UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එකසිය දස වස් සපිරෙන බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන

එකසිය දස වස් සපිරෙන බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන

බලගල්ලේ සරස්වතී මහ පිරිවෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයකි. 1897 පෙබරවාරි 7 වැනි දින මහෝපාධ්‍යාය මඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට බලගල්ලේ ජයකොඩි පරම්පරාව විසින් මෙම විහාරස්ථානය සඟසතු කොට පූජා කරන ලදී.


හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන මහ නා හිමි

1903 මාර්තු 7 වැනි දා සරස්වතී මහ පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණි. වාගීස්වර පඬිතුමා මෙහි පරිවෙණාධිපති ලෙස ආරම්භයේ දී කටයුතු කළ අතර මඩගමුවේ සිරිනිවාසාසභ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 1907 ජනවාරි පළමුවැනිදා සිට 1955 දක්වා එහි පරිවේණාධිපති ධුරය දරමින් වැඩ සිටියහ. හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පරිවේණාධිපතිත්වය යටතේ අධ්‍යාපනික අංශයේ මෙන්ම විහාර සංවර්ධන කාර්යයෙහිද මනා සංවර්ධනයක් සිදුවිය.ඒ යටතේ පිරිවෙනේ ධර්ම ශාලාව, විහාර මන්දිරය, සුවිශේෂ වූ දෙමහල් පුස්තකාලය සහ පිරිවෙන් ශාලාව ආදිය ගොඩනඟන ලදී. ලංකා ආණ්ඩුවේ ආධාර ලබන පිරිවෙනක් ලෙස 1919 වර්ෂයේ දී ලියාපදිංචි කරන ලදී. ප්‍රාචීන භාෂා සාහිත්‍යයට අමිල සේවයක් සිදුකොට ඇති බලගල්ලේ සරස්වතී පිරිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයේ ව්‍යාප්තිය උදෙසා ද මහත් සේවයක් සිදු කළ ප්‍රධාන ම පෙළේ පිරිවෙනෙකි.

සරස්වතී මහ පිරිවෙන ඇසුරෙහි ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයෙහි හසල දැනුමක් ලත් පැවිදි පඬිවරු ඒ ඒ ප්‍රදේශවල පිරිවෙන් ශාඛා, ප්‍රශාඛා බිහි කළහ. රත්නපුරේ හා බුළුගහපිටියේ සුමන පිරිවෙන්, නැදලගමුවේ හා කනදුල්ලේ ධර්මරාජ පිරිවෙන්,ඉඟිනියාගල විද්‍යාසාගර පිරිවෙන, පොත්තේවෙල ජිනරාජ පිරිවෙන, බණ්ඩාරබටවල විද්‍යාකර පිරිවෙන, කුරුණෑගල බෞද්ධාලෝක සහ පේරාදෙණියේ භාරති පිරිවෙන් ආදි පිරිවෙන් ඒ අතර කැපී පෙනේ. රන්පදක්කම් ලාභී ප්‍රාචීන පඬිවරුන් බිහි කර ඇති මෙම ආයතනය තුළ සිංහල, දෙමළ ගිහි පැවිදි සිසුහු සිවු දිසාවෙන් පැමිණ අධ්‍යාපනය ලබති. එය විදෙස් භික්ෂූන්ට ද අධ්‍යාපනයට තෝතැන්නකි.


දෙමහල් පුස්තකාලය

හපුවලානේ ඤාණාලෝක, හේන්පිටගෙදර ඤාණසීහ, හේන්පිටගෙදර ඤාණාවාස, හිස්සැල්ලේ සුමංගල, හිස්සැල්ලේ ධම්මරතන, පොත්තේවෙල පඤ්ඤාසාර, හේන්පිටගෙදර ඥානතිලක, හිස්සැල්ලේ මේධානන්ද සහ ආචාර්ය යටගම ධම්මපාල යන නායක ස්වාමින්වහන්සේ වැනි කීර්තිමත් ග්‍රන්ථ කර්තෘවරුන්ද විශේෂයෙන් දෙමළ බසෙහි හසල බුද්ධිමතුන් ද බිහි කළ කීර්තිමත් ආයතනයකි මෙය. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ඒ.සින්නතම්බි වැනි දෙමළ පඬිවරුද බැස්ටින් රණවීර සහ පී. මලල්ගොඩ වැනි සුප්‍රසිද්ධ කවියෝද මෙහි ශිෂ්‍යයෝය.

පිරිවෙන් අධ්‍යක්‍ෂ ඉදුරාගාරේ ධම්මපාල හිමි, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය පොල්ලමුරේ සෝරත හිමි,මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ සහ මහාචාර්ය ජිනදාස දනංසූරිය වැනි විද්වත්හු මෙහි ආදි ශිෂ්‍යයෝය.විශේෂයෙන් සම්මා සම්බුද්ධ ශාසනයටත් සිංහල, දෙමළ සාහිත්‍යයටත් මහා මෙහෙවරක් ඉටුකර ඇති මෙම ආයතනයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමින්වහන්සේ දෙනමක් වූ හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදයාභිධාන මහානායක හිමි සහ පොත්තේවෙළ පඤ්ඤාසාර මහානායක හිමි යන නා හිමිවරු බිහිවූහ. එසේම අධිකරණ නායක ස්වාමින් වහන්සේ දෙනමක් වූ හේන්පිටගෙදර ඤාණසීහ සහ හේන්පිටගෙදර ඤාණාවාස නායක ස්වාමින්වහන්සේ ද අනුනායක ස්වාමින් වහන්සේ තෙනමක් වූ ආචාර්ය යටගම ධම්මපාල, මඩිතියවල විජිතසේන සහ මඩිතියවල මේධංකර යන ස්වාමින්වහන්සේ ද බිහි වූහ. වර්තමානයේ විහාරාධිපති ධුරය හොබවන්නේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය හපුවලානේ සරණංකර මහෝපාධ්‍යාය ස්වාමින්වහන්සේය. පරිවේණාධිපති පහළගම ධම්මික ස්වාමින්වහන්සේය.මේවන විට දහස්ගණන් ගිහි පැවිදි පිරිසක් මෙහි අධ්‍යාපනය ලබා දෙස් විදෙස්වල ධර්ම ශාස්ත්‍රීය කටයුතු සිදුකර ගෙන යති.

බලගල්ලේ සරස්වති මහ පිරිවෙනට වර්ෂ 110 ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ත්‍යාග ප්‍රදානෝත්සවයක් ද බෝධි පූජා හා සංඝගත දක්‍ෂිණාමය පින්කම් මාලාවක්ද පසුගියදා පවත්වන්නට යෙදුණි.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]