UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මා වාචා

සම්මා වාචා

ලෞකික කටයුතුවලදී පමණක් නොව සංසාරික අගාධයෙන් මිදීමෙහිදී පවා මනාලෙස හික්මවන ලද භාෂාවේ අගය කෙතෙක්දැයි බුදුපියාණන් වහන්සේ වටහා ගෙන සිටි බව සම්මාවාචා, ආර්ය මාර්ගයේ අනිවාර්ය අංගයක් ලෙස පිළිගෙන තිබීමෙන් පැහැදිලි වෙයි

මිනිසාගේ ජීවිතය හා විමුක්තිය උදෙසා නිර්දේශ කොට වදාළ උතුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හැඳින්වෙයි.

මේ අතරින් අපගේ සාකච්ඡාවට ලක් වන්නේ සම්මාවාචා යනුවෙන් ප්‍රකාශිත තුන් වැනි අංගයයි. අන්‍යෝන්‍ය සම්බන්ධතා පැවැත්වීමේදී සහ අදහස් ප්‍රකාශ කිරීමේදී භාවිතා වන ප්‍රධාන මාධ්‍යය වූ වචනය හෙවත් ව්‍යවහාරික භාෂාව තුළ පැවතිය යුතු ගුණාංග සහ සංවරශීලි ව හා බුද්ධිමත් ව වචනය හෙවත් භාෂාව භාවිතා කිරීමේ අගය ඉන් නියෝජනය වෙයි.

භාෂාව වනාහී මානව සංස්කෘතියේ ආදිම අවදියක සිට මිනිසා විසින් අන්‍යෝන්‍ය වශයෙන් ගනුදෙනු කිරීම සඳහා දියුණු කර ගන්නා ලද ඉතාමත් ප්‍රබල සංවර්ධන උපායයකි. ශබ්දය හෙවත් භාෂාව නමැති ආලෝකය ලොව පුරා නොදැල්වේ නම්, මුළු තුන් ලොව ම එක ම අන්ධකාර පුඤ්ජයක් වන්නට අවකාශ තිබිණැ”යි සංස්කෘත පඬිවරයෙකු වූ දණ්ඩින් පළ කළේද මේ අදහසයි. ලෞකික කටයුතුවලදී පමණක් නොව සංසාරික අගාධයෙන් මිදීමේ දී පවා මනාලෙස හික්මවන ලද භාෂාවේ අගය කෙතෙක්දැයි බුදුපියාණන් වහන්සේ වටහා ගෙන සිටි බව සම්මාවාචා, ආර්ය මාර්ගයේ අනිවාර්ය අංගයක් ලෙස පිළිගෙන තිබීමෙන් පැහැදිලි වෙයි.

බුදුන් වහන්සේ මෙයින් පෙන්නුම් කොට වදාරන්නේ සංසාරයෙන් එතරවීම අතින් සළකන විට භාෂාව ව්‍යවහාරයේ ආනිසංස පක්ෂයක් මෙන්ම ආදීනව පක්ෂයක් ද ඇති බව සහ එම කාරණය විමුක්තිය සොයා යන යෝගියාගේ විශේෂ සැළකිල්ලට ලක් විය යුතු බවත් ය. යහපත් නිවැරදි,හොඳ සදාචාරවත්, ආදි අර්ථ දනවන ‘සම්මා’ යන පාලි භාෂාවේ වචනය යම් තැනෙක යෙදෙනවිට ම එහි විරුද්ධාර්ථය පළ කරන ‘මිච්ඡා’ යන පදය ද එකවර සිහියට නැගෙයි.වචනයෙහි හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද තිබෙන බව මෙයින් සිහිපත් කෙරෙයි. මිනිස් වහරෙහි පවත්නා වචන සියල්ල සම්මා (නිරවද්‍ය) සහ මිච්ඡා (සාවද්‍ය) යනුවෙන් පහසුවෙන් වර්ග කළ හැකිය.බොරුව, පරුෂ වචන, පි‍්‍රයත්වය ශූන්‍ය කරන වචන (කේලාම් කීම) සහ හිස් වචන යනුවෙන් මිථ්‍යා වචන වර්ග හතරක් බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට ව පවතී. දළ වශයෙන් ඒ සියලු ආකාරයේ මිථ්‍යා වචනවලින් වැළකීම සහ හැම විට ම සම්මාවාචා ප්‍රගුණ කිරීම ආර්ය මාර්ගය වඩන්නාගේ වගකීම වෙයි.

ඉහත සටහන් කරනු ලැබුවේ වචනයේ සාවද්‍ය පක්ෂයයි. බුද්ධිමත් ව සිතතොත් , නිර්වාණ මාර්ගයට අවතීර්ණ වූවන්ට පමණක් නොව, ලෞකික ජීවිතය ගත කරන සාමාන්‍ය ශිෂ්ටසම්පන්න කෙනෙකුට වත් නො ගැළපෙන ඒවා චාරිත්‍ර හෙවත් අත් හළ යුතුදේ ලෙස බුදුන් වහන්සේ විසින් නම් කරනු ලැබුවේ එහෙයිනි.

