UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගමේ එදා වෙසක් සැරසිලි

ගමේ එදා වෙසක් සැරසිලි

වෙසක් කූඩු සෑදීමට පවුලේ අය එකතුවී දින කීපයක් වෙහෙස විය යුතුය. එසේ කරන විට සැදැහැයෙන් අපේ සිත් පහන් වී යයි. එසේම දෙමාපිය වැඩිහිටියන් කෙරේද මහත් භක්තියක් අප තුළ ඇතිවන්නේ ඔවුන් අපට මෙම වැඩවලට දක්වන සහාය නිසාය. අපේ නිර්මාණ ශක්තියට ඉඩදී අප ලවා වෙසක් පහන් කූඩු නිර්මාණය කරවීම නිසා අපට අප ගැනම මහත් අභිමානයක් ඇතිවිය

සිංහල අවුරුද්ද ගෙවීයත්ම අපේ ගම්වල කාගේත් අවධානය යොමු වූයේ වෙසක් පින්කම් සංවිධානය ගැනය. ගමේ වැඩිහිටියන් පන්සල මුල්කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උත්සුකවන අතර ළමා පරපුර උනන්දු වූයේ වෙසක් සැරසිලි ගැනය.

වෙසක් දාට ගෙදර මිදුල වටේට ගොක් රැහැණින් සරසන අතර ගමන් කළ යුතු තැන්වලට ආරුක්කු සාදනු ලැබේ. වෙසක් දාට සතියකට වත් කලින් ගමේ කැලයට ගොස් ගොක් සැරසිළි සඳහා අවශ්‍ය කෝටු කපාගෙන, වැල් රැගෙන ඒම අපේ පළමු කටයුත්තයි. මිදුල වටේ කෝටු සිටුවා ඒවා සම්බන්ධ කොට වැල් බඳීනු ලැබේ. මුදල් සුලභ නොවූ නිසා කැලයෙන් මදුවැල්,පෝටෑ වැල් , තිත්ත වැල් ආදි වැල් ඇදගෙන එයි. මෙම වැල් වර්ග එකක් වත් ලේසියෙන් කැඩිය නොහැකි ය.

ගමන් කළ යුතු තැන්වල උණ ලී සිටුවා උණ පතුරක්ම නමා ආරුක්කු සෑදූ විට අමුතු ලස්සනක් ලැබේ. ආරුක්කු වැඩි වූ තරමට සැරසිලේලේ අලංකාරය වැඩිවේ. කෝටු හරහා අදින ලද වැල්වල ගොක් කොළ එකට එකක් සම්බන්ධ වන සේ එල්ලනු ලැබේ. මේ වැඩ සඳහා අපට වැඩිහිටියන්ගේ නොමද සහාය ලැබුණි. විශේෂයෙන් වෙසක් ලංවන විට මෙම සැරසිළි සඳහා අප පොළඹවන්නේද වැඩිහිටියන් ය. ආරුක්කු සෑදීම කුඩා ළමුන්ට අපහසුය. ඒ සඳහා අප්පච්චිගේ සහ අයියලාගේ සහාය අවශ්‍යම වේ.

වෙසක්දාට ගෙදර මිදුල වටා මේ ලෙස කරන ගොක්කොල සැරසිල්ලට අමතරව වෙසක් පහන් කූඩු කීපයක් සෑදීම අවශ්‍යම වේ. ගමේ ගෙවල්වල කවුරුන් පාහේ එක කූඩුවක් වත් සෑදුවේ නැති නම් එය මදි කමකි. වෙසක් පහන් කූඩු සෑදීමට අප බොහෝ විට පාවිච්චි කළේ තල ඉරටු හෝ උණ පතුරු හෝ බට පතුරුය. උණ පතුරු කුඩාවට ඉරා සකස් කර ගැනීම අපට අපහසු නිසා උණ ලී කෑල්ලක් සොයා ගෙන විත් එය පලා කුඩා පතුරු සකස් කර දෙන්නේ අප්පච්චීය.

වෙසක් පහන්කූඩු බැඳීම කරන්නේ පවුලේ කවුරුන් එකතු වීමෙන්ය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් වැඩිහිටියන්ගෙන් ලැබේ. පහන් කූඩු බැඳීමට බොහෝ විට යොදා ගත්තේ ඔට්ටපාලුය. අපේ ගම්වල රබර් බහුල නිසා කිරි කපා එක්කරගත් පසු කිරි පීල්ලේ වේලෙන ඔට්ටපාලු පටිගලවා ගැනීම ඉතා පහසුය. ඔට්ටපාලු පටි වලින් වෙලූ කල එය ඇලී තදට සවිවේ.

