UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමි

මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධූරය පිළිබඳ අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2013 මාර්තු 09 දින කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ. මෙම සමරු ලිපිය ඒ නිමිත්තෙනි.

භික්‍ෂූන්වහන්සේ නමක් තමන් වෙත ලැබෙන සිව්පසය උස්මිටි භේදයකින් තොරව පිළිගෙන පාරිභෝග කෙරේනම් ප්‍රවුජ්‍යා සම්පත්තිය කවරක්දැයි නිබදව සිහිකරමින් ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් පරිපූර්ණව වාසය කෙරේනම් එම භික්‍ෂුවගේ මෙලොව පරලොව අභිවෘද්ධිය කිසිවෙකුට හෝ වැළැක්විය නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ බුද්ධ දේශනාව සදාතනික අනුශාසනාවක් බව ගිහි පැවිදි සැමගේ ගෞරවයට පත් නාපාන පේමසිරි නාහිමියන්ගේ පැවිදි දිවියෙන් මනාව පිළිබිඹුවේ.

“උතුම් පැවිද්ද හෙවත් පරම තපස ඉවසීමයි. නොඉවසන සුලු පැවිද්ද අර්ථ ශූන්‍යයි. පැවිද්දේ අනගි බව රඳා පවත්නේ කාම - කෝප දරාසිටීමේ ප්‍රාමාණිකත්වය මතය. ආධ්‍යාත්මික පරිපූර්ණත්වයේ මාර්ග ප්‍රතිපදාව ද එයයි” යන තථාගත දේශනාව මූර්තිමත් කෙරෙන සත්පුරුෂයෝ පැවිදි සමාජයේ වුවද අතිශය දුබල වෙති. එහෙත් අපේ නාපානේ පේමසිරි නාහිමියෝ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා තම දිවිය කැපකළ සම්භාවනීය බුද්ධ පුත්‍රයෙකි. සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේගේ ශ්‍රමණ ආකල්ප සම්පත්තියත්, ව්‍යක්ත, විශාරද හා විනීතභාවයත් ගම්භීර වූ පාණ්ඩිත්‍යයත්, සුපේශල ශික්‍ෂාකාමී පැවැත්මත් හේතුකොටගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දහතුන් වෙනි මහානායක පදවියට නිතරගයෙන් ම පත්වූහ. මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර උඩගම්පහ කෝරළයේ උඩගම්පහ නාපාන ගමේ විසූ ප්‍රභූ පවුලක් වූ ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරිබණ්ඩාර නිලමේතුමා හා නියංගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යුවලට දාව 1923 ජනවාරි මස 20 වන දින සිය පවුලේ හත්වන දරුවා ලෙසින් උපන් පිරිමි දරුවාට ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර ලෙස නම් තැබිණි.

අතිශයින්ම දුර්ලභ සම්පතක් වූ පැවිදි දිවිය ලැබිය හැක්කේ සසර ගමනේ දි බෙහෙවින් පින්කළ පින්වතෙකුට පමණි. පූර්ව භවයෙහි පින්කර තිබූ ටිකිරි බණ්ඩාරයන් 1933 ජූලි මස 08 වෙනිදා හුරිකඩුව උදුම්බරාරාමයේ දී නාපාන පේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනින් බෞද්ධ භික්‍ෂුවකට ඇවැසි මූලික පිරිවෙන් අධ්‍යාපනය සාර්ථක කරගත් නාපාන පේමසිරි හාමුදුරුවෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී රාජකීය පණ්ඩිත විනයාචාර්ය හා විනය විශාරද ආදී උපාධි රැසක් දිනාගෙන ධර්මධර විනයධර උගත් සඟරුවනක් ලෙසින් සමාජ – ආගමික සේවාව තීව්‍ර කළහ.

