UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීලයේ ලක්ෂණය හික්මීමයි

සීලයේ ලක්ෂණය හික්මීමයි

බක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

වස්සසතං අප්ප යො චිරංජීවති සො වා හීය්‍යො

එසේ කෙටි කලක් තුළ පවතින ශාරීරික පැවැත්මට වඩා අප සැලකිලිමත් විය යුත්තේ අපගේ මානසික සුවතාවය පවත්වා ගැනීම නැතහොත් අපගේ සිත ශක්තිමත් කිරීම සඳහාය.

විවිධ ව්‍යායාම ක්‍රම මගින් ශරීරය ශක්තිමත් කරන, හැඩ කරන ආකාරය පිළිබඳ දැන්වීම් මධ්‍යස්ථාන අප දැක ඇත. ඒ පිළිබඳව බොහෝ දෙනා විශාල උනන්දුවක් දක්වන බව ද අප දැක ඇත. එහෙත් ඉතා කෙටි කලක් ජීවත්වන අපට වඩාත් වැදගත් විය යුත්තේ මනස සකස් කර ගැනීමය. ලෝභ, ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යා මද මාන, මක්ඛඵලාසාති ආදික්ලේශ ධර්මයන් නිසා මනස දුර්වල විය. යමෙකු ගේ කය රෝගී වේ නම් ඔහුගේ නිරෝගි බව ආරක්‍ෂා වී නැත. හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරමට ඉතා ඉක්මනින් කේන්ති යන පුද්ගලයෝ සිටිති. එමෙන් කාමාදි ආශ්‍රවයන් පැහැදිලිව මතු වී සිටින පුද්ගලයෝ සිටිති. මන්ද මානසික පුද්ගලයෝ සිටිති. විකෘති මනස් ඇත්තෝ සිටිති. එම පුද්ගලයෝ ද්වේශ භරිත රාගභරිත අයවෙති. රාග ද්වේශාදී ක්ලේශ ධර්ම දියුණු වු පසු ඔවුහු විකෘති බවට පත් වෙති. ඒ හෙයින් මනස නිසියාකාරව පවත්වාගෙන යාමට මනසේ ඇති කෙලෙස් අඩු කිරීමට යමෙක් කටයුතු කරයි නම් ඒ පුද්ගලයා බුදු දහම පෙන්වා දෙන්නේ මෙසේය.

චිත්තස්ස දමථො සාධූ
චිත්තං දන්තං සුඛාවහං

යනුවෙනි

සිත දමනය කිරීම යහපති. සිත දමනය කිරීමෙන් පමණයි සැප ලැබිය හැකි වන්නේ යනු එම ගාථාවේ අදහසයි. අප බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ අවසන් ආත්මභාව පන්සිය පනහ තුළ පාරමි ධර්ම පිරූහ.ගුණ ධර්ම සංවර්ධනය කළහ. දාන,ශීල,නෛෂ්කර්ම, ප්‍රඥා විර්යය, අධිෂ්ඨාන පිරූහ. එසේ උන්වහන්සේ ඒ සෑම භවයකදීම භවය අතහැර දැමූහ.ශරීරය අතහැරියමුත් ශක්තිමත් කළ නිරෝගී මනසත්, දියුණූ කළ සිතත් උන්වහන්සේ සතු වූහ.ඒ අනුව ධර්මානුකූලව සලකා බැලූ කල කයට වඩා මනස නිරෝගී කර ගැනීමෙන් වඩාත් වාසනාවන්ත දිවියක් ගත කළ හැකිවේ.

“අලද්ධං භොගලාභං උප්පාදෙතුං ” තමන් ලබාගත්තා වූ බෝගස්කන්ධ ලබාගැනීමටත් “ලද්ධං පරිභුඤ්ජිතුං ලබාගත් බෝගස්කන්ධ සංවර්ධනය කර ගැනීමටත් අපට අත්‍යවශ්‍ය වනුයේ අප තුළ ඇති නිරෝගි බවයි.

