UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාකස්සප ථෙර බොජ්ඣංගය

මහාකස්සප ථෙර බොජ්ඣංගය

බුදුරදුන් වේළුවනාරාමයෙහි වැඩ සිටින කාලයේ මහාකාශ්‍යප හිමියෝ දැඩි සේ ගිලන්ව මහත් වේදනාවට පත්ව පිප්ඵලී ගුහාවෙහි වැඩවාසය කළහ. සමවත් සුවයෙන් නැඟිට ලොව බලන බුදුපියාණන් වහන්සේ මේ බව දුටු සේක. එතැනට වැඩමවා මෙසේ විමසූහ. “කොහොමද කස්සප ඉවසා සිටිය හැකිද? ලෙඩ අඩුවීගෙන යනවාද? වැඩිවීගෙන යනවාද?”

පිරිත ආශිර්වාදාත්මක දේශනාවක් ලෙස බෞද්ධයන් විසින් සලකනු ලැබේ. පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර අතර බොජ්ක්‍ධංග තුනකි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත් මහා කස්සප ථෙර බොජ්ක්‍ධංගය මහා කාශ්‍යප හිමියන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම පිණිස බුදුරදුන් විසින් දේශනා කරන ලදී. අදද බොහෝ පිරිස් රෝග පීඩාවන්ගෙන් අත්මිදීම සඳහා පිහිට පතා මෙය දේශනා කරවාගෙන සුවය ළඟා කරගනිති. ඕනෑම දරුණු රෝගයකදී බොජ්ඣංග ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මනා සහනයක් ලද හැකිය.කරුණාව,මෛත්‍රිය වැනි අනන්ත ගුණයන්ගෙන් යුතු අප බුදුරදුන්ගේ ශ්‍රී‍්‍ර මුඛ දේශනාවක් වන මෙය විශ්ව ශක්තියකි.

බුදුරදුන් වේළුවනාරාමයෙහි වැඩ සිටින කාලයේ මහාකාශ්‍යප හිමියෝ දැඩිසේ ගිලන්ව මහත් වේදනාවට පත්ව පිප්ඵලී ගුහාවෙහි වැඩවාසය කළහ. සමවත් සුවයෙන් නැඟිට ලොව බලන බුදුපියාණන් වහන්සේ මේ බව දුටු සේක. එතැනට වැඩමවා මෙසේ විමසූහ. “කොහොමද කස්සප ඉවසා සිටිය හැකිද? ලෙඩ අඩුවීගෙන යනවාද? වැඩිවීගෙන යනවාද?” එවිට මහ කසුප් තෙරුන් පෙරළා බුදුරදුන්ට පැවසුවේ “මේ අසනීපය උසුලා සිටිය නොහැක. ඒ තරම්ම වේදනාකාරියි. එන්න එන්නම උත්සන්න වනවා හැර සුවවීමක් නම් නැත” යනුවෙනි.

රෝගය නිසා මෙසේ පීඩා විඳින මහකසුප් තෙරණුවන්ට සුවය සැලසීම පිණිස බුදුරදහු ධර්මය ආශිර්වාදාත්මකව සජ්ඣායනා කිරීමට කල්පනාකර කාශ්‍යප හිමි අමතා මෙසේ දේශනා කළහ. “කාශ්‍යප, බොජ්ඣංග ධර්ම සතක් තිබෙනවා. එය මා හොඳින් පෙන්වා දී තිබෙනවා. එපමණක් නොවේ, මා එය භාවිතකර පුරුදු පුහුණු කර තිබෙනවා. ඒ තුළින් සත්‍යාවබෝධයට, නිවනට පත්වීම ඉතා පහසුයි. නිවන සඳහා මෙම බෝජ්ක්‍ධංග ධර්ම මනාසේ උපකාරී වේ.”

