UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොවට සදහම් මඟ කියා දෙන හේනේපොළ ගුණරතන නාහිමි

ලොවට සදහම් මඟ කියා දෙන හේනේපොළ ගුණරතන නාහිමි

ලොවම මවිත කළ ස්වයං චරිතාපදානය ලියමින් චරිතාපදාන කලාව උඩු යටිකුරු කළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියන් සිය දිවි මගේ 85 වැනි සැතපුම් කණුව පසුගිය දා පසු කළ සේක.

නාරද නාහිමි, බළන්ගොඩ නාහිමි, රාහුල හිමි සහ ධම්මානන්ද නාහිමි වැනි ශ්‍රී ලාංකීය සඟ පරපුරේ වර්තමාන ප්‍රදීපස්ථම්භය හේනේපොල ගුණරතන නාහිමියන්ය.සියම් මහ නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හොබවන අප කථානායකයාණෝ “භන්තේ ජී” ලෙස ලොව පුරා ප්‍රචලිතව සිටිති. මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේන් ඉංගිලිස් නම් උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථය මේ වන විට ලොව පුරා භාෂා 23 කට පරිවර්තනය වී ඇත. ලාංකිකයෙකු වෙතින් රචිත ග්‍රන්ථයක් මෙතරම් භාෂා ප්‍රමාණයකට පරිවර්තනය වීම අති දුර්ලභ මෙන්ම මෙය ප්‍රථම අවස්ථාව ද විය හැකිය.

මහනුවර තුන්පනේ දිසාවේ හේනේපොල ගමේ 1927 දෙසැම්බර් මස 7 වන දින ජන්ම ලාභය ලැබූූ ඒකනායක මුදියන්සේලාගේ උක්කු බණ්ඩාර සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ හයවැනියායි . 12 වැනි වියේදී කිිරිබත්කුඹුරේ සෝනුත්තර ලොකු හාමුදුරුවන්ගේ ආචාර්යත්වයෙන් මලන්දෙනිය පන්සලේ දී පැවිදි විය. අනතුරුව ගම්පහ විද්‍යාසේඛර පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය හදාරා පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුලත් වූ ගුණරතන හිමියෝ විද්‍යලංකාර අවසාන උපාධිය තෙක් ශික්‍ෂණය ප්‍රගුණ කළහ. එමෙන්ම මුන්වහන්සේ 1947 දී ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාරීය සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූ හ. අනතුරුව විදේශ ධර්ම දූත පුහුණු පාඨමාලාවට ඇතුලත්ව පරවාහැර වජිරඥාන නාහිමියන්ගේ මඟ පෙන්වීම අනුව මහබෝධි සංගමයේ ඉන්දියාවේ සාංචි විහාරයට වැඩම කොට විදේශ ධර්මදූත සේවය ඇරඹීය. එහි වසර පහකට පසුව කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ ආරාධනාවෙන් මැලේසියාවට වැඩම කළහ. වසර දහයක කාලයක් එහි වැඩ වෙසෙමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලුනු නාහිමියෝ 1968 දී මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිගේ ආරාධනාවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් මහ විහාරයට වැඩම කළහ.කෙටි කාලයක් තුළ එහි විහාරාධිපතිත්වයට පත් ගුණරතන නාහිමි 1988 වනතුරු එහි අධිපතිත්වය දැරූහ. එමෙන්ම ගුණරතන නාහිමි 1982 දී භාවනා සොසයිට් නම් සංවිධානය ඇති කර බටහිර ලෝකයේ පළමු ආරණ්‍ය සේනාසනය පිහිටවිය.