සීලං - සීලය

සීලයෙන් යුක්ත විය යුතුය.සිල්වත් බව සමහරු යල්පැන ගිය දෙයක් ලෙසින් සලකති. තෘප්තිය පිළිබඳ හීන අදහස් ඇති පසුගාමී කාරණයක් ලෙස සමහරු සීලය හඳුන්වති. ධර්මයට අනුව සීලයෙන් පුද්ගලයෙක් ඉදිරියට ගමන කෙරේ. සිල්වත් බව පසුගාමි නොව ප්‍රගතිගාමි පුද්ගලයන්ගේ ලක්‍ෂණයකි. සීලයෙන් යුක්ත වූවෝ සතුටින් ජීවත් වන අතර, සමාජයේ ඉහළ තලයන් ස්පර්ශ කිරීමට හැකියාව ඇත්තේ වෙති.

කාය වාචානං සමොදානං සීලං” කය වචන දෙක සංවර කිරීම සකස් කිරීම සීලය වේ.

පාණාති පාතා දීහිවා වීරමන්තස්ස
වත්ත පටිවත්තං වා පූරෙන්තිස්ස
චේතනාදයො ධම්මා

ප්‍රාණඝාතාදියෙන් වැළකීමත්,වත්පිළිවෙත් පිරීමත් තුළින් සීලය ඇතිවේ. සීලය අංශ දෙකකින් සම්පූර්ණ විය යුතුය. යමෙක්ගේ ජීවිතයේ ධර්ම මාධ්‍යයේ පදනම සීලය යැයි බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක.

සීල පරිභාවිතා සමාධී
සමාධී පරිභාවිතා පඤ්ඤා
නත්ථි සීලං නත්ථි සමාධි

සීලයෙන් සමාධියට ගමන් කරන අතර, සමාධියෙන් ප්‍රඥාවට ගමන් කෙරේ. සීලය නැති තැන සමාධියක් නැත.

සමාධිය නැති තැන ප්‍රඥාවක් නැත. සීලය නොමැති කමින් මනස එකඟ නොවන අතර, මනස එකඟ නොවූ තැන ප්‍රඥාව යථාර්ථය දර්ශනය ඇතිකර ගත හැකි නොවේ.

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤඤ්ච භාවයං

සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අයුරු.

නරො සපඤ්ඤෝ – ප්‍රඥාවන්ත පුද්ගලයා සීලයේ පිහිටා සිට ප්‍රඥාව සංවර්ධනය කරයි.

අතාපි – කෙලෙස් තවන වීරයෙන් යුක්ත
නිපකො – දක්‍ෂ
භික්‍ඛු - යෝගාවචරයා භික්‍ෂුව,
“සො ඉමං විජටයෙ ජටන්ති” –මේ මුළු මහත් ගැටලු සසර බැඳීම් සිඳ බිඳ දමන්නේ ය. ඒ නිසා සීලය ජීවිතයට ආරම්භක පියවර ලෙස ධර්ම මාර්ගයේදී ඉතා වැදගත්වේ.

බොහෝ ආගම් සීලය පිළිබඳ අදහස් දක්වා ඇත. එහෙත් ඒ කරුණු සීලබ්බත පරාමාස ලෙස (නියම සීලය ලෙස ) හැඳින්විය නොහැක. සමහර ආගම් සීලය කාල පර්යන්තව ව්‍රතයක් ලෙස ගනිති. සමහර ආගමිකයො යම් කාලයක් ආහාර නොගෙන සිටිති. පසුව යෙදෙන කාලයේ දී ආහාර නොගත් කාලයත් සරිලන සේ ආහාර බුදිති. එහි ඇත්තේ ව්‍රතයක් රැකීම පමණි.

