UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත්පින්දීමට හොඳම තැන තමන්ගේ නිවසයි

දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත්පින්දීමට හොඳම තැන තමන්ගේ නිවසයි

දෙවියන්ටත් මිය ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට තම නිවස යොදා ගැනීමේ කිසිදු වරදක් නොමැති බව සැබෑ බෞද්ධයන් ලෙස අප වටහා ගත යුතුවනවා. එසේම ඇතැම් අයට මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ මිය ගිය ඥාතීන්ට නිවසේදී පින්දීම තුළින් ඔවුන් නිවසේ රැදී සිටීද යන්නයි. මිය ගිය ඥාතියා පරදත්තූප ජීවි යන පේ‍්‍රත ආත්මයක සිටීනම් පමණයි. අප ලබා දෙන පින් ලබා ගන්නේ

නිවසක් තුළ දෙවියන්ට පින්දීම මෙන්ම මිය ගිය ඥාතීන්ට පින්දීම පවා නොකළ යුතු යැයි අපේ ඇතැම් බෞද්ධයන් තුළ වැරැදි මතයක් තිබෙනවා. නිවසක් තුළ දෙවියන්ට මෙන්ම ඥාතීන්ට පින්දීම ගැන ලබා දීමට ඇත්තේ ඉතාම කෙටි පිළිතුරක් පමණයි.ඒ එසේ පින්දීම උචිතයි යන්න පැවසීමයි.

එහෙම නැත්නම් ඔබෙන් ඇසීමට තිබෙන්නේ සරල ප්‍රශ්නයක්. නිවසේදී හොඳ නැත්නම් ඥාතීන්ට පින් දෙන්න, ඒ වගේම දෙවියන්ට පින් දෙන්න හොඳම තැන සිංහරාජයද? එහෙමත් නැත්නම් හිමාලය වනයද? කියන ප්‍රශ්නයයි. මේ නිසා කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ.දෙවියන්ට මෙන්ම මියගිය ඥාතීන්ට නිවසේ දී පින් දීමත් පින්දෙන්නෙ කොහොමද? නිවසේ පින්කමක් කරලා, නමුත් අප ආකාසට්ඨාච භුම්මට්ඨා කියූ පමණින්ම දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ . (ඔබ හඳුන් කූරක් ) හෝ පහනක් දල්වනවා මල් පුදනවා. ඒ තුනුරුවන් උදෙසා මේ අයුරින් බුද්ධ පූජාව තැබීමෙන් පසුව යි දෙවියන්ට පින් දෙන්නේ.

නැත්තම් බුද්ධ වන්දනාවක නිරත වනවා කිසිවක් හෝ පූජා නොකර, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වන්දනාවන් සිදු කරනවා. එම වන්දනාවෙන් ඔබට විශාල පිනක් ලැබෙනවා. එම පින්කමත් සමඟ දෙවියන් සම්බන්ධ වනවා. විශේෂයෙන් සම්‍යයක් දෘෂ්ටික දෙවිවරු ඔබත් සමඟ වන්දනාවට සම්බන්ධ වනවා. ඒ තුළින් තමයි පින් ලැබෙන්නේ. එම නිසා නිවසේදී දෙවියන්ට පින් දීම කළ යුතුද නැද්ද? යන්න ඔබට වැටහෙනවා ඇති. ඔබ දානය පිසින විටම දෙවියන් එහි කොටස්කරුවන් වී හමාරයි.අමුතුවෙන් ආකාසට්ඨාච භුම්මට්ඨා.. යනුවෙන් පින් දිය යුතුම නැහැ. නමුත් චාරිත්‍රයක් ලෙස අප එය සිදු කරනවා. ඔබට දීම හෙවත් දානය එමගින් පුරුදුවනවා.

