UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියවස සපුරන වාද්දුවේ ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයය

සියවස සපුරන වාද්දුවේ ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයය

වාද්දුව ගුණතිලක පාරේ විවේකාරාමස්ථ ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයයට 2012 වර්ෂයේ දෙසැම්බර් මාසයට වසර සියයක් (100) සම්පූර්ණ විය. මේ නිමිත්තෙන් 2013 වර්ෂයේ මාර්තු 17 වන දා උඩරට අරමපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්දාභිධාන මහ නාහිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජනරජයේ ඇමැතිවරු, මැතිවරු, ප්‍රති පක්‍ෂ මැතිවරු, රාජ්‍ය නිලධාරීන් සහ සෙසු මහා ජනතාවගේ සහභාගීත්වයෙන් සියවස් සමරු මහෝත්සවය පැවැත්වෙන වග මෙහි සටහන් කරන්නේ අප්‍රමාණ සතුටකිනි.

දහම් පාසලකට වසර 100ක් සම්පූර්ණ වීම යනු මෙරට බෞද්ධ ඉතිහාසයේ මෙන් ම සම්බුද්ධ ශාසනයේ සහ සංස්කෘතියේ ද ඉතා වැදගත් අවස්ථාවකි. එසේ ම ජාතික හා ආගමික වශයෙන් ද ඉතා වැදගත් කරුණකි. මෙරට දහම් පාසල් අධ්‍යාපනය හෙවත් හැදෙන පරපුරට විහාරස්ථ ධර්ම ශාලාවේ දී ධර්මය මෙන් ම සදාචාරය කියාදීමේ වැඩපිළිවෙළ ආරම්භ වූයේ ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ලංකා ගමනයත් සමඟ ය. එතුමා මෙරටට පැමිණියේ අප ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලය පිහිටා තිබෙන ඓතිහාසික පානදුරා පුරවරයේ දී 1873 අගෝස්තු මස 26, 27, 28 යන තෙදින තුළ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද ඓතිහාසික පානදුරා වාදයේ අනගි ප්‍රතිඵලයක් වශයෙනි.

පානදුරා වාදයටත්, ඕල්කට්තුමාගේ ධර්මකාමී වැඩපිළිවලටත්, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයාව බේරා ගැනීමේ උතුම් ශාසනික කටයුත්තටත් ජීවිත පරිත්‍යාගයෙන් නිහඬ සේවයක් කරන්නට යෙදුණ මෙරට කීර්තිමත් වෙද පරපුරක් වූ ග්‍රේරු වෙද පරපුරේ ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු වෛද්‍යාචාර්යතුමා විසින් එවකට මෙම ප්‍රදේශයේ කීර්තිධරයන් ලෙස කටයුතු කළ ආයුර්වේද වෛද්‍යවරු ප්‍රධාන සියලු දෙනාගේ ආධාර උපකාර ඇතිව 1912 වර්ෂයේ දී “සමය විකාශිනී” නමින් මෙම දහම් පාසල ආරම්භ කර ඇත. එතුමාගේ අභාවයෙන් පසු එතුමාගේ ඥාති පුත්‍ර ශ්‍රී නේරිස් ග්‍රේරු වෛද්‍යාචාර්යතුමා විසින් අන්ද්‍රිස් ග්‍රේරු වෙදැදුරුතුමාට උපහාර පිණිස 1956 වර්ෂයේ දී “ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලය” යන නමින් නාම පරිවර්තනයක් මීට සිදුකර ඇත.

1912 සිට ගෙවුණ වසර සියය පුරාවට මෙරට ධර්ම අධ්‍යාපනයට, බෞද්ධ සංස්කෘතියට හා සදාචාර සංවර්ධනයට මෙන් ම ජාතික හා ආගමික ප්‍රබෝධයට නොමැලිව, අනලස්ව කර – උර දී කටයුතු කර ඇති වාද්දුව ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයට ඇත්තේ ඉතා කිර්තිමත් අඛණ්ඩ ඉතිහාසයකි. මෙහි ප්‍රථම ප්‍රධානාචාර්යවරයා වූයේ එවකට කිර්තිමත් විදුහල්පතිවරයකුව සිටි එඩ්‍රියන් ද සිල්වා සේනානායක මැතිතුමා ය. ප්‍රථමයෙන් ම මෙහි අකුරු කරවූයේ මෑත ඉතිහාසයේ වාද්දුව සුළු නගර සභාවේ සභාපතිනිය ලෙස පත්ව අමරණීය සේවාවක් කළුතර දිස්ත්‍රික්කයට ම කරන්නට යෙදුණ අභාවප්‍රාප්ත ප්‍රේමලීලා විජේරත්න මහත්මියයි. ආරම්භයෙන් වසර තිහකටත් (30) වැඩි කාලයක් වනතුරු ම වාද්දූව, වේරගම, මැලෑගම, මොල්ලිගොඩ, තල්පිටිය, පිංවත්ත, මඩවිල්ගොඩ යන ගම්වලට දහම් අධ්‍යාපනය ලබාගැනීමට පැවති එක ම දහම් පාසල වූයේ අද සියවස සැමරුමේ පසුවන ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලය යි.