වොෂින්ටන් මහ විහාරීය ආගමික හා සාමාජීය කටයුතු සඳහා නායකත්වය ලබා දෙන අතරේ ඇමරිකන් විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් අතර, ධ්‍යාන පිළිබඳ නිබන්ධන සංග්‍රහ ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය ද ලබාගත්හ. එම විශ්වවිද්‍යාලයේ කලක් ඉගැන්වීම් කටයුතුවල නිරත වූ මුන් වහන්සේ එහි බෞද්ධ ආගමික කටයුතු උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය. දැණුමෙන් සහ අත්දැකීම් සමුදායකින් පරිපූර්ණ වූ නා හිමි ස්වකීය ප්‍රතිභාව තුළින් ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය ඇමරිකාව තුළ ස්ථාපිත කරවීමට පුරෝගාමීව කටයුතු කළහ. මෙහි සාන්දෘෂ්ඨික ජීවමාන ප්‍රතිපලය ලෙස වෙස්ට් වර්ජනියා භාවනා මධ්‍යස්ථානය දැක්විය හැකිය. අක්කර පනහකින් යුත් මෙම ලඳු කැලෑව වර්තමානය වන විට රමණීය ආරණ්‍ය සේනාසනයක් වූවා පමණක් නොව දහස් සංඛ්‍යාත ජනයාගේ දහම් පිපාසය සිඳලන දහම් නිකේතනයක් ද වෙයි. සීමා මාලකයක් ඇති එකම ශ්‍රී ලාංකීය පන්සල ද මෙයයි. එපමණක් නොව එදා මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රකාශයක් ගැන විශේෂයෙන් අවධානය යොමු කරනු කැමැත්තෙමි.එනම් ලංකාවේ උපන් කෙනෙකු ලංකාවෙ දී මහණ උපසම්පදාව ලබන තුරු සසුන පිහිට වීමේ කාර්ය අවසන් නොවන බව දෙවන පෑ තිස්ස රජුට මිහිඳු මාහිමි සැලකළ සේක. එමෙන්ම ගුණරතන නාහිමියන් විසිනුයි ඇමරිකන් ජාතිකයෙකු මුල්වරට ඇමරිකාවේ දී මහන උපසම්පදාව කරණු ලැබුවේ,එපමණක් නොව ඇමරිකාවේ භික්‍ෂුණී ශාසනයට මඟ විවර වූයේ ද නාහිමියන්ගේ පරිස්ශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙසයි.මේ වනවිට ගැහැනු පිරිමි විසි හය දෙනෙක් පමණ උන්වහන්සේ වෙතින් පැවිදි බව ලබා ඇත්තාහ.මේ අතර ඇමරිකන් ජාතිකයෝ ද ජර්මන් ජාතිකයෝ ද අපි‍්‍රකානුවෝ හා ශ්‍රී ලාංකිකයෝ ද වෙති.

ඇමරිකාවෙ පමණක් නොව ඉන් පිටතත් බොහෝ භාවනාව උගන්වන ගුරුවරුන්ගේ ආචාර්යවරයා බවට නාහිමියන් පත්ව ඇත. එමෙන්ම දෙස් විදෙස් භික්‍ෂූන්ට ඇතිවන දහම් ගැටලු විසඳා ගැනීමට ඍජුවම නාහිමියන් ඇමතිය හැකි එසේම වසරකට වරක් සියලු භික්‍ෂූන් වෙනුවෙන් නේවාසික පුහුණු වැඩමුලුවක් පවත්වා විශේෂයෙන් භාවනාව හා ධර්මය ඉගැන්වීම සිදුකරන්නේ විදේශ ධර්ම දූත සේවාව වඩාත් ඵල ගැන්වීමටයි. මේ වන විට ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ ලාංකික සලකුණ බවට වෙට්ස් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානය පත්ව ඇති බවට විවාදයක් නැත.එපමණක් නොව එදා ගුණරතන නාහිමි නොහිටියානම් පළමු ශ්‍රී ලාංකීය විහාරස්ථානය වන වොෂින්ටං මහ විහාරය විනාශවන්නට ද ඉඩ තිබුණි. සමහර අවස්ථා වලදී මගතොටේ හමු වූ අයට මගේ රට ලංකාව යැයි හැදින්වීමක් කෙරෙන විට සමහර අය ඍජුවම” මම භන්තේ ජි දන්නවා” යැයි ප්‍රකාශ කළ අවස්ථා ඇත. ඒ උන්වහන්සේ නිසා ඔවුන් ලංකාව හඳුනාගෙන ඇති බවට සාක්‍ෂියි.