සීලය තුළින් ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගැනීම කළ හැකි බව බුදුදහම අනුශාසනා කෙරේ.උදාහරණයක් ලෙස අප සිල් සමාදන් වන විට විකාල භෝජනා යනුවෙන් සමාදන් වෙමු. සමහර උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමෙන් පසු රාත්‍රියේ ආහාර නොගෙන සිටිති. ඉන් සමහරෙක් පසුදින වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමට පෙළඹෙති. එය වැරැදි ක්‍රියාවකි. එහි සීලයක් නොමැත. සිදුවිය යුත්තේ ආහාර පිළිබඳ ගිජුකම අඩු කිරීමට සීලය යොදා ගැනීමයි.

ආහාරෙ ච අනිස්සිතො”

කෑමට නොඇලෙන තත්ත්වයට පත්වීමට සීලය උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍යය.තවත් අවස්ථාවක බුද්ධ දේශනාවේ මෙසේ සඳහන්ව ඇත.

දන්තං නයන්ති සමිතිං – දන්තං රාජාභිරූහති
දන්තො සෙට්ඨො මනුස්සෙසු– යොතිවාක්‍යං තිතික්ඛති

“දන්තං නයන්ති සමිතිං” පිරිසක් මැදට යන අයෙකුට ආත්ම දමනය තිබිය යුතුය.

“දන්තං රාජාභිරූහති” – රජෙක් ගොඩ වන්නේ හීලෑ ඇතෙක් පිට මතටය.

“දන්තො සෙට්ඨො මනුස්සෙසු” එමෙන් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ සීලයෙන් යුත් අය වේ.

දමනය නොවූ පුද්ගලයා සමාජයේ ප්‍රතික්‍ෂේපිත චරිතයක් වේ.

“සීලවා සීල සම්පන්නො යං යෙදෙව පරිසං උපසඞ්කමති” යනාදී වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සීලවන්ත පුද්ගලයා විශාරදයෙක් ලෙස සමාජයට ගමන් කරන බවයි. සීලයට පදනමක් ඇත. විශුද්ධි මාර්ගයේ පැහැදිලි කරන අයුරු.

“සීලස්ස ලක්ඛණ රස පච්චුපට්ඨානා පදට්ඨානානි වේදිතබ්බානි ”
සීලයේ ලක්‍ෂණය හික්මීමයි

“දුස්සීල්‍ය විද්ධංසනතා අනවජ්ජගුණො තථා”
දුසිල්වත් බව නැති කිරීම හා සීලවන්ත බව, නිවැරැදි ගුණ ඇතිකිරීම සීලයේ රසයයි. තෘප්තිය යනු නැති කරන කොටසයි. සම්පත් යනු ඇති කිරීමයි.

සීලය හඳුනා ගන්නේ කෙසේද?
“සොචෙය්‍ය පච්චුපට්ඨානං”
“හිරොත්තප්ප පදට්ඨානං “ ලජ්ජා බය

‘කුල වධුවිය හිරි” ලජ්ජාව යනු කුමක්ද? ලජ්ජාව කුල ස්ත්‍රියක් මෙන් රැකිය යුතුය. කුල කුමරිය, කුල ස්ත්‍රිය සිය ගෞරවය ආරක්‍ෂා කිරීමට දිවි දෙවැනි කොට වෙර දරන්නීය.

තවත් අවස්ථාවක මෙම කාරණය පැහැදිලි වනුයේ මෙසේය.

අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො
ආතාපිනො සංවෙගිනො භවාථ

යමෙක් නිසි ලෙස සිල් රකී නම් සීලවන්තයා ආජනේය” සීලවන්තයා අශ්වයෙක් මෙනි.අශ්වයාට යමෙක් පහරක් ගැසූ විට ඔහු යළිත් එම වරද නොකරයි. යළිත් ඒ වරදට පහර නොකයි. ඒ අශ්වයා වැරැද්දට බයවන හෙයිනි. එමෙන්ම අපද ලජ්ජාවට බිය විය යුතුය.

හිරීනිසෙධො පුරිසො – කොචිලොකස්මිං විජ්ජති
යො නින්දං අපබොධති අස්සො භද්‍රො කසාමිත්ව

හිරිය, ලජ්ජා ඇත්තා එවන් උත්තරීතර දිවියකට හිමිකම් කියන බව ධර්මයේ පෙන්වා දේ.