සේනානායක මහතාගෙන් පසු ප්‍රධානාචාර්ය ධුරයට පත් වූයේ (1934) කන්දේගෙදර ශ්‍රී සෝභිත මාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ 1972 දක්වා ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ධූරය ඉසිලූ අතර 1972 සිට 1996 දක්වා ප්‍රධානාචාර්ය ධුරය උසුලන ලද්දේ උඩරට අමරපුර මහා නිකායේ කාරක සංඝ සභිකව සහ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායකව වැඩ සිටි අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලඋඩ ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේලාගේ ධූර කාල සීමාව තුළ දහම් පාසලේ කටයුතුවලට නායකත්වය හා පූර්ණ කාලීන දායකත්වය සැපයූ දහසක් දෙනා අතර වතුගෙදර සුසිලා දසසිල් මෑණියන් වහන්සේ, නන්දා රොඩ්‍රිගෝ මෙනවිය, දයාවතී ෆොන්සේකා මෙනවිය, පාඨශාලාචාර්ය පී.ඒ. තිසේරා, නිහාල් ජිනසේන, සුමනසිරි පෙරේරා, රණසිරි රොඩ්‍රිගෝ, උපාලි ප්‍රනාන්දු, ඔලිවර් ගුණතිලක, ලක්ෂ්මන් පි‍්‍රයංකර, රංජිත් කුමාර වැනි මහත්වරු ප්‍රධානත්වය ගන්නා ලදී. 1996 සිට ප්‍රධානාචාර්ය ධුරයේ කටයුතු භාරගෙන ක්‍රියා කරන්නට මා වෙත පැවරුණි.

නිස්සරණාධ්‍යාශයෙන් යුතුව ම ආරම්භයේ සිට ගෙවුණු සියවස පුරා ධර්ම විද්‍යාලය තම ජීවය කොට සලකමින් එහි භෞතික සම්පත් ගොඩනැඟුයේ ද, ධර්ම විද්‍යාල ගොඩනැගිල්ලේ සියලු ම ආකාරයේ නඩත්තු කටයුතු සිදුකළේ ද, ඒ සඳහා අරමුදල් ගොඩනැඟුයේ ද ශ්‍රී අන්ද්‍රීස් ග්‍රේරු වෛද්‍යාචාර්යතුමා විසින් ම පිහිටුවන ලද භාරකාර මණ්ඩලයක් විසිනි. එතුමා 1931 ජූනි මස 31 වන දින පරලොව සැපත් විය. ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු වෛද්‍යාචාර්යතුමාගෙන් පසුව භාරකාර මණ්ඩලයේ ප්‍රධානත්වයට නේරිස් ග්‍රේරු වෛද්‍යාචාර්යතුමා පත් විය. එතුමා 1957 දෙසැම්බර් මස 22 දින පරලොව සැපත් විය. එතුමාගේ අභාවයෙන් පසු හිල්ඩා ග්‍රේරු ප්‍රනාන්දු මහත්මිය පත්වූවා ය. එතුමිය 2011 ඔක්තෝබර් 07 වන දින පරලොව සැපත් වූවා ය. එම කාල සීමාව තුළ එතුමියට රත්නා ග්‍රේරු සෝමදාස මහත්මියගෙන් ලද උපකාරය ද කෘතවේදීව අප සිහිපත් කළ යුතු වෙමු. දැනට ධර්ම විද්‍යාලයීය භාරකාර මණ්ඩලයේ ප්‍රධානියාව කටයුතු කරනුයේ ජනාධිපති නීතිඥ ගාමිණි නිහාල් ග්‍රේරු ප්‍රනාන්දු මැතිතුමා ය.

