UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව – 20 නිමි ජාතකයෙන් හෙළිවන නිරයේ තොරතුරු

පුනරුප්පත්ති ලිපි මාලාව – 20

නිමි ජාතකයෙන් හෙළිවන නිරයේ තොරතුරු

මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව නැවත භවයක් පිළිබඳව නොසිතා මිනිස් ලොව දී කරන ලද විවිධ අකුශල කර්ම නිසා ඔවුන් නිරයේ ඉපිද බොහෝ කාලයක් අපමණ කටුක වූ දුක් විපාක විඳින බව මාතලි විසින් නිමි රජුට තවදුරටත් පෙන්වා දෙන ලදී.මේ අනුව බලන විට අප කරන අකුශල කර්මයන්ගේ විපාක අපට නැවත භවයකදී අත්විඳීමට සිදුවන බව නිමි ජාතකයේ එන නිරයේ තොරතුරු වලින් මනාව පැහැදිලි වෙයි
 

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ
නිමි ජාතකයෙන් අකුශල කර්මයන්ගේ
විපාකයන් කෙබඳුදැ’යි විමසා බැලීමට ය.
මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ
එහි දෙවන කොටස වෙතයි.

ප්‍රශ්නය - නිමි ජාතකයෙන් හෙළිවන කර්ම විපාකයන් පුනර්භවය සඳහා බලපා ඇත්තේ කෙසේ ද?

සක් දෙවිදුගේ රියදුරු වූ මාතලි නැවතත් නිමි රජුට ඊතල වලින් හා තෝමර වලින් අනින විට මරහඬ දෙමින් කෑ ගසන නිරිසතුන් පිරිසක් පෙන්වයි. ඒ දකින විට අතිශය බියට පත්වන නිමි රජු ඒ සඳහා හේතු විමසයි. එයට පිළිතුරු වශයෙන් මාතලී පවසන්නේ ඒ පිරිස පෙර මිනිසුන්ව උපත ලබා සිටින අවස්ථාවේ ධන, ධාන්‍ය රන්රිදී, එළු, බැටළු, ගව මහීස යන සම්පත් තම ස්වාමියන්ගෙන් සොර සිතින්ගෙන දිවි පැවැත් වූ නිසා මෙවැනි දරුණු වූ දුක් විපාක විදිමින් නිරයේ පැසෙන බවයි.

යෙ ජීවලොකස්මි අසාධුකම්මිනො
අදින් නමාදාය කරොන්ති ජීවිකං
ධඤ්ඤං ධනං රජතං ජාතරූපං
අජේ ළකඤ්ඤාපි පසුං මහිංසං
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං
තෙමෙ ජනා සත්තිහතා සයන්ති

නැවතත් මාතලී විසින් නිමි රජුව බෙල්ලෙන් බැඳ අල්ලා මස් කපා ගොඩවල් බවට පත් කරන නිරි සතුන් පිරිසක් පෙන්වයි. එයින් ද බියට පත්වන රජු ඒ සඳහා ඔවුන් කළ අකුශල කර්ම විමසයි. එයට පිළිතුරු දෙන මාතලී පවසන්නේ පෙර ඒ සතුන් මිනිසුන්ව ඉපිද සිටින කළ එළුවන්, ඌරන්, ගවයන් ආදි සතුන් මරා දිවි පවත්වන්නේ ඒ සතුන් මරා මස් ගොඩවල් කොට විකුණූ පවින් මෙසේ නිරයේ දුක් විදින බවයි.

ඔරබ්හිකා සූකරිකා ව මච්ජිකා
පසුං මහිංසඤ්ච අජෙළකඤ්ච
හන්ත්වානනසුනෙසු පසාරයිංස
තෙල ලුද්දකම්මා පසවෙත්ව පාපං
තෙමෙ ජනා ඛීලකතා සයන්ති

ඊළඟට මාතලි විසින් නිමි රජු කැඳවාගෙන යනු ලබන්නේ මළ ,මුත්‍ර පිරුණු දුර්ගන්ධය වහනය වන්නා වූ විලකට බැස ඒවා අනුභව කරන නිරි සතුන් පිරිසක් වෙතට ය. මෙයින් අතිශය සංවේගයට පත් නිමි රජු මෙවැනි කටුක ලෙස ජීවත් වීමට ඔවුන් කළ අකුසල කර්ම විමසයි. එයට පිළිතුරු දෙන මාතලී පවසන්නේ ඔවුන් මිනිසුන්ව ජීවත් වූ කල සත්වයන්ගේ අත් පා කැපීම් ආදි දරුණු වධ හිංසා පීඩා කරමින් දරුණු සිත් වේදනාවලට පමුණුවමින් දිවි පැවැත්ම කළ නිසා මෙවැනි දුක් කරදර විඳින බවයි.

රහදො අයං ලොහිතපුබ්බපුරෝ
දුග්ගන්ධරූපො අසූචි පූති වාති
සම්මාහිතත්තා මනුජා ජීවන්ති
භයඤ්හි මං වින්දත සුත දිස්වා
පුච්ඡාමි තං මාතලි දෙවසාරථි
ඉමෙ නු මච්චා කිමකංසු පාපං
යෙමෙ ජනා ලොහිතපුබ්බහක්ඛා

නැවතත් මාතලී විසින් නිමි රජු ලේ සැරව පිරුණු දුර්ගන්ධය හමන්නා වූ අතිශය අපවිත්‍ර වූ විලකින් පිපාසිත වූ නිරිසතුන් ඒව පානය කරන දසුනක් වෙත රැගෙන යයි. එයින් බියට පත්වන නිමි රජු ඒ සඳහා ඔවුන් කළ අකුශල කර්ම විමසයි. ඊට පිළිතුරු දෙන මාතලි පවසන්නේ ඔවුන් මිනිසුන්ව උපන් කළ මව, පියා, රහතුන් මරා දරුණු පව්කම් කළ නිසා මේ සා දරුණු විපාක විඳින බවයි.