භාෂාව යනු සියලු කාර්යයන්හිදී පරිහරණය කළ යුතු අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා වචනයෙන් වැළකී සිටීම (මෞනවෘතය) පැවිද්දන් විසින් යම් දුරකට ක්‍රියාත්මක කළ හැකි නමුත්, උපාසක භාවයෙහි පිහිටා සිටියත් ගිහියෙකුට දැඩි ලෙස ප්‍රගුණ කළ හැකි ව්‍රතයක් නොවේ. ප්‍රතිපත්තිය විය යුත්තේ අනර්ථකාරි පක්ෂයෙන් වැළකී අර්ථකාරි පක්ෂය ප්‍රගුණ කිරීමය.

වචන භාවිතය සම්බන්ධයෙන් වාරණ ශික්ෂාපද පැනවීම මගින් අවධාරණය කර ඇත්තේ එයින් උද්ගත විය හැකි සියලු ආපදාවලින් සහ විපත්තිවලින් ආරක්‍ෂා වන ආකාරයයි.ඉහත දක්වන ලද දුර්ගුණවලින් තොර වූ වචනයක් හෙවත් භාෂාවක් තිබේද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ එවැනි භාෂාවක් පවතින බව හා එය භවනිස්සරණයට පවා උපයෝගි කර ගත යුතු බවයි.

උන්වහන්සේ කතා කළේ වචනයෙන් සංවරවීම ගැන මිස එය සම්පූර්ණයෙන් ම අත්හැර දැමීම ගැන නොවේ.කාගේත් සිත් ගන්නා ආකාරයෙන්, කාටත් සත්‍යය පසක් වන ආකාරයෙන් සහ කාගේත් සැනසීමට හේතු වන අයුරින් භාෂාව පරිහරණය කළ යුතු බවයි. සත්‍යය වනාහී සියලු රස අතරින් මිහිරිතම රසයයි. (සච්චං භවේ සාදුතරං රසානං) යනුවෙන් වදාළේ ඒ අභියෝග කළ නොහැකි අවබෝධය පදනම්කොට ගෙන ය. සත්‍යය වචනය සියලු භාෂාමය දුර්ගුණවලින් තොර බවත් පි‍්‍රයශීලි වචනය සියල්ලන්ගේ ම සිත් දිනා ගන්නා ජනකාන්ත මන්ත්‍රය වන බවත් උන්වහන්සේ මැනවින් දැන සිටි සේක. එමගින් උන්වහන්සේ කෙතෙක් හාස්කම් කළ සේක්ද? ආලවක දිවි ඇති තාක් අහිංසාවට යොමු කරන ලද්දේ, අංගුලිමාල මෛත්‍රි ගුණයෙන් පිරිපුන් අනූපමේය ආශිර්වාද දායකයෙකු බවට පත් කරන ලද්දේත්,වසර දෙදහස් පන්සියයකට අධික කාලයත් තිස්සේ මේ දක්වාත් ඉන්මතුවටත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සිව් දිසාවාසි ලෝවැස්සන් සසරදුකින් මුදාලීමට සමත් ශාන්තිදායි දහමක් දෙසා වදාළේත් ඒ අසිරිමත් වාග් සංවරයේ බල මහිමයෙන් නොවේද?

සත්‍යය වූ පි‍්‍රයවචනය සත්‍ය ක්‍රියාවක් වන බව ලොවට පෙන්වා දුන්නේ බුදු දහමයි. කවර තරමේ ව්‍යසනයක් වුවත් සංසිඳවීමේ ශක්තිය හා බලය ඒ සතුව පවත්නා බවට බුදුන් වහන්සේ විසින් ම සැපයූ නිදසුන් බොහෝ ය. තුන් බියකින් ඇළලී විපතට පත්ව සිටි එදා විශාලා මහනුවර ජනකාය සංසිඳවනු ලැබුවේ උන්වහන්සේ සතුව පැවති අකලංක මහාකාරුණික ගුණය පෙරටු කර ගත් සත්‍යවචනයේ බලයෙනි. අදත් බෞද්ධ ජනතාව පිරිත් දේශනාවට සවන් දෙන්නේ ඒ ආශිර්වාදාත්මක ශක්තිය කෙරෙහි බලවත් ලෙස විශ්වාසය තබමිනි.සසර සැරිසරමින් සිටින පුහුදුනන්ගේත් සසරින් එතෙර යාමට වෑයම් කරන ශෛක්ෂයන්ගේත් ඓහලෞකික සහ පාරලෞකික ශුභසිද්ධිය උදෙසා සම්මාවාචා නම් වූ ආර්ය ගුණය කෙතෙක් වටනේදැයි ඉහත දක්වන ලද කරුණු තුළින් වටහා ගත හැකිය.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]