වෙසක් සැරසිල්ලට කූ®ඩු බැඳීම,විවිධ හැඩ තල වලට සව් (ටිෂූූ) කඩදාසි ඇලවීම ආදියේදී අප ලබන පී‍්‍රතිය අසීමිතය.එක් අයකුට එක් අයෙක් වෙනස් ලෙස වෙසක් කූඩු සෑදිමේ අවශ්‍යතාවය නිසා අප අතින් නිම වන වෙසක් කූඩු විවිධ ආකාර වේ.අටපට්ටම් කූඩු, තාරුකා, හතරැස් කූඩු, නැව්,බස් ආදී විවිධ ආකාරයේ නිර්මාණ අප අතරින් බිහි වන්නේ පුදුම සහගත ලෙසය. ඇතැම් කූඩු අප සාදන්නේ රහසිගත වය. ඒවා එළියට ගන්නේ පහන් දල්වන අවස්ථාවේය. එසේ කරන්නේ කවුරුත් මවිත කිරීමට ය.

එසේම විවිධ වර්ණවලින් බකට් පහන් වෙසක් දිනට පෙරදින අපට ගෙනැවිත් දීමට අප්පච්චි අමතක නොකරයි. ඒවායේ ඉටිපන්දම දල්වා ගොක් කොල එල්ලූ වැල්වල තැනින් තැන එල්ලූ විට ඉතා අලංකාරවත් වේ.අපේ වෙසක් කූඩු එල්ලන්නේ උණ ගසක් සිටුවා බිම සිට උඩට එසවිය හැකි ලෙස ය. බොහෝ විට අප අටපට්ටම් කූඩුවට පැටව් හතරක් වත් යෙදීමට උනන්දු වෙමු. කූඩුවලට පැටව් සවිකිරීම ලේසි පහසු කාර්යයක් නොවේ. එහි සමබරතාවය නොරැකුනොත් පසකට ඇලවී කූඩුව ගිණි ගැනීමට හැකිය.මෙකල මෙන් වෙසක් කූඩු වලට විදුලි බුබුළු යෙදීමට එකල අපට හැකියාවක් නොවීය.

අද බොහෝ දෙනෙක් වෙසක් කූඩුද වෙළද පොළෙන් මිලදී ගැනීමට පුරුදුව සිටිති. එසේම වෙසක් දිනයට සෑහෙන කාලයක් තබා අද සෑම ප්‍රදේශයකම පාහේ වෙසක් කූඩු සාදා විකුණන ස්ථාන දැකිය හැකිය. එවැනි තැනකින් වෙසක් කූඩුවක් මිලදී ගෙන ඒමෙන් වෙසක් කූඩු සෑදිමේ පරමාර්ථය නම් ඉටු නොවේ.

වෙසක් පහන් කූඩු සෑදීමට පවුලේ අය එකතුවී දින කීපයක් වෙහෙස විය යුතුය. එසේ කරන විට සැදැහැයෙන් අපේ සිත් පහන් වී යයි. එසේම දෙමාපිය වැඩිහිටියන් කෙරේද මහත් භක්තියක් අප තුළ ඇතිවන්නේ ඔවුන් අපට මෙම වැඩවලට දක්වන සහාය නිසාය.අපේ නිර්මාණ ශක්තියට ඉඩදී අප ලවා වෙසක් පහන් කූඩු නිර්මාණය කරවීම නිසා අපට අප ගැනම මහත් අභිමානයක් ඇතිවිය.

වෙසක් පහන් කූඩුව හැකි තාක් ඉහළින් එල්ලීමට අප කැමැතිය. ඇතැම් විටෙක එසේ උඩට යැවීමට ගන්නා උත්සාහයේදී සුළඟට කැරකී කූඩුව ගිනි ගන්නා අවස්ථා ඇත. එවිට අප වැළපෙන අවස්ථාවල අම්මා අප්පච්චී කියන්නේ “ඔහොම තමයි දරුවෝ සේරම අනිත්‍යයි” කියාය. ඒ අනිත්‍ය මෙනෙහි කොට අපි ද සිත් සනසා ගනිමු. එයින් අපට දෙන ගැඹුරු පණිවුඩය අපේ ජීවිත සකසා ගැනීමට මොනතරම් බලපාන කරුණක්ද? මෙලෙස ගමේ ගෙවල්වල සාදන වෙසක් පහන් කූඩු වලින් සෑම නිවසකින්ම එකක් බැගින් ගමේ පන්සලට ගොස් එල්ලීමටද අපි පුරුදු වී සිටියෙමු. පන්සලේ ඇති වෙසක් කූඩු ගණනින් ගමේ ඇති ගෙවල් ගණන දැනගත හැකිය.

වර්තමානය වන විට වෙසක් කූ®ඩු සෑදීමේ මහ තරග, වෙසක් කලාප තොරණ සමඟ වෙසක් කූ®ඩු රට පුරා දැකගත හැකි ලෙස වෙසක් පහන් කූඩු කලාව ව්‍යාප්තව ඇත.

 

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]