UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු කථා පුවත් 11 පතිබ්බතා විමාන වත්ථුව පතිවත රැකීමේ ආනිසංසයෙන්  දෙව් සැපත් ලත් දිව්‍යාංගනාව

විමාන වත්ථු කථා පුවත් 11

පතිබ්බතා විමාන වත්ථුව

පතිවත රැකීමේ ආනිසංසයෙන්  දෙව් සැපත් ලත් දිව්‍යාංගනාව

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

සැමියා උපයන වස්තුව ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කළ ඈ ධාන්‍ය කොටන විට ඉතිරිවන කුඩු පවා ඉවත නොදමා ගත හැකි ප්‍රයෝජන ගැනීමට තරම් සුපරීක්‍ෂාකාරී වූවා ය. රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති ව හැකි හැම අවස්ථාවකදීම දාන මානාදී කුසල කර්මයන්හි ව්‍යාවෘත වූවා ය. ඈ තුළ පැවති ඉතාම උතුම් ගුණය වූයේ සත්‍යවාදී බවය. මේ අන්දමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඈ කර්මානුරූපව රෝගයකට ගොදුරු වීමෙන් අකාලයේ මිය පරලොව ගියා ය.

ජීවත්ව සිටියදී අමුතු පින්කමක් නො කළ ද ඇය මහත් භක්තියෙන් ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ බලයෙන් තව්තිසා දෙව්ලොව අලංකාර දිව්‍ය විමානයක උපන්නාය. විශාල පරිවාර සම්පත්තියෙන් ද මහත් වූ දිව්‍ය ඓශ්චර්යයෙන් ද අනෙකුත් දෙවඟනන් අතර කැපී පෙනෙන රූප ශෝභාවක් ද ලැබුවා ය.

මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩි එක් අවස්ථාවකදී උන්වහන්සේගේ අවධානයට ලක් වූයේ මේ දෙවඟනය. මිනිස් ලොව දී ඇය ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයේ මහිමයෙන් මේ සියලු සම්පත් ලත් බව උන්වහන්සේ දනිතත්, ඇගේ මුවින්ම එය කියවීම පතිව්‍රතාවේ මහිමය අනික් දෙවඟනන්ට ද ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරවීමට මහඟු පිටිවහලක් වන නිසා මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ඔබගේ දිව්‍ය ඓශ්චර්යය වර්ණනා විෂයාතික්‍රාන්තය, සිතූ පැතූ සම්පත්, දහස් ගණන් පරිවාර දිව්‍ය ස්ත්‍රීන්, විසිතුරු දිව්‍ය විමානය, සෘද්ධිබලය ආදිය නිසා ඔබ අනිත් දෙවඟනන් අතර විශේෂයෙන් ඉස්මතු වී පෙනෙන්නෙහිය. ශරීරයෙන් නික්මෙන කාන්තියෙන් හාත්පස බබළන්නේ ය. ඔබගේ විධානය පක්‍ෂි නාදයෙන් ගීතවත් ය. මෙසේ මහානුභාව සම්පන්න දිව්‍ය ඓශ්චර්යයක් ලබන්නට හේතු වාසනා වූයේ මනුෂ්‍ය ලෝකයේ කරන ලද කවර නම් පුණ්‍යකර්මයක් නිසාද?

ඊට පිළිතුරු වශයෙන් ඇය මිනිස් ලොව දී ආරක්‍ෂා කළ පතිව්‍රතා ධර්මයත්, ආගමානුකූල ඇවතුම් පැවතුම් රටාවත්, පිරූ ගුණ ධර්මත් විස්තර වශයෙන් උන්වහන්සේට හෙළි කළේ අධිකතර සන්තෝෂයෙනි. ‘ස්වාමිනි, මේ සියල්ල මට ලැබුණේ අනික් කුසලයක් නිසා නොව ස්වාමි භක්තියෙන් පතිව්‍රතාව ආරක්‍ෂා කරමින් ගත කළ දැහැමි ජීවන රටාව නිසාමය.

එම දෙවඟනගේ කථාව මුල් කර ගනිමින් සෙසු දෙවඟනන්ට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ පෙරළා මිනිස් ලොවට පැමිණීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද සැළ කර සිටියහ. ඊට සවන් යොමු කළ උන්වහන්සේ ඇයගේ දහම් දිවි පෙවෙත අගය කරමින් රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාගේ හිත සුව පිණිසම හේතු වූයේ ය.


විමාන වත්ථු කථා පුවත් 10 - තිල දක්ඛිණා විමාන වත්ථුව මරණාසන්න අවස්ථාවේදී තල දෝතක් පූජා කිරීමෙන් මහත් වූ දිව්‍ය සම්පත් ලත් දෙවඟන

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]