UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියල්ලට හේතුව පූර්ව කර්මය ද?

සියල්ලට හේතුව පූර්ව කර්මය ද?

සියල්ල පූර්ව කර්මයෙන් සිදුවන්නේ නෑ. සමහර ඒවාට වර්තමාන කර්ම බලපානවා. ඒ කියන්නෙ මේ ජීවිතයේ දී කරන ක්‍රියා. ප්‍රතිසන්ධිය සිදුවනුයේ පූර්ව කර්මයට අනුවයි. අපේ ශරීරයේ පැවැත්මට කර්ම චිත්ත සෘතු ආහාර ආදිය හේතුවෙනවා. ශරීරයේ රූප ඒවායින් හැදෙනවා. කර්මයෙන් පමණක් නොව සෘතු ගුණය වෙනස් වුවහොත් නරක් වුවහොත් හැදෙන රූපය ලෙඩ වෙනවා. ඒ වගේම ආහාරය නරක් වුවහොත් විවිධ ලෙඩ රෝග හට ගන්නවා. සිත අපිරිසුදු වුවහොත් ඒත් අර ආකාරයට අසනීප හට ගන්නවා.

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

ප්‍රශ්නය - අධි මානසික ස්වභාවය යනු කුමක්ද?

පිළිතුර – අධිමානසික තත්ත්වය කියන්නෙ ධ්‍යාන ලැබීමෙන් හිත ඉහළට දියුණු කිරිමයි. සමථ භාවනා කර සිත එකඟ කරනවා. එසේ සිත එකඟ කරන අවස්ථා පහක් වේ. පළමු, දෙවැනි, තෙවැනි ,සිව්වැනි හා පස්වැනි ධ්‍යානය තෙක්ම සිත ඉහළටය යනවා. පස් වැනි ධ්‍යානය ලැබූ විට ඕනෑකම තිබේ නම් අතීත ආත්ම සිහි කරන නුවණ දියුණු කර ගැනීමට දිවැස දියුණූ කර ගැනීමටත් ඍද්ධියෙන් පුදුම දේ ඇති කරන ශක්ති දියුණූ කර ගැනීමටත් හැකිවේ. එය ලැබෙනුයේ ධ්‍යාන පුරුදු කර ගැනීමෙනි. එය රූපධ්‍යානයයි.

භවයේ ඉහළට සිත දියුණූ කළොත් අරූපධ්‍යාන ලැබිය හැකියි. එය අධි මානසික තත්ත්වයයි.

කෙලෙස් ප්‍රහාණය

ප්‍රශ්නය – කෙලෙස් ප්‍රහාණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර - ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තිබෙන නිසා ඒවා මුලින් දැන ගත යුතුයි. අනුසය අවස්ථාව, පරිවුට්ඨාන අවස්ථාව සහ වීථික්කම අවස්ථාව යනු ඒ අවස්ථා තුනයි. අනුසය අවස්ථාව කියන්නෙ මතු වන්නේ නැතිව දිගටම කෙලෙස් සිතේ තබාගෙන නවන අවස්ථාවයි. ඒවා මතුවීමට තරම් සැහෙන අරමුණක් ඉදිරිපත් වුණොත් රාගය, ද්වේශය ආදි වශයෙන් මතුවෙනවා. ඒක ක්ලේශයන්ගේ පරිවුට්ඨාන අවස්ථාවයි.

පරිවුට්ඨාන අවස්ථාවේ සිටින ක්ලේශයන් සමහර විටක ඉතා බලවත්වෙනවා.එසේ බලවත්වීමෙන් වැරැදි වැඩ කරන්න ඔහු පෙළඹෙනවා. මෙසේ පව් කිරීමට පෙළඹීම ‘විථික්කම’ අවස්ථාවයි. ඒ ‘විථික්කම’ අවස්ථාව තමයි කාට වුවත් පෙනෙන අවස්ථාව. සිල් රැකීම ආදි පින්කම් කරන විට ඒ වීතික්කම අවස්ථාව යටපත් වෙනවා. අර වැරැදි දේ මතුවෙන්නට ඉඩ නොදී සිල් රැකීම්, දන්දීම් ආදි පින්දහම්වල නිරත විය යුතුයි. ඒ කවර දේ කරන්නත් සීලය තියෙන්න ඕනෑ. සිල් රැකීමෙන් පංචශීලය ආරක්‍ෂා කිරීමෙන් නීති කඩකිරීමට බලවත් වන ක්ලේශයන් මර්දනය වෙනවා. මා සිල් රකිනවා යැයි මෙනෙහි කරන විට සිතේ ක්ලේශයන් යටපත් වෙනවා. ක්ලේශයන් මර්දනයට ඒ අවස්ථාවේදී ශීලය ප්‍රමාණවත් වෙනවා.