පාළි, සංස්කෘත, හින්දි, සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවන් ලිවීමේත්, දේශනයේත් මනාව හැසිර විය හැකි නාහිමියන් තවත් භාෂා කීපයක් හසුරු වීමට සමත්ය. මේ වන විට ලොව වැඩිම රටවල් ප්‍රමාණයක සැබෑ ධර්ම දූත කාර්යේ යෙදුන ලාංකීය භික්‍ෂූන් වහන්සේ අප නාහිමියන් බවට සැකයක් නැත. උන්වහන්සේ සෑම මහද්වීපයකටම වැඩම කරවා ඇත. විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ ලොව පුරා ජනතාව අමතා ඇති අන්තර්ජාලය තුළ පමණක් උන්වහන්සේගේ ලිපි හා දේශන හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයක් ඇත. 2011. මැයි 7 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ප්‍රධාන රැස්වීම් ශාලාවේ රටවල් 18 ක මෙහයැවීමෙන් බෑන් කී මූන් මහතා ඇතුළු ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රීකයන් සිය ගණනක සහභාගිත්වයෙන් පැවැති සම්බුද්ධත්ව ජයන්ති විශේෂ සැසිවාරයේ ශ්‍රී ලාංකීය භික්‍ෂූන් නියෝජනය කරමින් දේශනය පැවැත් වූ යේද ගුණරතන නාහිමියන් විසිනි. එදින පැවැති දෙස් විදෙස් සම්භාවනීය උගතුන්ගේ දේශන අතර වඩාත් කථා බහට ලක් වූ සුවිශේෂ දේශනයක් බවට ගුණරතන නාහිමියන්ගේ දේශනය ලක්වුනු බව එම සමුලුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ මා හට ඍජුවම ප්‍රකාශ කළ හැකියි.

උන්වහන්සේ වෙතින් රචිත ග්‍රන්ථ රැසකි. ඒ අතර මයින්ඩ් ෆුල්නස් ඉන් ප්ලේන් ඉංගි‍්‍රසි ග්‍රන්ථයේ තායි පරිවර්තනය උසස් පාඨශාලා විෂය නිර්දේශයට ඇතුලත්ය. මේ වන විට මෙහි පිටපත් ලක්‍ෂයට වැඩි ප්‍රමාණයක් ලොව පුරා පාඨක ජනතාව වෙතට පත්ව ඇත. එපමණක් නොව ලොව පුරා භාවනා උපදේශකවරු උන්වහන්සේගේ ග්‍රන්ථ අත් පොත් ලෙස භාවිතා කරති. 2012 වසරෙ දී ද ෆෝ පවුන්ඩේසන් ඔෆ් මයින්ඩ් ෆුල්නස් නම් ඉංගී‍්‍රසි ග්‍රන්ථයත් සිංහලෙන් ආනාපාන සති භාවනා යන ග්‍රන්ථයත් පාඨක දන වෙත ප්‍රදානය කෙරුණ අතර, තව නොබෝ දිනකින් වට් බුද්ධ මේක්ස් සෝ ග්‍රේට් නම් ඉංගී‍්‍රසි ග්‍රන්ථය පිටකිරීමට නියමිතයි.

විශ්ව විද්‍යාල මෙන්ම වෙනත් ධර්ම විද්‍යාලයන් හි ද ධර්මාචාර්ය වරයෙකු වශයෙන් කටයුතු කොට ලොව පුරා වැඩම කරමින් ධර්මයේ පණිවිඩය බෙදාදෙමින්ද විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ද ජනතාවට දහම් පණිවිඩය බෙදා දෙමින් උන්වහන්සේ මේ ලොවට බෙදා දෙනුයේ ජීවිතයේ යථාර්ථය දැකීමට මගයි. අසහනකාරිත්වයට සහනයයි. උන්වහන්සේ බෙදා දෙන මේ පණිවිඩය ජාතියකට රටකට පමණක් වලංගු වූවක් නොවන අතර විශ්වයටම පොදුයි.

මෙලෙස සිදුවන ගුණරතන නාහිමියන්ගේ සමාජ හා ශාසනික සේවාව වෙනුවෙන් 1985දී ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව වෙතින් උන්වහන්සේට උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීය. සීල වෘද්ධ, ගුණ වෘද්ධ,තපෝ වෘද්ධ, වයෝ වෘද්ධ, ඥාන වෘද්ධ නාහිමියන් නිසා තත් තනතුර බැබලෙන්නේය. 2010 වසරේ දී උන්වහන්සේ බුරුම රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමයෙන් පුද ලැබිණි. මෙපමණක් නොව ලොව නන්දෙසින් ඉතා සුවිශේෂ ලෙස ජනතාව වෙතින් පූජනීයත්වයට පාත්‍ර වූ හේනේපොල ගුණරතන නායක හාමුදුරුවන් වහන්සේට ශත වස්සා දී ආයු ලැබ නිදුන් නිරෝගී සුව උදාවේවා.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]