ප්‍රථම ත්‍යාග ප්‍රදානය ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ ඉංගී‍්‍රසි ආණ්ඩුවේ ප්‍රාදේශීය සෙනෙට් නායකයින්ගේ ද ප්‍රධානත්වයෙන් හා සහභාගිත්වයෙන් ද සිදුකර ඇති අතර පසුකාලයේ දී සර් ඩී.බී. ජයතිලක, චන්ද්‍රරත්න මානවසිංහ, ලීල් ගුණසේකර වැනි බෞද්ධ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානයන් සිදුකර ඇත. ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලය මඟින් මේ රටට දායාද කර ඇති සුවිශේෂී පුද්ගලයන් රැසකි. ඔවුන් අතර දේශීය වෛද්‍යවරු රැසක් ද, එසේම සමාජ විද්‍යාඥ මහාචාර්ය නන්දසේන රත්නපාල මැතිතුමා, බෞද්ධ මහෝපාසිකා හිල්ඩා ග්‍රේරු ප්‍රනාන්දු මහත්මිය වැනි මහෝපාසිකාවෝ ද, අධිනීතිඥ හේමසිරි රොඩ්‍රිගෝ මැතිතුමා, ජනාධිපති නීතිඥ ගාමිණි නිහාල් ප්‍රනාන්දු මැතිතුමා වැනි නීතිඥවරු රැසක් ද, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් බී. නිහාල් ජිනසේන මැතිතුමා වැනි දක්‍ෂ පරිපාලන නිලධාරීන් රැසක් ද, බී.කේ. පෙරේරා වැනි වෘත්තිය සමිති නායකයින් ද, ගුණ නැණ සපිරි සදාචාර සම්පන්න, දෑ හිතකාමී, ධර්මකාමී, ශාසනෝන්නතිකාමී විශාල පිරිසක් ද ප්‍රධාන තැනක් ගනී.

1969 වර්ෂයේ දී දහම් දරු දැරියන්ගේ සංස්කෘතිය ආකල්ප සංවර්ධනයෙහි ලා, “බෝසත් ළමා සමාජය” නමින් ළමා සංවිධානයක් පිහිටුවන ලදී. එහි සමාරම්භක සභාපති වූයේ කොස්ගොඩ සිරිමිත්ත මාහිමි වන අතර එමඟින් ප්‍රදේශයේ සෙසු දහම් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකගේ සහභාගිත්වය ඇතිව බෝසත් ළමා පෙරහරක් වසර 30ක් පුරා පවත්වාගෙන එමින් සිටී. දැනට ලංකාවේ දහම් පාසලක් ප්‍රධානත්වය ගෙන පවත්වාගෙන එන ළමා පෙරහර වන්නේ ද අප ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලය මඟින් පවත්වන බෝසත් ළමා පෙරහරයි. එහිදී විවිධාකාරයේ ළමා නිර්මාණ, ජාතික වීර පින්තුර ප්‍රදර්ශනය කිරීම ද ඉතා වැදගත් කටයුත්තක් සේ සැලකේ.

මීට අමතරව වාර්ෂිකව පවත්වන පිරිත් පින්කම් හා දානමය පින්කම් ද, ගුණානුස්මරණ පින්කම්, අටවිසි පූජා, බෝධි පූජා පින්කම් ද වෙති. වර්තමානය වන විට ළමුන් 250 කට ආසන්න ප්‍රමාණයක් ද, ගුරු භවතුන් ගිහි පැවිදි වශයෙන් විසි දෙදෙනෙකු ද සිටින අතර ප්‍රදේශයේ දහම් පාසල් අතර කීර්තිමත් දහම් පාසලක් වශයෙන් ද අප ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විදයාලය සම්භාවනාවට පත්ව ඇත. අප ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු ධර්ම විද්‍යාලයට සියවසක් පිරීම යනු ජාතික වශයෙන් ද, ආගමික හා සංස්කෘතික වශයෙන් ද, සාමාජීය වශයෙන් ද ඉතාමත් වැදගත් අවස්ථාවක් කොට සියලු දෙනා සලකති. ඒ සියලු දෙනාගේ අදහස වූයේ මේ අභිමානවත් අවස්ථාව ඉතා ඉහළින් සැමරිය යුතු බවයි.

මැති ඇමැතිවරුන්ගේ ද, පළාත් සභාවේ ආධාර උපකාරයෙන් ද, රජයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වය ඇතිව සමරු උත්සවයක් සංවිධානය කිරීමටත්, තව සියවසකට වැඩි කාලයක් වැජඹීමට අවශ්‍ය ජවය, බලය, ශක්තිය ශ්‍රී අන්ද්‍රිස් ග්‍රේරු දහම් මෑණියන්ට ලබා දීමටත්, දැනට පවත්නා යම් අඩුපාඩුවක් වේ නම් ඒ සියල්ල සපුරා උත්සවශ්‍රීයෙන් සියවස සැමරීමටත් සියල්ල සූදානම් කළෙමු. දහම් පාසල් මෑණියන්ගේ සියවැනි උපන් දිනයට ආදි ශිෂ්‍ය, ශිෂ්‍ය වැඩිහිටි, ගුරු, ප්‍රදේශවාසී සියලුම දෙනා එකාවන්ව, එක් සිත්ව අත්වැල් බැඳ, එක පෙළකට, එකට සිට ඇගේ මුව හසරැළි නගන්නට එක්වන ලෙස සියලු දෙනාට මෙයින් ආරාධනය කරමු.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]