මෙම සූත්‍රදේශනාවේ උගන්වනු ලබන බොජ්ඣංග ධර්ම හත ඍජුවම නිවනට හේතුවන, විශේෂයෙන් සම්මාසම්බුද්ධත්වයට පත්වීම විෂයෙහි පූරණය කළ යුතු බෝධිපාක්‍ෂික ධර්ම 37 තුළ අන්තර්ගත සප්ත බොජ්ක්‍ධංග ධර්මයි. මහකසුප් හිමියන් අමතා තමන් වහන්සේ මෙය පුරුදු කළේ යැයි දේශනා කරනුයේ බුද්ධත්වය සඳහා සම්පූර්ණ කළ අංග අතර මෙම ධර්මතාවන්ද මනාව භාවිත කරමින් පුහුණු කළ නිසාවෙනි. සූත්‍රදේශනයේ විශේෂයෙන් බොජ්ක්‍ධංග පිළිබඳ සඳහන් කරමින් බුදුරදුන් කාශ්‍යප හිමියන්ට ආශිර්වාද කරනුයේද එය එතරම්ම බලසම්පන්න , ශක්තිසම්පන්න ධර්ම කොට්ඨාසයක් බැවිනි. තමන් වහන්සේ පුරුදු කළ භාවිත කළ බොජ්ක්‍ධංග ධර්ම සත්‍ය ක්‍රියාවක් ලෙස යොදාගනිමින් කාශ්‍යප හිමියන්ට ආශිර්වාද කිරීම මෙහි ඇති විශේෂත්වයකි.එම බොජ්ඣංග ධර්ම සත මෙසේය.

බොජ්ක්‍ධංග යනු ‘බෝධි අංග‘ යන වචනාර්ථය ලබා දෙන අතර සෑම බෝධිසත්වයකුම මෙම අංග සතෙන් උපලක්‍ෂිත විය යුතුය.

1. සති සම්බොජ්ක්‍ධංගය

මාර්ග ඥානයට හේතු වන සිහිය හෙවත් යෝනිසෝ මනසිකාරය මෙයින් අදහස් වේ. සත්වයා පාප පක්ෂයට ඇද වැටීමට පත් නොවී කුසල පක්ෂයෙහි පිහිටුවීම පිළිබඳ අවධිකම සිහිය වේ. විවිධ හේතූන් නිසා ඇතිවන ප්‍රමාදය දුරුකර අප්‍රමාදී වීම හා එය අවසානයේ මාර්ග ඥානය ඉපදවීමට සමත්කම් ඇති කිරීම දක්වා වර්ධනය වීම සිහියෙහි වැදගත් බවයි. අධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම කෙනකුගේ යහපත් ලෞකික සංවර්ධනය සඳහාද සිහිය අත්‍යවශ්‍යයි. මින් ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාරවන සිහිය, නිවන් ලැබීමට උපකාර වන සිහිය සති සම්බොජ්ක්‍ධංගයයි.

2. ධම්මවිචය සම්බොජ්ඣංගය

සම්මුති හා පරමාර්ථ වශයෙන් ලෝකයෙහි පවතින දෙයාකාර වස්තූන් පිළිබඳ දැනුම, හේතුඵල ධර්මතාව ගැන දැන ගැනීම සහිත තියුණු නුවණ ධම්මවිචය සම්බොජ්ක්‍ධංගයයි.

3. විරිය සම්බොජ්ඣංගය

මෙය බුද්ධාංකුර ධර්මයකි. එක් පැත්තකින් පාරමිතාවකි. තම අරමුණට යෑම සඳහා කෙතරම් බාධක පැමිණියද ඉන් කුසීතව ගුලි නොවී කටයුතු කිරීම විරියයි.කෙලෙස් නිසා සිත උකටලී වීමට ඉඩ නොදී සිත ඉදිරියට යවන්නා වූ බලවත් පරිශ්‍රමය වීර්යයි. සම්‍යක් ප්‍රධාන වීර්යය නිවන් මඟ ගමන් කරන්නන්ට අත්‍යවශ්‍යයි.

නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් මැඩ පැවැත්වීම, නූපන් කුසල් ඉපදවීම සහ උපන් කුසල් වැඩිදියුණු කිරීම යනාදී වශයෙන් වීර්යය වැඩිය යුතුය.

4. පීති සම්බොජ්ඣංගය

සතුට හෙවත් පී‍්‍රතිය උසස් ලාභයක් මෙන්ම ධනයකි. අවශ්‍ය සුදුසු ආහාරපාන නොලබා හෝ තම අරමුණ වූ නිවන ලබාගැනීමට නිරෝගීව සිටිය හැකි වන්නේ පී‍්‍රතිය නිසාවෙනි. තම අරමුණෙහි කටයුතු කරන අතරතුර පී‍්‍රතියක් ඇති නොවුණහොත් කාර්යය ඔහුට එක දිගට කරගෙන යෑම අපහසුය. පී‍්‍රතිය සම්බෝධියට අංගයක් වන්නේ එහෙයිනි. පී‍්‍රතිය නිසා යෝගාවචරයාගේ සිත පමණක් නොව කයද පිනායන්නේය.