හොඳට සිල් රකින තැනැත්තාගේ සිතේ කෙලෙස් හට ගත්තත් වැරැදි කැරෙන තරමට කෙලෙස්වලට නැගිටීමට ඉඩ දෙන්නේ නෑ. සමාධි භාවනාව වැඩීමෙන් සිතේ කෙලෙස් නැගීමක් යටපත් කරන්න පුළුවන් වෙනවා. බුද්ධානුස්සති ආදි භාවනා කමටහන් හතළිහක් බුද්ධාගමේ උගන්වල තියෙනවා. ඒ කොයි භාවනාව වැඩුවත් සිතේ ක්ලේශයන් යටපත් වෙනවා.

ඊළඟට සිතේ ඇතිවන ක්ලේශයන් සමාධි බලයෙන් යටපත් වුණත් නිදාගෙන සිටින්නාක් මෙන් යටපත් වී තිබෙනවා. සමාධි භාවනා දියුණූ කළ කෙනකුට කෙලෙස් යටපත් කරන්න පුළුවනි. සමාධි නැති වෙලාවට කෙලෙස් මතුවන්නත් පුළුවනි.

මේ ක්ලේශයන් නැති කළ යුතුයි. සන්තාන ගත හැම දෙයක්ම සිදුවන්නෙ මේ ක්ලේශයන් නිසයි. ක්ලේශයන්ට ඒ විධියට ළැ¼ගගෙන ඉන්න ඉඩ තියෙන්නේ සිතේ පවතින අවිද්‍යාව නිසයි. ලෝක තත්ත්වය අවබෝධ නොකළ නිසා. ඒ නිසා තත්ත්වාවබෝධය කරන්න ඕනෑ. දැන් තත්ත්වාවබෝධය කරන්නෙ විපස්සනා භාවනාවෙනි. විපස්සනා භාවනාව වැඩීම ඉහළට දියුණු කරන විට විශ්කම්භන වශයෙන් යටපත් වෙනවා. විපස්සනාව ඉහළට දියුණුවීමෙන් මාර්ග අවස්ථාවට එනම් සෝවාන් වන අවස්ථාවට පැමිණි විට කෙලෙස් කොටසක් මුලින්ම දුරුවෙනවා. සකෘදාගාමි අනාගාමි මාර්ග අවස්ථාවලට භාවනාවෙන් සිත දියුණු කිරීමෙන් ඉතිරි කෙලෙස් ක්‍රමයෙන් බිඳිනවා. රහත්වීමෙන් සියලු කෙලෙස් නැතිවී යනවා. ජීවිත තත්ත්වය හරියාකාර දැන අවිද්‍යාව සහමුලින් දුරු කරන අවස්ථාවේ අනුශය ක්ලේශයන් ඉතිරි නොකරම අවසන් කරන්නෙ ඒ අවස්ථාවේදී ය.

ඒ කියාපු සතර මාර්ගයන්ගෙන් ක්‍රමයෙන් ක්ලේශයන් මුලින්ම විනාශ කිරීම තමයි සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. ලෝක තත්ත්වය අවබෝධ කරගෙන ප්‍රඥාව වැඩීමෙන් එසේ වෙනවා. මේ අන්දමට හොඳට සිල් රැකීමෙන් ක්ලේශයන් ක්‍රියා කරන්න නොදී අවස්ථාව පාලනය කරනවා. සමාධි භාවනා කිරීමෙන් ක්ලේශයන්ගේ පරිවුට්ඨාන අවස්ථාව වර්ධනය කරනවා. විපස්සනාව දියුණු කිරීමෙන් මාර්ග අවස්ථාවට සිත නැංවීමෙන් ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය පටන් ගන්නවා. එය සම්පූර්ණ වන්නේ රහත්වීමෙනි. හෙවත් ප්‍රඥාව වැඩීමෙනි. මෙතැන ප්‍රඥාව කියල කියන්නෙ විදර්ශනා ප්‍රඥාවයි. මේ අයුරින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා වැඩීමෙන් තමයි කෙලෙස් ප්‍රහීණ කරන්නේ.