අප බුද්ධ පූජාව තබන විට ඊට දිව ඔසු දිව්‍යමය සුගන්ධය මුසු කරලා දෙවියන් ඊට සම්බන්ධ වනවා. එමෙන් කොටස්කරුවන් බවට පත්වී පින්අනුමෝදන් කරන ඔබටත් ආශිර්වාද කරනවා. දෙවියන්ට දානය පිළියෙල කර පූජා කරන්නට බැහැ. එම නිසා ඔවුන් ඔබගේ දානයේ කොටස්කරුවන් බවට පත්වනවා.

අට පිරිකරක් පූජා කරන විට ඔබ එහි සිටින සියලු දෙනාටම අතගස්වනවා. ඒ අයට අටපිරිකරක් එම අවස්ථාවේ පූජා කිරීමට බැහැ. එම නිසා ඔවුන්වද එම පින්කමේ කොටස්කරුවන් බවට පත් කර ගන්නවා. ඔවුන් අත ගැසීමෙන් පින් ලබා ගන්නවා. දෙවියන්ටත් ඒ අයුරින් තමයි පින් ලබාගැනීමට හැකි වන්නේ. බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේදී දේශනා කරා, තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය කියලා

දෙවියනි ඔබ මිනිස් ප්‍රජාව කෙරෙහි මෛත්‍රී සිත් වැඩිය යුතුයි. දිවාච රත්තොච හරන්තියේ බලිං දිවා රෑ දෙකෙහිම ඒ අය පින්කම් කරනව. පින්කම් කරල ඔබ සැමට පින් ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරල දෙනව. පින් දෙනව එහි ඔබ සැම කොටස්කරුවන් බවට පත් වෙනව. ඊට බුදුරජාණන් වහන්සේගේ දේශනාව වනුයේ ‘තස්මාහිනේ රක්ඛත අප්පමත්තා ‘ අනිවාර්යෙන්ම මේ ජනතාව අප්‍රමාදයකින් තොරව ආරක්‍ෂා කළ යුතු වනවා.

එම නිසා දෙවියන්ටත් මිය ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට තම නිවස යොදා ගැනීමේ කිසිදු වරදක් නොමැති බව සැබෑ බෞද්ධයන් ලෙස අප වටහා ගත යුතුවනවා.

එසේම ඇතැම් අයට මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ මිය ගිය ඥාතීන්ට නිවසේදී පින්දීම තුළින් ඔවුන් නිවසේ රැදී සිටීද යන්නයි. මිය ගිය ඥාතියා පරදත්තූප ජීවි යන පේ‍්‍රත ආත්මයක සිටීනම් පමණයි. අප ලබා දෙන පින් ලබා ගන්නේ . එසේනම් පින් ලබා ගත් මොහොතේම එම පේ‍්‍රත ආත්මයෙන් මිදෙනවා. එසේ මිදුණූ වහාම තවත් ස්ථානයක් උප්පත්තිය ලබනවා. එසේ උප්පත්තිය ලැබූ තැනැත්තා අප නිවසේ රැදී සිටින්නේ කෙසේද? ලබාගත යුතු පිනෙහි ප්‍රමාණයක් නැහැ. ඒ පින් ලබා ගත් වහාම එම ස්ථානයෙන් අත් මිදෙනවා. එම නිසා තමයි අප ආහාර පාන වස්ත්‍ර ආදිය පූජා කරන්නෙ.

මෙසේ දානමය පින්කමකදී ආහාරපානවලට අමතරව අඩුම වශයෙන් කරඩු ලේන්සුවක් පිරිනැමීමෙන් හෝ වස්ත්‍රයක් පූජා කරනවා. එම නිසා මිය ගිය ඥාතීන් අඩුපාඩුවලින් මිදී පූර්ණ ආත්මයක් ලබා ගන්නවා. එම නිසා මිය ගිය ඥාතීන් යළි වෙනත් ආත්ම ලෙසින් නිවසේ රැදී සිටින්නේ නැහැ. ඔවුන්ගෙන් ඔබට කිසිදු හානියක්, කරදරයක් වන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පැහැදිලි දේශනාවක් කරා

