UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් මහ බෝ මහ සෑ වන්දනාව

අසිරිමත් මහ බෝ මහ සෑ වන්දනාව

වසර 2500 ට වඩා ඈත අතීතයට දිවයන ලාංකීය රාජ නාමාවලිය හැඩ කළ ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය සුරක්‍ෂණය කොට නගා සිටුවන්නට දිරි දුන් දුටුගැමුණු මහ රජතුමන් ප්‍රමුඛ හෙළ රජදරුවන්ට මෙන්ම එදා මෙදා තුර ශ්‍රී ලාංකීය හෙළ බොදු අනන්‍යතාව පෙරට ගෙන එන්නට තම දිවි කැප කළ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් ප්‍රධාන සියලුම දේශ හිතෛශීන් හට පින්පෙත් පුදා සකල ලක් වැසි ලෝවැසි ජනතාවට සාමය සතුට සෞභාග්‍ය හා තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය පතා මහා අසදෘශ පූජාවක් අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලි චෙත්‍ය රාජයාණන් අබිමුව මෙන්ම විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝසමිඳුන් පාමුලදී සිදු කරන ලදී. මෙය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් සංවිධානය කළේය.


අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී‍්‍ර බුද්ධරක්‍ඛිත මහා නාහිමි රත්රන්, රිදී පළදනාව පූජාකිරීමට පෙර

සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහානාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මැයි මස 11 වන දින පැවැත්වූ මෙම මහඟු පින්කමේදි එදින උදෑසන වස විස නුමුසු සම්ප්‍රදායික දේශිය සහලින් පිසූ කිරි ආහාර පාත්‍ර 07 ක් ජයසිරි මහා බෝසමිදුන් වෙත පෙරහරින් වැඩම කරවා පූජා කිරීමත් මැණික් ඔබ්බවා රනින් නිමවන ලද දුර්ලභ ගණයේ ස්වර්ණාභරණයන් බෝධින් වහන්සේ වෙත පළදවා උඩමළුව පුරා රෝසමල් ලක්‍ෂයක් අතුරා වැලි මළුව සුවඳමලින් සරසා මහාබෝධිවන්දනාවත් සිදු කරන ලදී. ඉන් අනතුරුව සවස් කාලයේදි සෝළස ද්‍රෝණයක් ශ්‍රී‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත්ව විරාජමාන වන සකල ලෝවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුනු රුවන්වැලි මහ සෑ රදුන් වෙත කෝටියක් වන පස්මල් පුදා ගුවනින් මල්හෙලා අටපිරිකර හා බුදුපිළිම වහන්සේ පන්දහක් පේසා වළළු මත තැන්පත් කිරීමෙන් තෙසැත්තෑ ඤාණ සත් සැත්තෑ ඤාණ ධජ පථාකයෙන් හා කෘත්‍රීම නෙළුම් මලින් සලපතල මළුව හා ඇත්පවුරු සරසා විදුලි බුබුළු ලක්‍ෂ 10 කින් මුළුපුද බිම සරසා මහා ආලෝක පූජාව පැවැත්වීමත් ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකළ අතර උතුරු මැද පළාතේ දුෂ්කර විහාරස්ථාන 650 කට ගරු භාණ්ඩ පූජාව පැවැත්වීමත් යන මහානීය උතුම් පින්කම ජනී ජනයාගේ සාධු නාද මධ්‍යයේදි සිදු විය.


ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ වෙත රන් පළඳනාව පුදා ඇති අයුරු

මෙම මහඟු අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේ මෙන්ම එම පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ගලගම අත්ථදස්සී අනුනා හිමි ,දිඹුල් කුඹුරේ විමල ධම්ම අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහානාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි, අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමි සහ පල්ලේගම හේමරතන නා හිමි ඇතුළු ත්‍රෙනිකායික සම්භාවනීය ගරුතර මහා සඟරුවන වැඩමකර වදාළ අතර මෙම දුර්ලභ ගනයේ උතුම් මහා පින්කමට දායක වූ සැදැහැත් ඔබ සැමහට උතුම් වූ විජය ශ්‍රී‍්‍ර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සහ උතුම් ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මහානුභාවයෙන් සියලු යහපත සැලසේවායි මුලු හඳින් ප්‍රාර්ථනා කරමි.

 

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]