UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් පිළිවෙතට දිරි දෙන සල්ගල වන සෙනසුන

සසුන් පිළිවෙතට දිරි දෙන සල්ගල වන සෙනසුන

සල්ගල ආරණ්‍ය සේනාසනය වසර දෙදහසකට ආසන්න ඉතා දිගු ඉතිහාසයක් ඇති පින්බිමකි. රහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ මේ වන සෙනසුන රාජ රාජමහාමාත්‍යාදීන් ඇතුළු සැදැහැති ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූවකි. සල්ගල පිහිටා තිබෙන්නේ සබරගමු පළාතට අයත් කෑගල්ල දිසාවේ බෙලිගල කෝරළයට අයත් අක්කර හත්සියයක් පමණ වන කැටහිල්ල මූකලාන නම් වූ වන ලැහැබකය.

කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවූ මෙම පුණ්‍යභූමිය රාජ නීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක මැතිතුමාගේ කැපවීම මත නැවත එලි පෙහෙළි කොට 1931 දී පමණ යෝගාවචර භික්‍ෂූන් වහන්සේගේ පරිහරණයට සුදුසු පරිදි සකස් කරන ලදී.

බුද්ධ වර්ෂ 440 දී රජවූ වළගම්බා රජු සැඟවී සිටියේයැයි සැලකෙන මෙම භූමිය එතුමා පැමිණීමටත් පෙර සිටම භික්‍ෂූන් වාසය කළ ස්ථානයකි. ඒ බව දැනට ගිජ්ජකූ®ට ලෙන යනුවෙන් හඳුන්වන විහාරය පිහිටි ලෙනේ කටාරමට යටින් බ්‍රාහ්මී අක්‍ෂරයෙන් කොටා ඇති ‘බත දම ගුත ලෙන’ (භාතෘ ධර්ම ගුප්ත ලෙන) යන කෙටි සෙල්ලිපියේ වන සඳහනට අනුව පෙනී යයි.

සල්ගල සෙනසුන තුළ ඉසිගිලි, පිප්ඵලී , වේහාර , වේපුල්ල,අතුබැඳි ලෙන සහ ගිජ්ජකූට යනුවෙන් කටාරම් කෙටූ ගල්ලෙන් හයක්ද බැලුම්ගල කුටිය, හේමාලෝක කුටිය,අරනායක කුටිය,අතාවුද කුටිය, මහවකුටිය සහ හෙයියන්තුඩුව කුටිය යනුවෙන් භාවනා කුටි විශාල ප්‍රමාණයක්ද පිහිටා ඇත. මෙහි ගන්ධකුටියේ සමාධි පිළිමයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබේ. සල්ගල දර්ශනීය ස්ථාන අතුරින් ප්‍රධාන වූ බැලුම්ගලමුදුනේ භාවනා කුටියක් හා සක්මන් මළුවක්ද ඇත. තවද ගල මුදුනේ පිහිටි ගල් කුලුනු සතරක් මත ගොඩනඟන ලද ඝන්ඨාර ගෘහය භූමියට අභිමානය ගෙන දෙන සුළුය. ජනප්‍රවාදයට අනුව, වළගම්බා රජු සල්ගලවිසූ අවධියේ රාජ පුරුෂයන් ඔත්තු බැලූ ස්ථානය මේ බැලුම්ගලයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති දිවංගත ඩී.එස්.සේනානායක මහතා විසින් සාදවා පූජා කරන ලද ගල් උළුවස්ස මෙම වන සෙනෙසුනෙහි පෞරාණික තේජාන්විත බව තවත් වැඩිකරන්නකි.සල්ගල පැමිණෙන අයකුට වාහනයකින් පැමිණිය හැකි වන්නේ පිණ්ඩපාත ශාලාව නම් ස්ථානයට පමණි. එතැන් පටන් සේනාසනයට පා ගමනෙන් යායුතු වෙයි. මෙම පිණ්ඩපාත ස්ථානය ඩී.එස්.සේනානායක පරපුරට අයත්ව තිබී සල්ගලට පූජා කරන ලද්දකි.සල්ගල වැඩසිටින භික්‍ෂූන් වහන්සේ වෙත වාර්ෂික දානය පිරිනමන පින්වතුන් දානය සකස් කරන්නේද මෙම ස්ථානයේදීය.මෙම ස්ථානයට ඇතුළුවන තැන සුවිසල් වාහල්කඩක් ඉදිකර සේනාසනයට පවරා දීමට හෙයියන්තුඩුව පුවක්ගහලන්ද ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතිය පසුගියදා සමත් විය.


ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතියේ ලේකම්වරයා ඇතුළු සාමාජික සාමාජිකාවන් වාහල්කඩ අභියස

සමිතියේ ලේකම්තුමාගේ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම මත ගොඩනැඟිලි ඉංජිනේරු රංජිත් ලක්‍ෂ්මන් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි ඉදිකළ මෙම සුවිසල් මනහර වාහල්කඩ ඇස්තමේන්තු මුදලටත් වඩා අඩුවෙන් හා නියමිත කාලයටත් වඩා අඩු කාලයකින් සාදා නිම කිරීමට හැකිවීම විශේෂිත වේ. ඒ සඳහා දානපති බෞද්ධ උපාසක උපාසිකාවන් වෙතින් ලැබුණු නොමසුරු පරිත්‍යාග හා ශ්‍රම කැපකිරීමද මහත් ශක්තියක් වූ බව ලේකම් ජයසිංහ ගනේගොඩ මහතා ස්තූති පූර්වකව සඳහන් කරයි.මීට පෙරද ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි සමිතිය මගින් සේනාසනය අභ්‍යන්තරයේ මනරම් භාවනා කුටියක් සාදවා පූජා කරනු ලැබිණි.

සේනාසනය අභ්‍යන්තරයේ පිහිටි කුටි තුළ භාවානානුයෝගීව වැඩ සිටින හිමිවරුන් දානය පිරිනමන වේලාවට පමණක් දාන ශාලාවට වැඩමවා අනතුරුව නිහඬව එකපෙළට යළි සිය කුටි කරා පිය මනින දසුන චමත්කාරජනකය. සිත නිවන සුළුය. උන්වහන්සේගේ සන්සුන් දිවි පෙවෙතට පිටිවහලක් ලබාදෙන සුවිසල් තුරු පෙළ අරණට පැමිණෙන්නන්ගේද නෙත් සිත් සනසාලයි. සැදැහැති ශාන්ත හැඟුමන් හද තුළ ජනිත කරවයි. තුරු ගොමු මුදුනෙන් ඇසෙන සියොතුන්ගේ ගීත රාවය ද තුරු සෙවණෙන් හමා එන මඳ පවනේ සිසිලසද මේ පරිසරයට ගෙන එන්නේ අමුතුම ජීවයකි.

එසේ වූ චමත්කාරජනක සෙනසුනක් වන සල්ගල මිනිස් පහසින් කිලිටි නොකිරීම අප සැමගේ යුතුකම වන්නේය. ඔබ එහි යන්නේ නම් ප්ලාස්ටික්, පොලිතින් ආදි අපද්‍රව්‍ය සෙනසුන් බිමෙහි දමා නොඑන ලෙස අප කාරුණිකව ඉල්ලන්නේ අනාගත පරපුරටද මෙම මාහැගි උරුමය රැකදීමේ අරමුණ ඇතිවයි.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]