UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනේ සර්, අපට දහම් පාසලට යන්න ඉඩ දෙන්න

අනේ සර්, අපට දහම් පාසලට යන්න ඉඩ දෙන්න

ශ්‍රී ලංකාව බුදු දහමින් පෝෂණය ලැබූ අති ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන උතුම් රටක්, මාපියන්ට සැලැකීම, වැඩිහිටියන්ට සැලැකීම, ගුරුවරුන්ට සැලැකීම පරපුරෙන් පරපුරට රැකගෙන ආ ශ්‍රේෂ්ඨ රටක්.

පැරැණි ගුරුවරයා තම සිසුන්ගේ දැනීම දියුණු කිරීමට මෙන්ම අධ්‍යාත්මික ගුණ වැඩීමට ද විශේෂ අවධානයක් යොමු කළ බව අපි අසා ඇත්තෙමු. මානව හිතවාදිත්වයෙන් පිරිපුන් අතීත ගුරුවරුන් ගුරු දෙවිවරුන් හැටියට ගෞරව පුර්වකව සැමරීමට ද අද සමාජයේ උසස් තත්ත්වයේ සිටින පුද්ගලයන් මෙන්ම, අතීතයේදී එවන් ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබූ බොහෝ පිරිස් ද මහත් කැමැත්තක් දක්වති. පැරැණි ගුරුවරුන් තම සිසුන් උතුම් සාරධර්ම කෙරෙහි යොමු කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියා මාර්ග පිළිබඳව වැඩිහිටියන් බොහෝවිට පවසනු අප අසා ඇත. අද අපේ ඇතැම් ගුරු මෑණිවරුන් හා පියවරුන් වාණිජ රැල්ලට යටවී සිටින පිරිසක් බව පැවසීමට සිදුවීම ගැන අපට සමාවුව මැනවි.

සාරධර්ම කෙරෙහි දිනපතා පාසලේදී ලැබෙන පෙළඹවීම අඩු මට්ටමක පැවතිය හැකිය. ඒ ඒ විෂයයන් ඉගැන්වීම කරන ගුරුවරුන්ට කාලසටහනේ නියමිත කාල පරිච්ඡේදය තුළ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට අමතර කාර්යයන් සඳහා අවධානය යොමු කිරීමට අවස්ථාවක් නොලැබෙනු විය හැකිය. කෙසේ වෙතත් එවන් තත්ත්වයක් මත සාරධර්ම හුරුවට අපට දිනපතා පාසලේදී ලැබෙන ඉඩකඩ සීමිත විය හැකිය.

සාරධර්ම කෙරෙහි අපට යම් තරමකින් හෝ අවධානය ලැබෙන්නේ දහම් පාසලෙන් බවනම් කිව යුතුම ය. දහම් පාසලේ ගත කරන පැය 5කට ආසන්න කාලය තුළ දහම් අධ්‍යාපනයටම පමණක් වෙන්වීම සුවිශේෂී තත්ත්වයකි. දිනපතා පාසලේ ආගම විෂයය සඳහා කාල පරිච්ඡේද 2 ක් පමණක් ඇති අතර සතියකට වෙන් වන්නේ පැය 1 විනාඩි 20 ක් පමණකි. විවිධ ව්‍යාපෘතිවලට කාලපරිච්ඡේද යොදා ගැනීමේදී ආගම විෂයයට නියමිත කාල පරිච්ඡේද දෙකද අපට අහිමි වන අවස්ථා කොතෙකුත් ඇත. එබැවින් දිනපතා පාසලේදී ආගම විෂයයට ලැබෙන තැන පිළිබඳව කොතෙකුත් මැසිවිලි නැගෙන අවස්ථා ද එමට ඇත.

එවන් තත්ත්වයක් තිබියදී අපට දහම් අවබෝධයක් ලබා ගැනීමට හොඳම අවස්ථාව දහම් පාසලයි. සාරධර්ම අවබෝධය ලබාගත හැකි එකම තැන දහම් පාසලයි. ඒ අවස්ථාවේද අපට බාධාවක් වී ඇත. ඉරිදා උදේ වරුවේ පෞද්ගලික පන්ති පැවැත්වීම නිසා අපට දහම් පාසලට යාමට අවස්ථාවක් නොලැබෙයි. විභාගවලින් උසස් සාමාර්ථයන් ලැබීමට අපිද කැමැත්තෙමු. එබැවින් අපට සර්ගේ පන්තියට පැමිණීමට සිදුවෙයි. අපට දහම් පාසල් සහතික ලැබීමේ අවස්ථාවද මඟ හැරී යයි. දහම් පාසල් අවසාන සහතිකයටත්, ධර්මාචාර්ය සහතිකයටත් විශේෂ අගැයීමක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය ද යොමුවී ඇත. මේ නිසා දහම් පාසල් අධ්‍යාපනයේ ඇති සුවිශේෂී වැදගත්කම දැන් බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇත.

එබැවින් සර්, මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. අ. පො. ස (සා. පෙ) ‘ඒ’ 9 ක් හෝ උ. පෙ. ‘ඒ’ 3 ක් ලබා ගත්තත් අප සාරධර්ම අතින් දුර්වල නම් ඒ ලබන සහතික වලින් කිසිඳු වැඩක් නොවේ. අප උගත් දරුවන් මෙන්ම ගුණවත් දරුවන් ද කිරීම අපේ ආදරණීය දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව යි. ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව මුදුන් පත් කිරීමට අපිද කැමැත්තෙමු.

සෑම ප්‍රශ්නයක්ම මුදල් නෝට්ටු තුළින් බැලීම එතරම් ප්‍රඥාගෝචර නොවන බව අපේ හැඟීමයි. ඔබද බෞද්ධයෙකු විය හැකිය. මුදල්වලටම යටවී සාර ධර්ම පිරිහීමට අත හිත දීම ‘ සර්ට තරම් නොවන බවයි අපේ අදහස. අපේ උතුම් සාරධර්ම පිරිහීමට පත් කොට දරු පරපුර වැරැදි මඟට තල්ලු කිරීමේ මහා අපරාධයකට ඔබත් වගකිවයුත්තෙකු වන්නට කැමති ද ?

අනේ සර්, ජාතියට ආදරය කරන්න. අපට ආදරය කරන්න. ඔබේ පෞද්ගලික පන්තිය කරගෙන යන්න. අපට ඉරිදා උදේ වරුව පමණක්වත් ඉඩ දෙන්න. සතියේ දිනවල සවසත්, සෙනසුරාදා දවසත් ඉරිදා සවස් වරුවේත් පන්ති පැවැත්වීමට හොඳටම ප්‍රමාණවත් වනු ඇත. ඉරිදා උදේ වරුවේ ඔබේ පන්තිය නොපවත්වන මෙන් යළි යළිත් අපි ඔබෙන් ආයාචනය කරමු.

සිසු පිරිසක්

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]