තමන් උගත් ධර්මය පරාර්ථය සඳහාම යොදවමින් කැටවල ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ ආරම්භ කළ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනෙහි පරිවේනාධිපති ධූරය හොබවමින් උගත් ගිහි පැවිදි පිරිසක් රටට සසුනට දායාද කරන්නට කටයුතු කළහ. එසේම හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කර එහි ප්‍රථම පරිවේනාධිපතිවරයා ලෙසින් බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමට මහඟු මෙහෙයක් සිදු කරති.

අපේ නාපාන පේමසිරි නාහිමියෝ අතිශයින්ම අල්පේච්ඡය, සුපටිපන්න ආදී ගුණයෙන් යුක්තය. සුභරතාවයෙන් හා නිහතමානී බවෙන් යුතු පැවතුම් ඇත්තාහ. බුද්ධානුශාසනාව දිවිහිමියෙන් ආරක්‍ෂා කිරීම නිසාම නාහිමියන් තුළ වූ ශාසනික ප්‍රාර්ථනාවන් සැමවිටම සාර්ථක විය.

පරාර්ථයෙහි යෙදෙව් යන බුදු වදන අර්ථවත් කරමින් නාපාන පේමසිරි නාහිමියෝ දෙස් විදෙස් ධර්ම චාරිකාවේ නිරතුරුව වැඩම කළහ. සිංහප්පූරුව, ඔස්ට්‍රියාව, වියානා, එංගලන්තය හා දඹදිව ඇතුළු විදෙස් රටවල පැවති ජාත්‍යන්තර බොදු සමුළු නියෝජනය කළහ. ධර්ම ප්‍රචාරයෙහි නිරත විය. අපේ නාහිමියෝ කළ මේ ශාසනික සේවාවට ගරු බුහුමන් ලෙසින් බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියත්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ආයතනය වෙතින් ස්ථවිරවංශාලංකාර ශාසනකීර්ති ශ්‍රී යන ගෞරව උපාධියෙන් පිදුම් ලැබූහ. කඳුරට භික්‍ෂු සංගමය හා කුණ්ඩසාල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ධූරයට පත් අප නාහිමියෝ තෛ‍්‍රනිකායික භික්‍ෂු සමගියත් තරුණ තරුණියන් ශාසනික කටයුතු සඳහා නැඹුරු කරවීමත් උදෙසා ඉටු කරන මෙහෙය පැසසිය යුතු ය.

තෛ‍්‍රනිකායික මහා සංඝයා වහන්සේලාගේ සමගිය පිළිබඳව දැඩි අවධානයෙන් ක්‍රියාකරන අප නාහිමියෝ රටේ සෑම අභියෝගාත්මක අවස්ථාවන්හිදීම සෘජුව ඉදිරිපත්ව කටයුතු කරති. උන්වහන්සේගේ අවවාද අනුශාසනා අපගේ කටයුතු වලදී ද මහත් පිළිසරණක් විය. කෙතරම් අපහසුතා ඇතත් දුරබැහැර ශාසනික කටයුතු වල යෙදී සිටින භික්‍ෂූන් වහන්සේලා දිරිගැන්වීම, ධෛර්යය සැපයීම පේමසිරි නාහිමියන්ගේ විශේෂ ගුණාංගයකි. භික්‍ෂු පරපුරට මහත් චරිතාදර්ශයක් ලබාදෙන අප මහානායක මාහිමිපාණෝ සියලු සංඝ ශෝභන ගුණයෙන් ශෝභමානය.

බහු ලෝකයේ මනුෂ්‍යශ් ච සත්පුරුෂා අති දුර්ලභඞ ලෝකයේ බොහෝ මිනිසුන් සිටියද සත් පුරුෂයෝ අති දුර්ලභය. අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ සත්පුරුෂ ගුණය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේත් බුද්ධ ශාසනයේත් දියුණුවට අතිශයින් උපකාරී වන්නේ ය.

චිරාත් කාලයක් බුදු සසුනට හා සමාජයට විශිෂ්ට මෙහෙයක් සිදු කිරීමට නාපාන පේමසිරි නාහිමියන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී ආයු සුව සම්පත් ලැබේවායි පතමි.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]