UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙනදොර සෝරත නා හිමි

අතිශය සතුටට පත්වෙමු

මාතලේ නිලන්නොරුව පුරාණ විහාරය සහ මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය යන උභය විහාරාධිපති, විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ශාස්ත්‍රපති ලෙනදොර සෝරත ස්ථවිරපාදයන් වහන්සේට අප අස්ගිරි මහාවිහාරීය කාරක සංඝ සභාව වෙතින් “විමලකීර්ති ශ්‍රී සීලරතන” යන ගෞරව නාමය සහිතව මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට හැකිවීම පිළිබඳව අතිශය සතුටට පත්වෙමු.

කන්ද උඩරට කීර්තිමත් සංඝ පීතෘවරයන් වහන්සේලා දෙනමක් වූ මාතලේ උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය නාලන්දේ ශ්‍රී සීලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මාතලේ උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත පෙනලබොඩ ශ්‍රී චන්දානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන දෙනම ගුරුකොට පැවිදි වූ උන්වහන්සේ ස්වකීය ආචාර්යවරයන් වහන්සේලා ඇසුරෙන්ම මූලික බණදහම් හා ශබ්ද ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කළහ. අනතුරුව දිවිය තුළ ගුරුවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පමණක් නොව, විදුහල්පතිවරයෙකු ලෙස විශිෂ්ට සේවාවක නිරත වූ උන්වහන්සේට බුද්ධ ධර්මය විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ තනතුර සහ කොට්ඨාසභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ වැනි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස් තනතුරුවලට පත්වීමට ද හැකියාව ලැබුණි.

විශාල ජාතික ආගමික සාමාජික හා ශාස්ත්‍රීය මෙහෙවරක යෙදී සිටින උන්වහන්සේට එම සේවාවන් වඩාත් ශක්තිමත්ව කරගෙන යෑමට අප සංඝ සභාව මඟින් පත්කළ මෙම සංඝනායක පදවිය අතිශයින් උපස්ථම්භක වනු ඇත යන්න අපගේ විශ්වාසයයි. තෙරුවන් සරණින් හා ශ්‍රීමත් දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන් ලෙනදොර විමලකීර්ති ශ්‍රී සීලරතන සෝරතාභිධාන මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක ස්ථවිරපාදයන් වහන්සේට අභිනව පදවියේ කටයුතු චිරාත් කාලයක් සිදුකරගෙන යෑමට ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා යි ආශිංසනය කරම්හ.


ප්‍රසාදයට හේතුවක්

වර්තමාන සමාජ ප්‍රවාහය තුළ සමාජයේ හා ශාසනයේ යහපැවැත්ම සඳහා භික්‍ෂුවගේ පූර්ණ මැදිහත්වීම සමවායෙන් සිදුවියම යුත්තකි. එම අවශ්‍යතාවය පිරිමහන මනා උදාහරණයක් ලෙස දැක්විය හැකි ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නායක ස්ථවිරයන් වහන්සේට මාතලේ මහා දිසාව සඳහා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අපගේ හෘදයානන්දය පිණිස හේතු වූ සාසනික ප්‍රවෘත්තියක් විය.

ලෙනදොර සෝරත මහා ස්ථවිර පාදයන් වහන්සේ අපවත් වී වදාළ උතුරු මාතලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාලන්දේ ශ්‍රී සීලරතන මහා ස්වාමීන් වහන්සේගේ හා මාතලේ උතුරු පළාතේ අධිකරණ සංඝනායක පෙනලබොඩ ශ්‍රී චන්දානන්ද යන මහා නේතෘවරයන් වහන්සේලා සසුන වෙනුවෙන් සකසා දායාද කළ ශිෂ්‍යවරයන් වහන්සේ නමකි.

