UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

මකුලෑවේ විමල නා හිමි

මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති මකුලෑවේ විමල නාහිමියෝ 2013 මාර්තු 22 දින වාද්දුවේ ශ්‍රී ලංකා රාමයේ දී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සංඝ සභාවේ දී අධිකරණනායක ධුරය සඳහා ස්ථිරව සම්මත කරගන්නා ලදී. 2012 ඔක්තෝබර් 19 දින කඩවත රම්මුතුගල මහා විහාරයේ දී පැවති කාරක සංඝ සභාවේ දී සමානච්ඡන්දයෙන් උන්වහන්සේ එම තනතුර සඳහා පත් කරන්නට යෙඳුනි.

මකුලෑවේ විමල නාහිමියෝ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන්නි හත් පත්තුවේ, 45 නැගෙනහිර කෝරළයේ ගල්ගමුව, මකුලෑව නම් ග්‍රාමයේ දී 1948 ක් වූ අගෝස්තු මස 25 වන දින උපත ලැබීය.

හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ මහතා සහ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ මහත්මිය උන්වහන්සේගේ දෙමාපියෝ වූහ. මූලික අධ්‍යාපනය නිතලව රජයේ පාඨශාලාවෙන් ලබා ගත්හ. මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණීම 1959 ඔක්තෝබර් 15 වැනි දින 1960 මාර්තු මස 24 වැනි දින, ලෝලුවාගොඩ මහේන්ද්‍රාරාමාධිපතිව වැඩ විසූ දිශාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වූහ.

මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන නාහිමි, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පිදුමේ රතන නාහිමි සහ ශාස්ත්‍රවේදී ලෝලුවාගොඩ ඤාණරතන නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙතින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ මීරිගම, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණින් ද අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයෙන් ද අධ්‍යාපනය ලැබීය.

1974 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ද 1976 දී බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධිය ද 1976 දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලබා ගත් උන්වහන්සේ කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන්හි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වූ සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමි කර ගැනීම කැලණිය සරසවියට ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද 1990 දී එම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන්, ශාස්ත්‍රපති උපාධියද ලබා ගත්හ.

1969 ජූලි 22 වැනි දින, කොළඹ, තොටළඟ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී, ඉඳුරුවේ උත්තරානන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා වූහ. මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණේ උප ගුරුවරයෙකු වශයෙන් ද මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන් ද අලව්වේ ශ්‍රී රාහුල පිරිවෙන්හි පරිවේණාධිපති වශයෙන් ද, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් ද මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණේ කෘත්‍යාධිකාරී ලෙසද කටයුතු කළ උන්වහන්සේ 2004 ජූනි 17 වැනි දින මිණිඔළුව පිරිවෙන් මහා විහාරාධිපති පදවියට පත් වූහ.

මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ ආචාර්යවරයෙක් ලෙස ද මත්තුමගල තපෝවනාරාම විහාරස්ථ ශ්‍රී පියදර්ශි දහම් පාසලේ ආචාර්යවරයෙකු ලෙස ද මිණිඔළුව ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙසද කටයුතු කර ඇත. 2011 නොවැම්බර් 26 වැනි දින මහෝපාධ්‍යය පදවියට පත් වූ උන්වහන්සේ 2012 ඔක්තෝබර්19 දින අධිකරණ නායක ධුරයට පත් විය.

මකුලෑවේ විමල නා හිමියෝ මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලබා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටකවේදී උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, ආදී උපාධි ද හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති පාලක සභාව මඟින් පැවැත් වූ ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද උපාධි ද ලබා ඇත. විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල සභාව මගින් පැවැත් වූ සද්ධම්මාචරිය විනයාචරිය උපාධි ද හිමිකර ගෙන ඇති විමල හිමියෝ ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේ නමක් වශයෙන් ද කීර්තියක් ලබා ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශීය අනුවිජ්ජක, දිශාපාලක, කාරකසංඝ සභික, පරියත්ති නියෝජ්‍ය ලේඛක, ජෙට්ඨානු විජ්ජක උපරිමානු විජ්ජක, සඤ්ඤලේඛක, මහෝපාධ්‍යාය ආදී විවිධ තනතුරු හොබවා ඇති උන්වහන්සේ ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභික ධුරය, ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ යාවජීව සාමාජික ධුරය ආදී තනතුරු ද හොබවති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධුරයෙන් පිදුම් ලැබූ මකුලෑවේ විමල නාහිමියන් වහන්සේට චිරාත් කාලයක් ලෝසසුන් වැඩ සඳහා තෙරුවන් සරණින් ආයුරාරෝග්‍යාදී සම්පත් ලැබේවා යි ආශිර්වාද කරමු.