යෙ මාතරං වා පිතරං වා ජීවලොකො
පාරාජිකා අරහන්තො භනන්ති
තෙ ලුද්දකම්මා පසවෙත්ව පාපං
තෙමෙ ජනා ලොහිතපුබ්බභක්ඛා

නැවතත් නිමි රජු මාතලී විසින් සිය ගණන් උල් ගැසූ සමක් මෙන් බිලියෙන් (කටුවෙන්) විදින දිව ඇතිව දියෙන් ගොඩට දැමු මත්ස්‍යයන් මෙන් ගැසෙන නිරි සතුන් පිරිසක් වෙත රැගෙන යයි. එය දැකීමෙන් බියට පත්වන නිමි රජු ඒ සඳහා ඔවුන් කළ අකුසල කර්ම විමසයි. එනිට මාතලී පවසන්නේ ඔවුන් මිනිසුන්ව උපන් කල බඩුමිල නියම කිරීමේදී හොරාට කිරුම් මිනුම් ආදිය කොට පුද්ගලයන් වංචාකිරීමේ විපාක වශයෙන් ඔවුන් මෙවැනි දරුණූ දුක් විපාක විදින බවයි.

ජිව්හඤ්ච පස්ස බළිසෙන විද්ධං
විහතං යථා සඞ්කුසතෙන චම්මං
එන්දන්ති මච්ඡාව ථලම්භ ඛිත්තා
මුඤ්වන්ති ඛෙලං රුදමානං කිමෙතෙ

මේ දර්ශනයෙන් පසුව මාතලී විසින් නිමි රජු රැගෙන යන්නේ යම පල්ලන් විසින් කැපූ ශරීර ඇති එමෙන්ම ලේ සැරව තැවරුණූ ශරීර ඇතිව බාගයක් ගින්නෙන් දැවෙන ස්ත්‍රින් පිරිසක් වෙතය. ඔවුන් දැකීමෙන් පිළිකුළට අතිශය බියට පත්වන නිමි රජු මෙවැනි දරුණු විපාක විඳීමට ඔවුන් කළ විපාක විමසයි. එයට පිළිතුරු වශයෙන් මාතලී පවසන්නේ ඔවුන් මිනිස් ස්ත්‍රියන්ව මිනිස් ලොව සිටි කළ අපිරිසුදු ක්‍රියා ඇතිව ධූර්ත සවරූපයෙන් සිය සැමියා හැර පඤ්චකාම රතිය හෝ ක්‍රීඩා පිණිස පර පුරුෂයන් ඇසුරු කිරීමේ ප්‍රතිඵල වශයෙන් බවයි.

කොලිත්ථියායො ඉෂ්ධ ජීවලොකො
අසුද්ධකම්මා අසතං අචාරුං
තා දිත්තරූපා පති විප්පහාය
අඤ්ඤං අචාරුං රතිඛ්ංඩහෙතු
තා ජීවලොකස්මිං රමාපයිත්වා
ඛන්ධාතිවත්තන්ති සජොතිභූතා

නැවත මාතලී නිමි රජුව කැඳවාගෙන යන්නේ පාදයෙන් අල්ලා හිස යටිකුරු කොට නිරයෙහි හෙළන නිරිසතුන් පිරිසක් වෙතය. මෙසේ දරුණූ දුක්වේදනා විඳීමට ඔවුන් කළ අකුශල කර්ම ලෙස මාතලී පවසන්නේ ඔවුන් මිනිස් ලොව උපත ලබා සිටින කල පරදාර සේවනය හා සොකරම් කිරීම ආදි අකුශල කර්ම නිසා මෙබඳු දුක් විපාක විදින බවයි.

යෙ ජීවලොකස්මි අසාධුකම්මිනො
පරස්ස දාරානි අතික්කමන්ති
තෙ තාදිසා උත්තමහණ්ඩථෙනා
තෙමෙ ජනා අවංසිරා නරකෙ පාතයන්ති

මෙසේ මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තව නැවත භවයක් පිළිබඳව නොසිතා මිනිස් ලොව දී කරන ලද විවිධ අකුශල කර්ම නිසා ඔවුන් නිරයේ ඉපිද බොහෝ කාලයක් අපමණ කටුක වූ දුක් විපාක විඳින බව මාතලි විසින් නිමි රජුට තවදුරටත් පෙන්වා දෙන ලදී. මේ අනුව බලන විට අප කරන අකුශල කර්මයන්ගේ විපාක අපට නැවත භවයකදී අත්විඳීමට සිදුවන බව නිමි ජාතකයේ එන නිරයේ තොරතුරු වලින් මනාව පැහැදිලි වෙයි. ඊළඟ සාකච්ඡාවේදී අපි නිමි ජාතකයෙන් එළිවෙන අකුශල කර්මයන්ගේ විපාක විමසා බලමු.


 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]