UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රන්න කහඳාව පුරාණ විහාරය

රන්න කහඳාව පුරාණ විහාරය

රුහුණේ ඓතිහාසික කසාගල රජ මහා විහාරස්ථානයට අනුබද්ධ විහාරස්ථානයක් වන රන්න කහඳාව පුරාණ විහාරස්ථානය මාතර – කතරගම මාර්ගයේ රන්න නගරයට ආසන්නව පිහිටා ඇත. මහනුවර යුගයට අයත් මෙම විහාරස්ථානය කහඳාවේ මුදියන්සේ හෙවත් සෙනරත් රත්නායක මුදලිතුමා විසින් ඉදිකරවනු ලැබ සසුනට පූජා කරන ලද්දක් බව පතපොතේ සඳහන්ය. සංඝරාජ සාධු චරියාව ග්‍රන්ථයෙහි මෙම විස්තර සඳහන් වේ.

සිටිනාමළුවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ හා වේහැල්ලේ ධම්මදින්න හිමිපාණන් වහන්සේ මෙහි වැඩ වාසය කර ඇත. ධම්ම ජෝති ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානයේදීම අපවත්වූ බව සංඝරාජ සාධු චරියාව සඳහන් කරයි.

පහත රට සංඝනායක පදවියත්, ශ්‍රී පාදස්ථානයේ නායක පදවියත් ඉසිලූ ශ්‍රී ධම්මදින්න මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවූ මහා ශාසනික මෙහෙවරෙහි මූලස්ථානය වූයේ මෙම කහඳාව පුරාණ විහාරස්ථානයයි. පසුව කහඳාව හා කසාගල විහාරස්ථාන දෙකෙහිම නායක පදවියට පත්වූයේ වේහැල්ලේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේය.


විහාරාධිපති කුඹුක්වැවේ අරියජෝති හිමි

1890 වර්ෂයේදී පමණ වේහැල්ලේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගෙන් පසුව මෙහි විහාරාධිපති පදවියට පත්වන්නේ, උඩයාලේ සෝනුත්තර හිමිපාණන් වහන්සේය. සෝනුත්තර හිමිපාණන්ගේ මඟ පෙන්වීම මත මාතර මහා මන්තීන්ද පිරිවෙනේදී බැදිගම රතනපාල නායක හිමියන්ගෙන් ධර්ම ශාස්ත්‍රීය කටයුතු ප්‍රගුණ කළ සෝනුත්තර නායක හිමියන්ගේ ශිෂ්‍ය කදුරුපොකුණේ සුමනතිස්ස හිමිපාණෝ තම ගුරු හිමි ඇවෑමෙන් මෙහි විහාරාධිපති පදවියට පත්වූහ. මල්වතු විහාරයෙන් පහතරට අධිකරණ සංඝනායක පදවියටත්, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියටත් පත්වූ උන්වහන්සේ 1947 වර්ෂයේ කසාගල රජ මහාවිහාරාධිපති පදවියටත් පත්වූහ.

අනතුරුව කහඳාව පුරාණ විහාරාධිපති පදවියට පත්වූයේ සුමන තිස්ස නාහිමියන් ගේ ශිෂ්‍ය නාකුළුගමුවේ උපතිස්ස හිමිපාණන් වහන්සේය. 1978 වර්ෂයේ උන්වහන්සේ අපවත්වීමෙන් පසුව වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය කුඹුක්වැවේ අරියජෝති හිමිපාණෝ මෙහි විහාරාධිපති පදවියට පත් වූහ.

දැනට අරියජෝති නායක හිමියන්ගේ ශිෂ්‍යයන් වශයෙන්, කුඩගල්ආරේ චන්දිම, රන්මුදු වැවේ දේවානන්ද යන හිමිවරු මෙහි වැඩ වාසය කරති. කහඳාව විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පදවිය උසුලා දැනට විශ්‍රාම ගෙන සිටින මෙහි විහාරාධිපති කුඹුක්වැවේ අරියජෝති හිමිපාණෝ, ප්‍රදේශයේ ආගමික ශාසනික මෙහෙවරෙහි යෙදෙමින් ශ්‍රී ධම්මදින්න දහම් පාසල ද පවත්වාගෙන යති. උන්වහන්සේ විසින් ධාතු මන්දිරය ද පුස්තකාලය ද සහිත නව දෙමහල් සංඝාවාසයක් ඉදිකරවනු ලැබ ඇත.

මෙම පුරාණ විහාරස්ථානයේ විහාර මන්දිරය මහනුවර යුගයේ බිතු සිතුවම්වලින් අලංකාර වී ඇත. ඇතුළු මාලයේ සමාධි බුදුපිළිම වහන්සේ මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අනුව නිර්මාණයවී ඇති අතර පිට මාලයේ දෙපස විෂ්ණු, කතරගම, දේවාල දෙක ඉදිකර ඇත. මහනුවර යුගයේ ඉදිකරන ලද, මෙහි පිට මාලයේ මකර තොරණ හා එහි සිතුවම් ද දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කරනු ලැබ ඇත. මෙහි සිතුවම් අතර ‘සිහවටුක’ රූපය ලෙසින් හැඳින්වෙන රූපය මහා රාවණා රජුගේ යැයි සැලකේ. මෙම විහාරස්ථානයට අඩුවක්ව පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේ 2009 වර්ෂයේ රන්න, ඩී. අබේවික්‍රම හා කරුණාවති ජයවර්ධන දම්පතීන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී. සියලු විහාරාංගයන්ගෙන් සමන්විත කහඳාව පුරාණ විහාරය රන්න ප්‍රදේශයේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]