රජ්ගම තිලකසිරි නා හිමි

බූස්ස ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, ගාල්ල තෙන්කල්ලාගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය, බූස්ස රත්න උදාගම ශ්‍රී ශෛලතලාරාමය යන විහාරත්‍රයාධිපති, දඩලු පරම්පරායත්ත අමරපුර සිරිසුමන මහා නිකායේ මහාලේඛකාධිකාරි ශාස්ත්‍රවේදී ප්‍රවීණාචාර්ය පණ්ඩිත රජ්ගම තිලකසිරි නා හිමියෝ තත් මහා නිකායේ අනුනායක ධුරයට පත්වූහ.

2013 පෙබරවාරි 24 වැනි දින එම නිකායේ මූලස්ථානය වන පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයට රැස් වූ දඩලු පරම්පරායත්ත අමරපුර සිරිසුමන මහානිකායේ සිරිසුමන කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් අභිනව අනුනායක ධුරයට තේරී පත් වූහ.

විශ්‍රාමලත් පරිවේණාධිපතිවරයකු සහ මුළු දිවයිනටම සාමවිනිසුරුවරයකු ධර්ම සන්නිවේදකයකු ලෙස ද ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකු ලෙසද ක්‍රියාකරන නා හිමියෝ ග්‍රන්ථකරණයේ නියැලෙමින් අන්තර් ආගමික හා සාම පදනමේ ක්‍රියාකාරි නියමුවෙකු වූ උන්වහන්සේ 1992 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ යුද ගිනි දැල් ඇවිලෙමින් පැවති යුගයක සාමය පතා උතුරට වැඩම කළ මහ තෙර නමකි.

1978 වර්ෂයේ සිට හික්කඩුව දකුණ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය දරමින් ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නඟාලීමට මහඟු සේවාවක් 2013 දක්වාම ඉටු කළහ. සිය නිකාය මෙන්ම අනෙකුත් නිකායයන්ගෙන්ද දිවයිනේ විවිධ සංවිධාන වලින්ද ගෞරව සම්මාන පුදා ඇත්තේ උන්වහන්සේගේ ශාසනික සේවය අගය කරමිනි.

සිය නිකාය මගින් 2001 වසරේදී ශ්‍රී සද්ධර්ම වාගීශ්වර කීර්ති ශ්‍රී ධම්මරක්ඛිතවංශ “යන ගෞරව නාම සම්මුතිය සහිතව ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය, මහාලේඛකාධිකාරි ධුරය, සඳහා පත්කරනු ලැබූහ.

දේශකීර්ති ත්‍රිපිටක වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ප්‍රවචන කීර්ති ශ්‍රී දේශමාන්‍ය යන සම්මාන ලබා ඇති උන්වහන්සේ වෙත ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ යෝජනාවක් අනුව තත් පදනමේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරි පදවියට ද පත්ව ධර්මපාල චින්තනය රට පුරා දියත් කිරීමට කැප වී ක්‍රියා කරති.

රජ්ගම තිලකසිරි අනුනායක මහා ලේඛකාධිකාරි නා හිමිපාණන් වහන්සේ 59 වියේ පසුවන මහ තෙර නමකි.

ලෝක ශාසනික සේවාවන්හි නිරත වෙමින් උදාර ශාසනික ජාතික සාමාජික මෙහෙවරක යෙදී සිටින අභිනව අනුනායක පදවියට 2013 දී පත්වූ රජ්ගම තිලකසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව තවත් ලෝ සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගි සුව හා දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරමු.


කහටවිල විසුද්ධානන්දතිස්ස හිමි

මෙයට වසර 115 කට පමණ පෙර, පුත්තලම වෙන්නප්පුව දංකොටුව, උතුරු ඕතර පළාතේ ,කහටවිල ග්‍රාමයේ පදිංචිව සිටි ප්‍රදේශයේ ප්‍රභූ පවුලකට අයත්, යාපා අප්පුහාමිල්ලාගේ පුංචි සිංඥෝ අප්පුහාමි සහ අලගියවන්න මොහොට්ටිගේ ලෙනෝහාමි දම්පතීන්ගේ දරුවකු ලෙසින් 1900.12.14 වන දින මෙලොවට ජනිත වූ පින්වත් කුමරා වයස අවුරුදු දහයක් ගෙවුන තැනදී. කහටවිල විසුද්ධානන්ද තිස්ස ‘ යන පැවිදි නාමයෙන් දුම්මලදෙනියේ ධර්මාරාම නා හිමියන්ගේ අචාර්යත්වයෙන් 1911.01.09 වන දින දී කිරිමැටියානේ මහ පන්සලේදි පැවිදි වූහ. උන්වහන්සේ 1920.05.08 වන දින උපසම්පදා ශීලයට ඇතුලත් වූහ.