තිලෝකුඩ්ඩේසු තිට්ඨන්ති
සන්ධි සිංගාච කේසුව
ද්වාර හා හාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකංගරං

ඔබේ මිය යන ඥාතිවර්ගයා නිවසේ දොරටු සමීපයේ එසේත් නැත්නම් කඩුල්ල සමීපයේ එසේත් නැත්නම් මාර්ගයේ දෙවට, තුන්මං හතරමං හන්ධි අසල එසේත් නැත්නම් නිතර දෙවේලේ ආ ගිය විහාරස්ථානයේ හෝ දොරටු සමීපයේ පින් අපේක්‍ෂාවෙන් බලා සිටින්නට පුළුවන්. එම නිසා අපේ පින්අනුමෝදන් කරගෙන චිරාත් කාලයක් සුජීවත් වෙත්වා කියලා ආශිර්වාද කරන්න පුළුවන්.

එමෙන්ම අපට මතුවන තවත් ගැටලුවක් වී අත්තේ ඇතැම් පිරිත් සූත්‍ර නිවසේ සජ්ඣායනා නොකළ යුතු බවයි. ඇතැම් අය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ ‘හාමුදුරුවනේ ගෙදර කරණීයමෙත්ත සූත්‍රය විතරයි නේද කියන්නෙ හොඳ කියල. කොතනද බුදුරජාණන් වහන්සේ ඒ වගෙ දේශනාවක් කරල තියෙන්නෙ. ‘ජලනන්දන පිරිත ගෙදර කියන්න හොඳ නෑ නේද? මේ අපේ බෞද්ධයන්ගෙ ප්‍රශ්න

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද කවර සූත්‍රයක් හෝ දේශනාවක් ඔබ මුල් කරගන්න. ඒ කිසිවකින් ඔබට අහිතක් වන්නේ නැහැ. එපමණක් නොවෙයි එමඟින් ඔබට ආරක්‍ෂාවක් සැලසෙනවා. ඔබට ආශිර්වාදය ලැබෙනවා.

එම නිසා ගෙදරක මෙන්න මේ පිරිත් පමණක් කිව යුතුයි.අහවල් පිරිත නොකිව යුතුයි. යන මිථ්‍යා මෙන්ම වැරැදි දැක්මක එල්ලෙන්න එපා. එය ඔබ ඔබට පමණක් නොව බුදු දහමටත් කරන නිගාවක් බව තේරුම්ගත යුතු වනවා. මෙවැනි වැරැදි මත සමාජයේ වපුරන්නේ බොරු මතයත් සමාජයට යොදා තමන් උසස් යැයි කියාගැනීමට උත්සාහ ගන්නා ඉතා සුළු පිරිසක්. තමන් උසස් හා දහම් හොඳින් දන්නවා බව හඟවන මෙවන් පිරිස් සමාජයට විෂම අදහස් එකතු කරනවා. ත්‍රිපිටකයට වගේම බුදුරජාණන් වහන්සේට පවා අපහාස කරනවා.එවැනි අය නොතැනක හෝ ස්ථානයක සිට ප්‍රසිද්ධ වී ජනතාව මුලා කරනවා.

ඒ වගේම ශිල්පය හරිහැටි නොදන්නා ඇතැම් ඡ්‍යොතිෂවේදීන් යැයි කියාගන්නා පිරිස්ද මෙසේ ජනතාව මුලා කරනවා. මේ පිරිසට අමතරව වයෝවෘද්ධභාවයට පත්ව මහණ දම් පුරන ඇතැම් භික්ෂූන් ජනතාවට මෙවන් මිථ්‍යා මත ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ වදාළ සියලුම සූත්‍ර අපට ආරක්‍ෂාව පිණිස හේතුවනවා. විශේෂයෙන්ම රතන සූත්‍රය, මහාමංගල සූත්‍රය මෙන්ම කරණීය සූත්‍රයද එක් කර තුන් සූත්‍රය ලෙස අප නම් කර ගෙන ඇත්තේ එහි ඇති වටිනාකම නිසයි.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]