UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු කථා පුවත් 10 - මරණාසන්න අවස්ථාවේදී තල දෝතක් පූජා කිරීමෙන් මහත් වූ දිව්‍ය සම්පත් ලත් දෙවඟන

විමාන වත්ථු කථා පුවත් 10 - තිල දක්ඛිණා විමාන වත්ථුව

මරණාසන්න අවස්ථාවේදී තල දෝතක් පූජා කිරීමෙන් මහත් වූ දිව්‍ය සම්පත් ලත් දෙවඟන

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, එක්තරා දුප්පත් ගර්භනී කාන්තාවක්, රජගහනුවර වාසය කළාය. එක් දිනක් ඇය තෙල් සිඳ ගැනීමේ අදහසින් තල ටිකක් සෝදා අව්වේ දමා වේලෙන තුරු පසෙකට වී බලා සිටියාය.

බුදුරජාණන් වහන්සේ සිරිත් පරිදි අලුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියට සමවැදී තමාගෙන් පිහිට ලැබිය යුත්තන් කවුරුන් දැයි ලොව බලන්නේ උන්වහන්සේගේ කරුණා දැලට හසු වූයේ අර දුප්පත් ස්ත්‍රියයි. දුගී බව නිසා මේ ආත්මභාවය තුළ දී පිනක් දහමක් කර ගන්නට අපොහොසත් වූ ඇය, පෙර අත් බවක දී කළ අකුශල කර්මයක විපාක වශයෙන් එදින මරණයට පත් වන බවත්, මේ මොහොතෙහි දී වුව කිසියම් කුශල කර්මයක් කිරීමට අවස්ථාවක් සලසා දුනහොත් මතු ආත්මභාවය සුවපත් වන බවත් බුදු ඇසට පෙනිණ. ඒ ස්ත්‍රිය කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සිට රජගහනුවර බලා නික්ම, පාත්‍රය අතින් ගෙන ඇගේ නිවස ඉදිරියට වැඩියහ.

තල වේලෙන තුරු සිටිය ස්ත්‍රිය බුදුරජාණන් වහන්සේ දැක මහත් වූ ප්‍රීතියට පැමිණ පසඟ පිහිටුවා වැන්දාය. අනතුරුව ඇය කල්පනා කළේ පිඬු පිණිස වැඩි උන්වහන්සේට පූජා කරන්නේ මොනවාද යන්නය. පිදිය හැකි කිසිවක් නිවසෙහි නොවීය. වෙනත් කළ යුත්තක් ද නොවීය. තෙල් සිඳීම සඳහා අව්වේ දමා ඇති තල ටිකක් හෝ පූජා කිරීමට අවසානයේ දී ඇය තීරණය කළාය.

වහාම දෑත් පිරිසුදු කරගත් ඕ තොමෝ තල දෝතක් ගෙන මහත් වූ ශ්‍රද්ධාවෙන් බුදුරදුන්ගේ පාත්‍රයට පූජා කොට වැන්දාය. උන්වහන්සේ ද “ සුවපත් වේවා යි” මහත් කරුණාවෙන් ආශිර්වාද කළහ. එදාම රාත්‍රියේ කර්මානුරූපව මරණයට පත් වූ ඇය තමා කළ එකම පින්කමෙහි ආනිසංස වශයෙන් තව්තිසා දෙව්ලොව රන්වන් විමානයක උපන්නාය.

දෙව්ලොව චාරිකාවේ දී එක් අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සේට මේ දෙවඟන මුණ ගැසිණ. ඉතාම සුළු කුශල කර්මයක බලයෙන් ඇය ලබා සිටි මහත් දිව්‍ය ඓශ්චර්යය දුටු උන්වහන්සේ සැදැහැ ඇත්තවුන්ගේ සැදැහැ වැඩවීමේ අරමුණින් යුතුව දෙව් සැපත් ලබන්නට ඇය කළ කුශලය පිළිබඳව විමසූහ. උද්දාමයට පත් ඕ තොමෝ තමා කළ කුසලය මෙසේ විස්තර කළාය.

“ස්වාමීනි මම පෙර භවයේ දිළිඳු මිනිස් දුවක්ව රජගහනුවර උපත ලැබූයෙමි. එක් දිනක් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මගේම දෑසින් දකින්නට වාසනාව ලද්දෙමි. උන්වහන්සේ මගේ දිළිඳු පැලට පිඬු පිණිස වැඩියහ. පූජා කිරීම සඳහා විශේෂ ආහාර පානයක් නොවීය. එබැවින් ඒ මොහොතෙහි මා සතුව තිබුණු තල නමැති ධාන්‍ය වර්ගයෙන් දෝතක් ගෙන සැදැහයෙන් උන්වහන්සේගේ පාත්‍රයට පූජා කළෙමි. මා කළ පින්කම එපමණක්මය. මේ මහත් වු දිව්‍ය සම්පත්තියම ලැබුණේ ඒ එකම පින්කම බලයෙනි.”

සැදැහැ සිතින් කරන ඉතා සුලු වූ බුද්ධ පූජාවෙන් වුව ද මහත් ඵල මහානිසංස ලැබෙන්නේ යයි පෙන්වා දෙමින් මුගලන් මහරහතන් වහන්සේ එකී දේවතාවිය ඇතුළු පිරිසට දහම් දෙසූහ. මිනිස් ලොවට පැමිණ උන්වහන්සේ මේ ප්‍රවෘත්තිය බුදුරදුන්ට දන්වා සිටි අවස්ථාවේ දී උන්වහන්සේ ද එය තහවුරු කරමින් රැස්ව සිටි පිරිසට දහම් දෙසූහ.


විමාන වත්ථු කථා පුවත් 08 තෘතිය නාවුකා විමාන වත්ථුව

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]