තම මූලික අධ්‍යාපනය එකි විහාරස්ථානයෙහිම පිහිටි විද්‍යාබන්ධූ පිරිවෙනන් මූලික සහ පශ්චාත් අධ්‍යාපනය ලද උන්වහන්සේ අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව එකී විද්‍යාබන්ධූ පිරිවෙනෙහිම ආචාරයවරයකු ලෙසින් ගුරු සේවයට පත්විය. මෙම අවධියේදි පුත්තලම දිස්ත්‍රික්කයේම, ලුණුවිල ග්‍රාමයේ ශ්‍රී කරුණාරත්නාරාම විහාරස්ථානය අරඹන ලද අතර එම විහාරස්ථානයෙහි වැඩසිටි විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ලුණුවිල ශ්‍රී කරුණාරත්නාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ධුරයට අමරපුර මූලවංශික සංඝසභාවේ ඒකමතික තීරණය අනුව විසුද්ධානන්ද හිමියෝ පත්වූහ. විහාරාධිපති තනතුර භාරගැනීමෙන් පසුව ස්වේඡාවෙන් කරන ලද ඉගැන්වීමේ කාර්යය අවසන් කළ නාහිමියෝ තම පන්සල දියුණුකිරීමේ කාර්යයෙහි නිතර වූහ.

එදා ඉතාම නොදියුණූ තත්වයක තිබූූ විහාරස්ථානයට නාහිමියෝ තම දායක පිරිසගේද සහය ලබමින් ධර්මශාලාව ඉදිකරන ලදී. ඒ සමගම මනරම් විහාර මන්දිරයක්ද ඉදිකිරීමට කටයුතු කළ උන්වහන්සේ එම විශේෂ කාර්යය නිම කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේ වටා තාප්පයක් ඉදිකොට දායකයින්ගේ පහසුව තකා වන්දනාමාන කිරීම සඳහා බෝමලුව කෙටි තාප්පයකින් ආවරණය කළ සේක.

මෙම සාසනික සේවයට අමතරව නාහිමියන් විසින් මුලු මහත් ප්‍රදේශයටම කරනලද ප්‍රධානම කාර්යය සහ සේවාව වන්නේ දැනට ලුණුවිල ග්‍රමායේ පිහිටි සහ මුලු මහත් වයඹ පළාතටම මහඟු ආභරණයක් වී ඇති ‘අනුරුද්ධ මධ්‍යම මහා විද්‍යාලය’ ඇරඹීමට කටයුතු කිරීමයි. ‘ලුණුවිල තරුණ සමාජ සේවක සමිතිය’ සමග එක්වී එම විද්‍යාලය ඇරඹීමට සියලු කටයුතු සංවිධානය කරන ලදහ. සරල දිවිපෙවෙතකින් තම ජීවිතය ගෙන ගිය උන්වහන්සේ 1978 වසරේ අපේ‍්‍රල් මාසයේදි 12 වන දින හදිසි යේම අසනීප විය. එදිනම කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කළ නාහිමියෝ 1978 අපේ‍්‍රල් මස 20 වන දින අපවත් වී වදාළහ.


මාවැල්ලේ ජයසිරි නා හිමි

තංගල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට මාවැල්ලේ ජයසිරි නාහිමියෝ නිතරගයෙන් පත්වූහ.

උන්වහන්සේ ශ්‍රී කල්‍යාණිවංශ මූලික පිරිවෙනේ පරිවෙනාධිපති, දකුණූ පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ උපදේශක, හම්බන්තොට දිසාවේ නැගෙනහිර ගිරුවාපත්තුවේ ප්‍රධාන සංඝනායක, හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ධුරයද හොබවති.


බුද්දම නන්දසාර හිමි

මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයට මොනරාගල වැලියාය සිරිපියරතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති බුද්දම නන්දසාර හිමියෝ දෙවන වරටත් නිතරඟයෙන් තේරීපත්වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන උන්වහන්සේ මොනරාගල දිස්ත්‍රික් සිවිල් ආරක්‍ෂක කමිටුවේ සහ මොනරාගල බන්ධනාගාරයේ සිරකරු සුභසාධක සංගමයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරති. ප්‍රදේශයේ දහම්පාසල් අධ්‍යාපනය නංවාලීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටුකරන නන්දසාර හිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්ම දේශකායණන් වහන්සේ නමකි.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් මස 18 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.00 ට ලබයි.
19 වැනි දා සිකුරාදා පූර්ව භාග 06.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 18 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීලඟ පෝය
අප්‍රේල් 25 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]