UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රඥාවේ ආලෝකය

ප්‍රඥාවේ ආලෝකය

ප්‍රත්‍යක්‍ෂ ඥානය නිරතුරුව දියුණුවට පත් කර ගත යුතු බවත් අන්ධානුකරණය බැහැර කළ යුතු බවත් බුදුදහමෙන් ඉගැන්වෙයි. පස්පවෙන් මිදී ජීවිතය ගත කරන තැනැත්තා අන් ජීවිතවල මෙන්ම දේපොළවල ද අගය වටහා ගනියි. සත්‍යගරුක බවේ වටිනාකම තේරුම් ගනිමින් සිහි ඇතිව නිවැරැදිව කාරණාකාරණා පිළිබඳ අගැයීමක් කළ හැකි, කළ යුතු හා නොකළ යුතු දැය මනාව තීරණය කිරීමට සමත් පුද්ගලයා විශිෂ්ට වේ.

මේ ලිපියේ මුල් කොටස ‘තමන් ගැන වගකීම තමන් අතමය’ මැයෙන් පසුගිය නවම් පුර පසළොස්වක පෝ දා පත්‍රයේ පළ විය.

වැරැදියට අල්වාගත් කුස තණ වැරැදි විධියට අලවාගත්තහුගේ අතම කපන්නේ වේ ද (කුසො යථා දුග්ගහීතො හත්ථමෙවානුකන්තති) වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනට ද අවැඩක්ම සිදු කරලයි.

එබැවින් ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්‍ෂා කරන්නාක් මෙන් (නගරං යථා පච්චත්තං ගුත්තං සන්තර බාහිරං) තම සිතද නිරතුරුව රැක ගත යුතු බව (එවං ගොපෙත අත්තානං) බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. තමන්ම තම නුවණ දියුණු කර ගැනීමේ ස්වාධීනත්වය බුදුදහම විසින් පුද්ගලයා සතු කරනු ලැබ ඇති අතර නුවණ දියුණු කර ගන්නා මාර්ගය කවරේ ද යන්න පෙන්වාදීම පමණක් බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයකු ලෙසින් ඉටු කොට ඇත. නුඹ කෙලෙස් තවන වීර්යය කළ යුතු ය. බුදුවරු එයට මඟ කියන්නෝ ය. (තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතං) නුවණ පිරිසුදු කර ගැනීමට දර්ශනයේ විසුද්ධිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර දෙවැනි මඟක් නැත. (එසොව මග්ගො නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා) ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්න. (එතම්හි තුම්හෙ පටිපජ්ජථ) මෙම මාර්ගය මාරයා මුළා කරවයි. (මාරස්සෙතං පමොහනං) තොප මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ සියලු දුක් කෙළවර කර ගන්න. (එතම්හි තුම්හෙ පටිපන්නා දුක්ඛස්සන්තං කරිස්සථ) මා විසින් රාගාදි මුල් උදුරාලන ක්‍රමය දැන මෙම මාර්ගය නිශ්චය වශයෙන් තොපට ප්‍රකාශ කොට ඇත. (අක්ඛාතො චෙ මයා මග්ගො අඤ්ඤාය සල්ල සත්ථනං) බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යය කුමක් ද යන්න මෙම ප්‍රකාශයන්ගෙන් වැටහේ. තමා හා තම ගමන් මග කෙසේ සකස් කර ගත යුතු ද යන්න උන්වහන්සේ පෙන්වාදීම පමණක් කර ඇත. එම මඟ නිශ්චය කිරීම, තෝරා ගැනීම හා එම මඟ යෑම අප සතු වූවක් බව එම ප්‍රකාශවලින් ගම්‍ය වේ.

භක්තිය හෝ අන්ධ විශ්වාසය බැහැර කරන බුදුදහම ප්‍රඥාවේ ආලෝකය තමාගේ ආලෝකය කොට විසිය යුතු බව නිරතුරුව අවධාරණය කරයි. අංගුත්තර නිකායේ චුන්ද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ධර්ම කොට්ඨාසය ද බෞද්ධ චින්තනයට ලබා දී ඇති ස්ථානය කවරක් ද යන්න නිර්ණය කර ගැනීමට ඉතා වැදගත් වේ. අවබෝධාත්මක බව නිරතුරුව බුදුදහමෙන් ඉස්මතු කෙරේ. බුදුරජාණන් වහන්සේ ද මාගේ ධර්මය නුවණැත්තන් සඳහා මිස නුවණ නැත්තන් සඳහා නොවේ යනුවෙන් දේශනා කර ඇත. (පඤ්ඤාවන්තස්ස අයං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස) නිවැරැදිව සිය චින්තන ශක්තිය සකස් කර ගත් පුද්ගලයකුට තමාගේ දහම නිසියාකාරව අවබෝධ කර ගත හැකි බව හා ඒ තුළින් අවසන් ඵලය වන විමුක්තිය ද ලද හැකි බව පෙන්වා දීම සඳහා ය එසේ දේශනා කරන ලද්දේ. භෞතිකත්වයට වඩා ලෝකෝත්තර තත්ත්වයේ උසස් බව නිරතුරුව ඉස්මතු කරමින් දේශනා කොට ඇති ධර්මය තුළ අන්තර්ගත වනුයේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගත හැකි මාර්ගය හා ඊට අදාළ උපදේශයන්ය.

