UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

65 වන සංවත්සරය සමරන කොටළුගොඩකන්දේ ශ්‍රී සුමන දහම් පාසල

65 වන සංවත්සරය සමරන කොටළුගොඩකන්දේ ශ්‍රී සුමන දහම් පාසල


ආචාර්ය මණ්ඩලය

ශිෂ්‍ය නායක නායිකාවන් සහ පන්ති නායක නායිකාවන්ගෙන් කොටසක්

දහම් ගායක කණ්ඩායම

කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ලෙවන්ගම ග්‍රාම නිලධාරි වසමෙහි පිහිටි කොටළුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථ ශ්‍රී සුමන දහම් පාසල රුවන්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් අතර දීප්තිමත්ව කැපී පෙනෙන දහම් පාසලකි.

1948 මාර්තු මස 17 වන දින මෙම දහම් පාසල ආරම්භ කර ඇති අතර, ඒ සඳහා මූලිකත්වය ගෙන එවකට කටයුතු කරනු ලැබුවේ ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම පුරාණ මහා විහාරාධිපති හා කොටළුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාමාධිපතිව වැඩ විසූ කෝරළ තුන සහ පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ලෙවන්ගම සීලක්ඛන්ධ නා හිමිපාණන් වහන්සේ විසිනි. අනතුරුව දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රධානාචාර්ය ධුරයන් දරමින් ගිහි, පැවිදි විශාල පිරිසක් කටයුතු කර ඇති අතර, ඒ අතර ලෙවන්ගම ශ්‍රී‍්‍ර සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පෑලියගොඩ සරණතිස්ස නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන වේ.

විවිධ දුෂ්කරතාවන් හා අපහසුතාවන් මධ්‍යයේ පවත්වාගෙන ආ මෙම දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ ගිහිපින්වතුන් අතර, කොටළුගොඩකන්ද කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පති, ඒ .ඒ. පියදාස අදිකාරි මහතා සිදුකළ හා සිදුකරනු ලබන මෙහෙවර ප්‍රශංසනීයවේ. දහම්පාසල,අඛණ්ඩව පවත්වාගෙන ආ ඔහු වර්තමානයෙහිද දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. ප්‍රදේශයේ දරුදැරියන් දෙසීයකට ආසන්න පිරිසක් මෙහි දහම් අධ්‍යාපනය ලබති. දහම් පාසල් අතර පැවැත්වෙන සිසු නිපුණතා හා තරග විභාග ආදියෙන්ද ජයග්‍රහණය ලබන දක්‍ෂ දරු පිරිසක් මෙහි දහම් අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ට වාර්ෂිකව ත්‍යාග හා සහතික පත්‍රද පිරිනමනු ලබති.

දහම් පාසලේ වැඩසටහන් අතර, උදෑසන රැස්වීමේදී ගුරුභවතුන්ගේ අනුශාසක කතා, සිසු දරු දැරියන් ගේ දහම් කතා හා දහම් පුවත් ඉදිරිපත් කිරීම, දහම් සගරාවක් පවත්වාගෙන යාම හා බෝසත් ශිෂ්‍ය සමිතියක් පවත්වාගෙන යාම ආදියද ප්‍රධාන වේ. ක්‍රමවත් කාලසටහනකට අනුව වැඩකටයුතු කරගෙන යන අතර, වාර්ෂික වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක වෙයි.

දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් විහාරාධිකාරි පොත්තෙකන්දේ ඤාණවාස ස්වාමීන් වහන්සේ හා විහාරවාසී කුලියාපිටියේ ඤාණසිරි ස්වාමීන් වහන්සේත් සිදුකරනු ලබන්නේ අනූපමේය වූ සේවාවකි. උන් වහන්සේලාගේ වැඩම කිරීම සමඟ දහම් පාසල නව මාවතක් ඔස්සේ ගමන් කරනු ලබයි. මෙහි ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාද දහම් පාසලේ අභිවෘද්ධිය නිතැතින්ම ප්‍රාර්ථනා කරමින් කැපවීමෙන් කටයුතු කරති.

දහම් පාසල ආරම්භ කර වසර හැටපහක් (65) සපිරීම නිමිත්තෙන් 2013 මාර්තු මස 17 වන ඉරුදින උත්සවශ්‍රීයෙන් සැමරීමට කටයුතු කරගෙන යනු ලබයි. මාර්තු මස 16 වන දින සඟසතු මහා දානමය පින්කමක් පවත්වා පසුදින දූ දරුවන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීම බිත්ති පුවත්පතක් එළි දැක්වීම,දහම් පාසලේ උපහාර ගීතය එළිදැක්වීමද ඇතුළුව කාර්යයන් රැසක් සංවත්සරය වෙනුවෙන් සිදු කිරීමට නියමිතය.

දැනුමෙන් මෙන්ම, ගුණයෙන්ද අගතැන් දරුපරපුරක් සිරිලක් මවට දායාද කිරීම අරමුණු කර ගනිමින් පවත්වාගෙන යනු ලබන මෙම දහම් පාසලට තවත් දිගුකලක් වැජඹෙන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]