ලාංකේය අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි පාරිවේණික හා පාසල් පදනම් කොටගෙන ශාස්ත්‍රදානයෙහි යෙදී සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ වැනි ධුරයන් කෙරෙහි ද ස්වකීය විද්වත් දිවිය මෙහෙය වා විශ්‍රාම සුවයෙන් පසුවන ලෙනදොර නායක ස්ථවිරයන් වහන්සේ පුවත් පත්, සඟරා ආදියෙහි ලියා පළ කරන ලද ශාස්ත්‍රීය ලිපි ලේඛන පමණ නැත.

ශ්‍රී ලාංකේය භික්‍ෂු සංස්ථාවේ තෛ‍්‍රනිකායික භික්‍ෂූන් වහන්සේ සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සුහදත්වයෙන් කටයුතු කරන ලෙනදොර සෝරත ස්ථවිරයන් වහන්සේ සියලු භික්‍ෂු සංඝයා සමඟ පැවිදි සහෝදරත්වයෙන් යුක්තව ලෙන්ගතුව හා වෘද්ධ පටිපාටිය හඳුනාගෙන ක්‍රියා කිරීම අප කාගේත් ප්‍රසාදයට හේතු වූවකි.

අභිනව නායක ස්ථවිරයන් වහන්සේට නිදුක් නීරෝගි සුවය රත්නත්‍රයේ ආශීර්වාදයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිම්හ.


නායකත්වය ගෙන කටයුතු කරන හිමිනමක්

ශාස්ත්‍රපති ලෙනදොර සෝරත ස්ථවිරපාදයන් වහන්සේට මාතලේ දිසාවේ අස්ගිරි පාර්ශවයේ උප ප්‍රධාන සංඝනායක පදවිය ‘විමලකීර්ති ශ්‍රී සීලරතන’ යන ගෞරව නාමය සහිතව ලැබීම නිමිත්තෙන් ආශීර්වාදාත්මක සුභාශිංසන පණිවිඩයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම මහත් පී‍්‍රතියට පත්වෙමි.

නායකත්වය තැනිය හැක්කක් නොවේ. එය උපතින්ම ලැබිය යුත්තකි යනු විද්වතුන්ගේ මතයකි. අප හිතවත් සෝරත ස්ථවිරපාදයන් වහන්සේගේ ජීවන තොරතුරු අපට ප්‍රකට කරන්නේ උන්වහන්සේ සහජ නායකයෙකු බවයි. උන්වහන්සේගේ පූර්ව කෘත පුණ්‍යශක්තිය ද, පුණ්‍යවන්ත දෙමාපියන්ගෙන් ලද ශක්තිමත් ආරමය බලපෑම ද, නාලන්දේ ශ්‍රී සීලරතන, පෙනලබොඩ චන්දානන්ද යන ආචාර්ය පාදයන් වහන්සේලාගෙන් ලද පාරිසරික බලපෑම ද සම්භාව්‍ය ප්‍රවෘජ්‍යා නායකත්වයට හේතු වී ඇතැයි සිතේ.

පිරිවෙන්වල හා පාසල්වල ඉගැන්වීම, ගුරු උපදේශකත්වය, විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂකත්වය, කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂකත්වය වැනි උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තනතුරු උන්වහන්සේට ලැබී ඇත්තේ උන්වහන්සේ තුළ විද්‍යාව හා විනය සතතාභ්‍යාස වී ඇති නිසා ය.

ග්‍රන්ථ රචකයෙකු, පුවත්පත් ලේඛකයෙකු වශයෙන් ද උන්වහන්සේ ප්‍රකට ය. වසර ගණනාවක් උන්වහන්සේ ‘බුදුසරණ’ පුවත්පතේ කැපී පෙනෙන ලේඛක ස්වාමීන්වහන්සේ නමක් වූහ. අධ්‍යාපනික, ආගමික, සාමාජික ශාස්ත්‍රීය හා කලා යන විවිධ අංශ නියෝජනය කරමින් නායකත්වය ගෙන කටයුතු කරන ලෙනදොර සෝරත ස්ථවිරපාදයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි.


