉපදුණේ වී ද, ඒ සෑම භවයක දීම සිදුකරගත් අකුසල කර්මය බලවත් වීම නිසා බිඳුණු හිස ඇතිව මරණයට පත් වුණෙමි.”

“මෙය මාගේ සසරෙහි අවසානය යි. අන්තිම ආත්ම භවය වේ. මේ ආත්මයෙහි දී ද මාගේ අවසානය පෙර භවයන්හි සේම සිදුවන්නේ ය. විවේකයෙන් යුක්ත වූයේ සමාධි භාවනාවෙහි ඇළුණු සිත් ඇත්තේ සියලු ආශ්‍රවයන් දුරු කොට ආශ්‍රව රහිතව වාසය කරමි. සෘද්ධියෙහි කෙළ පැමිණියා වූ මම, ඉතා ඝනවූ, ගැඹුරු වූ, නොසෙල්විය හැකි මහ පොළොව ද වම්පය මාපට ඇඟිල්ලෙන් සොලවන්නෙමි. මමය යන හැඟීම නොදකිමි. මට මානයක් නැත. මම සාමණේර භික්‍ෂුවකගේ පටන් සියලු භික්‍ෂු සංඝයා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරමි.”

“ශාක්‍යසිංහ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මාගේ කුශල කර්මයන් පූර්ව නිවාසානුස්සති ඥානයෙන් සිහිකොට භික්‍ෂු සංඝයා මැද අග්‍රශ්‍රාවකස්ථානයෙහි තැබූ සේක. මා විසින් මෙයින් අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයට පෙර අගසව් බවට පත්වීම පිණිස යම් කර්මයක් රැස් කළෙම් ද, මම ඒ ශ්‍රාවක භූමියට පත් වුණෙමි. සියලු ආශ්‍රවයන් නසා අරහත් තත්ත්වයට පත් වුණෙමි.”

“මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද, සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඉටු කරන ලදිමි”


 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]