භය – කලුවරට ,අවතාරවලට බයවීම මින් අදහස් නොකරයි.

අත්තවාදභය – තමන් තමාට උපවාද කරයි යන්න ඉන් අදහස් වේ. ආත්ම ගරුත්වය

පරෝපවාදභය – අන් අය අපවාද කරයි, සමාජ ගරුත්වය

දණ්ඩභය – දඬුවමට භයවීම

දුග්ගතිභය – ඊළඟ භව වල දී දුගතියට යනු ඇතැයි බයවීම

ඉහත කී කාරණා නිසා පුද්ගලයා සීලය රකී නම්, සීලයෙන් යුක්ත වෙයි නම්, එය පුද්ගලයාගේ දියුණුවට හේතු වෙයි. පස් පව් කරන , දස අකුසල් කරන අය සමාජය පිළි නොගනී. ඒ අනුව ඔහුගේ දියුණුව විනාශ වෙයි.

වුද්ධානු මතං

වැඩිහිටි බසට අවනත වීම සමහරු හණමිටි අසහස් යනුවෙන් ද වත්මනට නොගැළපෙන අදහස් යනුවෙන් ද සලකති. වැඩිහිටි අදහස් යනු අපේ ඉතිහාසය තුළින් අපට ලැබෙන ඤාණයයි. අත්දැකීම් හා සම්බන්ධ වූ වැදගත් කාරණා ලෙස අප ඒ පිළිබඳව අවධානයෙන් ක්‍රියා කළ යුතුය. එහෙත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එවන් අයගේ ජීවිත අභිවෘද්ධිය කරා ගමන් කරන බවයි.

නිධීනංච පවත්තාරං – යං පස්සෙ වජ්ජ දසස්සිනං
නිග්ගය්හවාදිං මේධාවි- තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස – සෙය්‍යො හොති න පාපියො

අපට වැරැද්දක් පෙන්වන කල්හි එය නිධානයක් ලෙස සැලකිය යුතුය. ඔහුට අවමන් නොකළ යුතුය.නුවණැති පුද්ගලයන් ඇසුරු කරන්නාට යහපතක් ම සිදුවේ. වැඩිහිටියන් අවවාද කරන්නේ දරුවන් වෙනුවෙන් හදවතේ ඇති ලෙන්ගතු බව හේතුවෙනි. පැරැණි කථාවක් මෙසේය.

එක් හිතුවක්කාර කුඩා දරුවෙක් කැළෑවට යාමට සූදානම් වන විට මව එහි නොයන ලෙස අවවාද කළ මුත් ඒ පිළිබඳව සැලැකිලිමත් නොවී ළමයා කැළෑවට යයි. එවිට මව කැළෑවට යන පුතු දෙස බලා උඹව කොටියා කාපන් යැ’යි කීවාය. කැළෑවට ගිය දරුවා ඉදිරියට කොටියෙන් පැමිණියේ ය. දරුවාට මවගේ වදන් සිහිවූ අතර “අම්මගෙ කටින් කී දෙය නොව අම්මගේ හදවතෙ තිබෙන දෙය සිදුවේවා’ යි “ ඔහු අධිෂ්ඨාන කළේය. කෙසේ වුව ද කොටියා ආපසු ගිය අතර දරුවාගේ ජීවිතය බේරුණි. මවක්, වැඩිහිටියෙක් අවවාද දෙනු ලබනුයේ හදවතේ ඇති ළෙන්ගතු බවින් බව අප පිළිගත යුතුය. එහෙත් වත්මන් දරුවන් සිය ගුරුවරුන්ට අඩම්තේට්ටම් කිරීමට පවා පෙළඹී සිටීම ඉතා දුක්ඛදායක කරුණකි.

ඉතිරි කොටස මැයි 09 වන දා පත්‍රයේ පළ වේ


ජීවිතය දිනන්නට

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]