සෝරත නා හිමි

ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමිපාණන් වහන්සේට අස්ගිරි මහාවිහාරය වෙතින්’ විමලකීර්ති ශ්‍රී සීලරතන’ යන ගෞරව නාමය සහිතව මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ සාතිශය සතුටට පත්ව පූර්විකා වශයෙන් වදන් කිහිපයක් සටහන් තබම්හ. අප කල්‍යාණ මිත්‍ර ලෙනදොර සෝරත හිමිපාණන් වහන්සේ ස්වකීය ජන්මභූමි ගතව පමණක් නොව දෙස් විදෙස්හි පවා පතළ කිත් යසසින් ශෝභමාන වන්නට කෘත පුණ්‍ය මහිමය සහ විරල වූ විචක්‍ෂණ සාහිත්‍ය කාමීත්වයක් උරුම හිමි නමකි. එම උරුම වාසනා ශක්තියේ බල මහිමයෙන් සිදු කළ වික්‍රමයන් සහ අනභිබවනීය මෙහෙවර මෙලෙස වදන් කිහිපයකින් ලියා වර්ණනා කොට නිම කළ නොහැක.

මාතලේ දඹුල්ල ලෙනදොර ගම් පියසෙහි තෙන්නකෝන් මුදියන්සේලාගේ කිරිබණ්ඩා උපාසක මහත්මා සහ ඕපල්ගල ගෙදර ඩිංගිරි අම්මා උපාසිකා මාතාව දෙමාපියන් ලෙස පූජනීයත්වයට පත් කරමින් 1947.05.30 වන දින දී ජන්ම ලාභය ලදහ.

අත්තනගල්ල, බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙණේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස ද, පාඨශාලාචාර්යයන් වහන්සේ නමක් ලෙස ද වසර ගණනාවක් සේවය කර උපගුරුවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පමණක් නොව, විදුහල්පතිවරයෙකු ලෙස ද උන්වහන්සේ විශිෂ්ට සේවාවක නිරත වූහ. කළ මෙහෙවර තුළ කැපවීම හා සතිමත් බව නිසා උන්වහන්සේට බුද්ධ ධර්මය විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ තනතුර සහ කොට්ඨාස භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ වැනි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස් තනතුරුවලට පත්වීමට ද භාග්‍යවන්ත බව උදා විය. ලේඛන කලාවේ ලද ප්‍රාගුණ්‍යය මතින් ග්‍රන්ථ රචනයෙන් සහ ජාතික පුවත්පත් සඳහා විවිධ මාතෘකා ඔස්සේ ලිපි සපයමින් මේ දක්වා එම මෙහෙවර ප්‍රශංසනාර්හකව දියත් කරමින් සිටිති. මේ අතර, විද්‍යාර්ථීන්ගේ විවිධ විභාග ඉලක්ක කොට පාඩම් මාලා සම්පාදනය කරමින් සිදු කරන මෙහෙවර ද අගය කළ යුතු ය.

සුපේෂල ශික්‍ෂාකාමීත්වය වඩ වඩාත් සමවායෙන් ස්වකීයත්වයට ගත් හිමිනමක් වූ අභිනව නා හිමියන් 1974 අත්තනගල්ල අප ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයට පත්ව මෙම ප්‍රදේශයේ දහම් පාසල් නඟා සිටුවීම පිණිස සිදුකළ කැපවීම විශේෂයෙන් සිහිපත් කළ යුත්තකි.

උන්වහන්සේ පල්ලේපොල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති තනතුර, මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති තනතුර සහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ ප්‍රධාන අනුශාසක වැනි තනතුරු දරමින් සංඝ සසුන්හි උන්නතිය වැඩුමට නිරන්තරව තවමත් වෙහෙසෙමින් කටයුතු කරනුයේ නිස්සරණාධ්‍යාසයෙනි. කටයුතුවල අධික බව සමඟ විහාරද්වයක අධිපතිත්වය දරමින් ශිෂ්‍ය බාලාදීන් තැනීමට ද දැඩි වෙහෙසක් දරන නා හිමියන් වහන්සේ ජාතියට සිදු කරන උත්තම සේවය අගයනුවස් කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූහ.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]