මෛත්‍රිය වැඩීම

ප්‍රශ්නය – මහානායක හාමුදුරුවනේ මෛත්‍රී භාවනාව වැඩීම පිළිබඳ හදුන්වා දෙන්න.

පිළිතුර - ලෝකයේ වෙසෙන සියලු දෙනාම සැපවත්වීමට හැම දෙනාම සුව කැමැතිවීමට සුබ පැතීමයි මෛත්‍රී වඩනවා කියන්නෙ. මෛත්‍රිය වැඩීමේ දී පළමු කොට තමා විසින් තමන්ටම මෛත්‍රිය වැඩිය යුතු ය. ඊට පසුව තමන් ගරු කොට සළකන තමාගේ මව්පිය ගුරුවරු වැනි අයකුට මෙත් වඩන්න. එතැනින් පසු තමා පි‍්‍රය මනාප ඇත්තන්ට මෛත්‍රිය දක්වන්න. එසේ ක්‍රමයෙන් වර්ධනය කර ගන්නා වූ මෛත්‍රිය තම වට පිටාවේ සිටින හැම දෙනාටම වඩන්න. තම මිතුරන්ට මෙන්ම සතුරන්ටද මෛත්‍රිය වැඩීමට පුරුදු කළ යුතුයි. පළමු කොට තමා මෛත්‍රිය වැඩීමේදී මම සුවපත් වෙම්වා. නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, යනුවෙන් සිතින් සිතීමේ දී තමාට එය වැටහෙන්න වෙනවා. තමාට එය දැනෙන්න වෙනවා. එය ක්‍රමයෙන් වර්ධනය කර ලෝකයේ සියලු දෙනාම සුවපත් පිරිසක් වීමට මෙත් වැඩිය යුතු වේ.

නිවන පිරිසුදු ශාන්ත ස්වභාවයකි

ප්‍රශ්නය – නිවන යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කළ හැකි දෙයක් ද?

පිළිතුර – නිවන පිළිබඳ වචනවලින් විස්තර කළ නොහැකිය. මේ ආකාරය යැයි යමකින් පෙන්වා දිය නොහැකි දෙයක්. විපස්සනා භාවනාව වඩල සෝවාන් වන විට තමයි නිවන පෙනෙන්නෙ. එය තමා විසින්ම දැකිය යුතු දෙයක්. වෙනත් කිසිවකුට වචනයෙන් නම් කිව නොහැකියි. අසම්පූර්ණ වශයෙන් කියනවා නම් සියලු දුක් කරදරවලින් වෙන් වූ තත්ත්වයකි.

ලෝකයේ තිබෙන්නෙ ලෞකික දේ අඟවන වචන පමණයි. ඒ නිසා නිවන විස්තර කිරීමට ලෝකයේ වචන නොමැති බව තේරුම් ගත යුත්තක්. ලෝකයේ තිබෙන සියලුම දේවල් තිබෙන්නෙ කැඩෙන බිඳෙන දේ පමණයි. නිවන එබන්දක් නොව සර්වප්‍රකාරයෙන්ම පිරිසුදු ශාන්ත ස්වභාවයක්.

ප්‍රශ්නය – මහා කරුණා සමාපත්තිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර – බුදුරජාණන් වහන්සේ සමවතට සමවැදී අද කාහට පිහිටක් උපකාරයක් විය යුතුදැයි කරුණා පෙරදැරිව ලොව දිහා බලා වදාරනවා. සමාපත්තියෙන් නැගිට දිවැසින් ලොවෙහි අසරණ අය දෙස බලනවා.

ප්‍රශ්නය – නිරෝධ සමාපත්තිය යනු.....

පිළිතුර – ධ්‍යාන ලැබූ රහතන් වහන්සේ සමාපත්ති පිළිවෙළින් සමවැදී ගොස් (නේව සඤ්ඤා නාසඤ්ඤායතන) සිතක් ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ. කියන තරමටම සිත සියුම් කැරෙනවා. සිතීම නතර කැරෙනවා. එතැනයි නිරෝධ සමාපත්තිය.