පී‍්‍රතිය නොමැත්තා නිතරම පාහේ පසුබසින අතර ආරණ්‍යවාසීව අල්ප ආහාරයෙන් යැපෙමින් සිටීම අපහසුවේ.

5. පස්සද්ධි සම්බොජ්ඣංගය

කාය චිත්තයන්ගේ සන්සිඳීම පස්සද්ධියයි. සිතෙහි වෙහෙස හා සැලෙන, දැවෙන ස්වභාව ඇතිතාක් උසස් ඥානය හෝ චිත්ත සමාධිය හෝ ඇති නොවේ. එය ලැබීමට සිතසන්සුන් විය යුතුය. කෙනකුට කාය හා චිත්ත පස්සද්ධිය තිබීම අත්‍යවශ්‍යයි. සිත ස්වභාවයෙන්ම එක අරමුණක නොපිහිටයි. එක ඉරියව්වක සිටීම කයට වෙහෙස දෙන්නක් මෙන්ම සිතද එක අරමුණක පිහිටුවා තබා ගැනීම මනැසට මුලදි වෙහෙස ගෙන දෙන්නකි. සිතෙහි ඒ ඇතිවන සැලීම, විවිධ අරමුණු සොයායෑම පස්සද්ධීන් විසින් වූපසමනය කරනු ලැබේ. උපන් අකුසල් නැසීම ආදි සතර සම්‍යක් ප්‍රධානයන්ගෙන් යුක්ත වීමටත් ආර්ය භූ®මියට පත්වීමටත් මෙය අවශ්‍යයි. මේ අරුතින් ගත් විට පස්සද්ධිය බෝධි අංගයකි.

6. සමාධි සම්බොජ්ඣංගය

චිත්ත ඒකාග්‍රතාව, සිතෙහි නිවුණ බව, වික්ෂෝපය තුරන් වූ බව සමාධියයි.

මෙයින් සිදුවනුයේ සිත නානාරම්මණයෙහි යා නොදී ආරක්‍ෂා කිරීමයි. අරමුණෙහි දැඩිකොට පිහිටීම සමාධි යයි.මෙයම ඉන්ද්‍රියක්සේ, බලයක් සේ බෝධිපාක්‍ෂික ධර්ම තුළම විස්තර වේ. සමාධිය අනුක්‍රමයෙන් වැඩීම තුළ කාමච්ඡන්දාදී කෙලෙස් දුරුකොට නිර්වාණය සාක්ෂාත් කරගත හැකිය.

7. උපෙක්ඛා සම්බොජ්ක්‍ධංගය

උපේක්ඛා නම් සම, මැදහත් යන අරුත සපයන වචනයකි. බෝධි අංග තුළ සම බව නම් වීර්යත්, සමාධියත් සම මට්ටමෙන් පවත්වාගනිමින් නිවනට අදාළ චරණ ධර්මයන්හි යුක්තවීමයි.යෝගාවචරයාගේ චිත්ත සන්තානයෙහි වීර්යය හීන වී සමාධිය බලවත් වුවහොත් අලස බව ඇතිවිය හැකිය. සමාධිය හීන වී වීර්ය බලවත් වුවහොත් එවිට උද්ධච්චය (චිත්තවික්ෂිප්ත බව) ඇතිවිය හැකිය.ලෝකෝත්තර ඥානය ඇතිවීමට නම් වීර්යය හා සමාධිය සමව පැවැතීම අවශ්‍යයි. මෙසේ ඇතිවන උපේක්ඛාව සම්බෝධියට අංගයකි.

මෙම බොජ්ක්‍ධංග ධර්ම දේශනය ශ්‍රවණය කළ කාශ්‍යප හිමියෝ බුදුරදුන්ට මෙසේ පිළිතුරු දුන්හ.

“තග්ඝ භගවා බොජ්ඣංගා, තග්ඝ සුගත බොජ්ක්‍ධංගාති” භාග්‍යවතුන් වහන්ස, සුගතයන් වහන්ස,බොජ්ඣංග ධර්මයන් ඉතා මැනැවි.

දේශනාව අවසන කාශ්‍යප තෙරුන් අසනීපය සුවපත්ව නැගී සිටි අතර එයින්ම උන්වහන්සේගේ ආබාධය සුව විය. (සෝ ආබාධෝ අහෝසීති)

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]