ප්‍රත්‍යක්‍ෂ ඥානය නිරතුරුව දියුණුවට පත් කර ගත යුතු බවත් අන්ධානුකරණය බැහැර කළ යුතු බවත් බුදුදහමෙන් ඉගැන්වෙයි. පස්පවෙන් මිදී ගත කරන ජීවිතය අන් ජීවිතවල මෙන් දේපොළවලද අගය වටහා ගනියි. සත්‍යගරුක බවේ අගය වටහා ගනිමින් සිහි ඇතිව නිවැරැදිව කාරණාකාරණා පිළිබඳ අගැයීමක් කළ හැකි, කළ යුතු හා නොකළ යුතු දැය මනාව තීරණය කළ හැකි පුද්ගලයා විශිෂ්ට වේ. තමා විසින් තමා දමනය කර ගනු ලබමින් තිදොර සංවරත්වයකට නතු කර ගැනීමට තමාම උත්සාහයක නිරත වීමේ වටිනාකම ඉන් අදහස් කෙරේ. නීතියෙන් ඇති කරන ව්‍යවස්ථාපිත රැකවරණයට වඩා මිනිසා විසින් මිනිසා තුළ ඇති කර ගනු ලබන සංවර බවේ ආවරණය සේ ශිලය මෙන්ම භාවනාව පෙන්වා දිය හැකි වේ. බුදුදහමේ විමුක්ති මඟ පෙන්වා ඇති අතර එම විමුක්ති මඟෙහි නිසි පරිදි ක්‍රියාත්මක මට්ටමෙන් ඉදිරියට යෑමට අවශ්‍ය පළමුවැනි පියවර වනුයේ ද දැඩි අදිටනින් තමා තුළ සංවරයක් ඇති කර ගැනීමයි. අසංවර වූ මනැසට, අසංවර වූ කයට, අසංවර වූ වචනයට හසුවනුයේ සුචරිතයේ මිරිඟුවක් පමණි. සංවර සිතකට දැහැමි මාවත පිළිබඳ, ජීවිතය හා සසර ගැන අවබෝධ කොට ගත හැකි වේ. අසංවරව, දුසිල්වත්ව වසර සියයක් ජීවත්වනවාට වඩා සුසිල්වත්ව එක් දිනක් ජීවත්වීම උතුම් බව (යොච වස්ස සතං ජීවෙ දුස්සිලො අසමාහිතො - ඒකාහං ජිවිතා සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො) දේශනා කර ඇත. සියවසක අදැහැමි හා අසංවර හැසිරීමට වඩා සුසිල්වත්ව එක් දිනක ජීවිතය තුළින් තමාට මෙන්ම තමා ජීවත්වන සමාජයට ද ඇතිවන ශාන්තිය හා සැනසීම කවරාකාර ද යන්න මේ මඟින් පෙන්වා දේ.

ජීවිතයක යථාර්ථවත් බව රැඳී පවතිනුයේ පුද්ගලයකු සිය ශක්‍යතා නිවැරැදිව අවබෝධ කොට ගෙන නිසි පරිදි එහි යෙදීම මතය. ස්වාධීන චින්තනය ද එබඳු අවස්ථාවක ඔහුට පිටිවහලක් වනවා නොඅනුමානය. පරාධීන වූ හෝ ගැති වූ හෝ චින්තනය මිනිසා වැරැදි මාවතකට යොමු කරවන අතර ස්වාධීන චින්තනය මිනිසා නැගිටුවීමට මෙන්ම ජීවිතය නිවැරැදි දිශානුගත කිරීමකට ද හේතු වේ. බුදුදහම තුළින් මීට අදාළ මාර්ගෝපදේශකත්වය නිසි පරිදි ලබා දී ඇත. ලෞකික ලෝකෝත්තර උභය සුබසිද්ධිය පිණීස එම උපදේශ අතිශයින්ම වැදගත් වේ.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]