ප්‍රශ්නය – අර්හත් ඵල සමාපත්තිය යනු කුමක්ද?

පිළිතුර – රහතන් වහන්සේ නිවන අරමුණු කරනවා. නිවනෙහි සිත බැඳ නිවන අරමුණු කැරගෙන අර්හත්ඵල සමාපත්තියෙහි සිත පමුණුවනවා.

ප්‍රශ්නය – ගිහියකු රහත් වුවහොත් භික්‍ෂු සංඛ්‍යාවට ඇතුළත් වෙනවාද?

පිළිතුර – ගිහියකු රහත් වුවහොත් පැවිදි වෙනවා. ගිහි ගෙයි ඉන්නේ නෑ. එසේ පැවිදි නොවුණොත් සතියක් ඇතුළත පිරිනිවන් පානවා. ගිහියකු රහත්වීමෙන් පසු සංඝ ගණයට අයත් වෙනවා. එහෙත් ඒ භික්‍ෂු සංඝයා ගණයට නොව ආර්ය සංඝයා ගණයටයි. ආර්ය සමූහයා සත්‍ය අවබෝධ කරගත් පිරිසයි. ගිහියකු වශයෙන් රහත් වූ අය පමණක් නොව සෝවාන්, සකෘදගාමීන් භික්‍ෂූ සංඝ ගණයට නොව ආර්ය සංඝ ගණයට අයත් වෙනවා.

ප්‍රශ්නය - සියල්ල සිදුවන්නේ පූර්ව කර්මයෙන්ද?

පිළිතුර - සියල්ල පූර්ව කර්මයෙන් සිදුවන්නේ නෑ. සමහර ඒවාට වර්තමාන කර්ම බලපානවා. ඒ කියන්නෙ මේ ජීවිතයේ දී කරන ක්‍රියා. ප්‍රතිසන්ධිය සිදුවනුයේ පූර්ව කර්මයට අනුවයි. අපේ ශරීරයේ පැවැත්මට කර්ම චිත්ත සෘතු ආහාර ආදිය හේතුවෙනවා. ශරීරයේ රූප ඒවායින් හැදෙනවා. කර්මයෙන් පමණක් නොව සෘතු ගුණය වෙනස් වුවහොත් නරක් වුවහොත් හැදෙන රූපය ලෙඩ වෙනවා. ඒ වගේම ආහාරය නරක් වුවහොත් විවිධ ලෙඩ රෝග හට ගන්නවා. සිත අපිරිසුදු වුවහොත් ඒත් අර ආකාරයට අසනීප හට ගන්නවා. ඇතිවෙනවා. එහෙත් ඒවා පූර්ව කර්මවලට අයත්වන්නේ නෑ. සිත සතුටින් පිරිසුදුව කරන යහපත් වැඩ හොඳට සාර්ථක වෙනවා. ඒ මේ ආත්මයේ දී කරන කටයුතුවල ඵලයයි. සෘතු ගුණය හොඳ වූ විට ශරීරයට හොඳ සුවයක් දැනෙනවා. මනා සෞඛ්‍යයට එය හේතුවක් වෙනවා. ශරීරයට හොඳ ගුණදායක ආහාර ලැබෙනවිට ශරීරය වැඩෙනවා.

සමහර විට පුද්ගලයා මේ ජීවිතයේ දී කරන උසස් කුසල් කර්මවලින් හතෙන් එකක් එහි ප්‍රතිඵල ලෙස මේ ජීවිතයේදීම ලැබෙනවා. ඒවා ඇතිවනුයේ පූර්ව කර්මයෙන් නොවේ. එමෙන්ම අනික් අතට තමන් මේ ජීවිතයේ දී අයහපතක් අවැඩක් අකටයුත්තක් සිදු කළාමත් හතෙන් එකක් එහි අමිහිරි විපාක වශයෙන් ලැබෙනවා. එහිදී සිදුවනුයේ ද පූර්ව කර්මයක් නොව වර්තමාන කර්මයක ප්‍රතිඵල ලැබීමයි.

මතු සම්බන්ධයි


 තෘෂ්ණාව ඇති වුණොත් භවයේ බැඳෙනවා

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]