UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2013 මැයි 18 වන දා

බෝසත් ගුණ වඩමු

දානය හෙවත් පරිත්‍යාගය ඉතා කැපවීමෙන් වෙන් පුරුදු පුහුණු කළ යුතු ගුණ දහමකි. තමන් සන්තක කිසිවක් අනුන් වෙත පරිත්‍යාග කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. ඊට හේතුව නම් ලෝභය, ද්වේශය, මෝහය යන අකුසල මූලයන් පුහුදුන් සිතෙහි බෙහෙවින් බලපවත්වන හෙයිනි.

තම සිරුරෙහි රුධිරය අසරණ රෝගීන් සුවපත් කිරීම උදෙසා පින් සිතිවිලි හදවතෙහි පහළ වීම නිසා ම දන් දෙති. ඇතැම් විට අසරණ රෝගීන් දැක ඔවුන් සුවපත් කිරීමේ අරමුණින් ශරීරයේ වකුගඩු ආදිය පවා දන් දෙන අවස්ථා ද කොතෙකුත් තිබේ.

ජීවත්ව සිටියදී ඇස් දෙක දන්දිය නොහැකි නිසා ම ඇස් දන් දීමේ පොරොන්දු පත්‍රයට අස්සන තබා මරණයෙන් පසුව හෝ ඇස් දෙක දන් දෙති.

මේ අයුරින් දන්දීමේ ගුණය පුරුදු පුහුණු කිරීම සඳහා තමා සන්තක දේ අනුන් වෙත පිරිනැමීමට බෞද්ධයා පසුබට නොවේ.දන් දීම නිරන්තරයෙන් අගය කළ යුත්තේ ද එබැවිනි.

තවත් දින කීපයකින් අසිරිමත් සම්බුදු තෙමඟුල උදාවේ.

ඒ නිසාම නොයෙක් ආකාරයේ දන් දීමේ හෙවත් පරිත්‍යාග කිරීමේ පුහුණුව නිරන්තරයෙන් පරපුරෙන් පරපුරටම උරුම කර දෙන උදාර දායාදයක් ද වේ.

බොහෝ වෙහෙර විහාරස්ථානවලදී පුර පසළොස්වක පෝදාට නැතහොත් වෙසක්,පොසොන් ආදි ඓතිහාසික පෝ දිනයන්හි දී දහම් පාසලේ දූ පුතුන් ඒකරාශි වී විහාරස්ථානය අසලම මල් දන්සැල පවත්වනු ලැබේ. මල් දන්සැලකින් වුවත් ලබාදෙන බුද්ධිමත් පණිවුඩය බොදු මනසේ සහනයට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ඇතැම් විට තෙල්,මල්, හඳුන්කුරු දන්සැල් ද පවත්වති. එපමණක් නොව අද මෙන් වාහන පහසුකම් නොතිබූ පුරාතනයේ සැතපුම් ගණන් දුර කතර ගෙවා පන්සල වෙත පියනගන සැදැහැවතුන්ගේ ගමන් විඩාව දුරුකර ගැනීමට සහනයක් ද සලසමින්, සිසිල් පැන් ආදි විවිධ දන්සැල් ද පවත්වති.

තවත් පරිත්‍යාගශීලිහු ඒකරාශි වී ආහාර දන්සැල් ද සංවිධානය කර ති. පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් හෝ දන්සැල් පැවැත්වීම අගය කළයුතු ම ය. එසේ අගය කළ යුත්තේ ද ඉන් ලැබෙන යහපත් ආදර්ශය නිසා ම ය.

එහෙත් කවර චාරිත්‍රයක නිරත වුව ද එමගින් කිසිවිටෙක , කිසිවකුට හෝ අවැඩක් නොවන අයුරින් ඒවා සිදු කිරීමට වග බලා ගැනීමට ද අමතක නො කළ යුතු ය.

පරිත්‍යාගශීලි අදහසින්, ආගමික හැඟීමෙන් දන්සැල් පිරිනමන පින් කැමැත්තෝ බොහෝ වෙති. ඒ අතරතුර කලාතුරෙකින් හෝ දන්සැල් පිරිනැමීමේ අදහසින් තම පෞද්ගලික අපේක්ෂා ඉටු කර ගැනීමට කටයුතු කිරීම නම් අගය කළ යුතු නොවේ.

කෙටියෙන් සලකතොත් පින්කමක් කරන මුවාවෙන් පව්කමකට සිත් යොමු කළ යුතු නොවේ.

වෙසක් පොහොය දිනය වැනි උත්තරීතර ආගමික දිනයක දී සැබැවින්ම බෝසත් ගුණ දම් වර්ධනයට යොමු විය යුතුය.

එසේ නොමැතිව ආගමේ මුවාවෙන්, හැඟීමෙන් තොරව දහමට නිගරු වන ක්‍රියාවල නිරත විය යුතු නොවේ.

කවරකුගෙන් හෝ එවැනි අත්වැරැද්දකින් හෝ යම් අඩුපාඩුවක් වෙතොත් වැඩිහිටියන්ගේ පරම යුතුකම වනුයේ වරද නිවැරැදි කර නිසි මඟ පෙන්වීමට උපදෙස් හා අවවාද කිරීම ය.

වෙසෙසින් දන්සැල් පැවැත්වීමේ දී මග යන එන අය වෙත දන්සැල් පිළිබඳ පණිවුඩය ලබාදීමට බොදු ධජය යොදාගත යුත්තේ ද ඉතා කල්පනාකාරීව ය. බොදු ධජයට නිගරු වන කිසිවක් එමගින් සිදු කළ යුතු නොවේ.

වෙසක් දිනයේ දී ආගමික කටයුතුවල යෙදීමටත් හැකිතාක් බෝසත් ගුණ දහම් තම ජීවිතයට ළඟාකර ගැනීමටත් සූදානම් වීම බෞද්ධයාගේ යුතුකම විය යුතු වේ.

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]