UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝ සසුන් මෙහෙවරට උරදෙන ඉමදුව, ගණේගොඩ පුරාණ රාජ මහා විහාරය


ලෝ සසුන් මෙහෙවරට උරදෙන ඉමදුව, ගණේගොඩ පුරාණ රාජ මහා විහාරය

දකුණු සිරිලක බෞද්ධ ප්‍රබෝධය නංවාලීමෙහිලා අමිල මෙහෙවරක් ඉටුකරන ඉමදූව, ගණේගොඩ පුරාණ මහා විහාරය මූලගිරි විහාර සඟ පරපුරට අයත්ය. රමණීය කඳුමුදුනක් මත්තෙහි පිහිටා ඇති මේ විහාරස්ථානය සොබා දහමේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කරමින් සැදැහැති ජනයාගේ සිත්හි ප්‍රසාදය තීව්‍ර කරයි. ඉමදූව සිට දික්කුඹුර මාවත ඔස්සේ කිලෝමීටර තුනක් පමණ ගමන් කිරීමෙන් මේ පින්බිමට පිවිසිය හැකිය.

ගණේගොඩ පුරාණ විහාරයේ ආරම්භය වර්ෂ 1690 තරම් දිගු අතීතයක් දක්වා දිවයයි. එවකට ප්‍රදේශයේ සැදැහැති බොදු ජනතාවගේ අතිමහත් ගෞරවයට බඳුන් වූ බොහෝ අනුසස් ලබාදීමට සමත් බෝධින් වහන්සේ නමක් මේ ස්ථානයේ වැඩ සිටි අතර පසුව කෝදාගොඩ සීලවංශ නම් ස්වාමීන් වහන්සේ නමක මේ ස්ථානයේ වැඩ වාසය කරමින් බොහෝ දුෂ්කරතා මැද ගණේගොඩ විහාරස්ථානය ආරම්භ කර ඇත. ඒ බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ.

උන්වහන්සේගෙන් පසුව කෝදාගොඩ සිද්ධත්ථ, කටුකුරුන්දේ ධම්මරතන, මාකාවිට නන්දාරාම, කෝදාගොඩ උපතිස්ස හා බස්නාගොඩ විමලරතන යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ පිළිවෙළින් මෙම පින් බිමෙහි අධිපතිධුරය හොබවා ඇත්තාහ. උන්වහන්සේ බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා මහත් මෙහෙවරක් ඉටුකර ඇති බව ප්‍රකටය. ඒ අතර කෝදාගොඩ උපතිස්ස සහ බස්නාගොඩ විමලරතන යන හිමිවරු පිරිත් දෙසුම් පැවැත්වීමෙහිත් කලා නිර්මාණ ක්ෂේත්‍රයෙහිත් බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව සිටියහ.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින්ද යුත් ගණේගොඩ පුරාණ විහාරය මැනැවින් නිමවන ලද විහාරංගයන්ගෙන් සමන්විතය. පැරැණි චෛත්‍ය රාජයාණන් වහන්සේද මෑතදී ප්‍රතිසංස්කරණය කරවනු ලැබ ඇත.

විහාරස්ථානයේ වත්මන් අධිපතිධූරය හොබවන්නේ තල්පේපත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී අතුරලියේ දේවසිරි නාහිමියන්ය. අමිල ශාසනික, මෙහෙවරක් සිදුකළ උන්වහන්සේ දැනට 78 වැනි වියෙහි පසුවෙති. විහාරාධිකාරි දික්කුඹූර නවෝද්‍යා මහා විද්‍යාලයෙහි ආචාර්ය ශාස්ත්‍රවේදී හබරාදුව කෝලිත හිමියන් විසින් අතුරලියේ දේවසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේ සිදුකළ ලෝ සසුන් මෙහෙවර ඉදිරියට ගෙන යනු ලබයි.විහාරස්ථානය දියුණූ කරමින්ද ස්වකීය ගුරු හිමියන්ට ඇප උපස්ථාන කරමින්ද දායක පිරිස් සමඟ මනාසේ කටයුතු කරමින් ඔවුන් සදහම් මඟෙහි යොමු කරමින්ද හබරාදුව කෝලිත හිමියෝ මහත් මෙහෙවරක් සිදු කරති. ප්‍රදේශවාසී බොදු ජනතාවගේ සියලු ආගමික කටයුතු නොපිරිහෙළා ඉටුකරදෙන උන්වහන්සේ ගිහි, පැවිදි සියලු දෙනා අතර ගෞරවාදරයට පාත්‍රව සිටිති. එසේම විහාරස්ථාන ශ්‍රී ධම්මරතන දහම් පාසල මැනැවින් පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දූ දරුවන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දීමෙහිලා කටයුතු කිරීමද ඉතා ප්‍රශංසනීය වේ.

දිනෙන් දින දියුණුවට පත්වන ගණේගොඩ පුරාණ විහාරයේ අභිනව වාහල්කඩ නිරාවරණය කිරීමේ පුණ්‍ය කටයුත්ත පසුගියදා සිදුවිය. විහාරාධිපති අතුරලියේ දේවසිරි නාහිමියන්ට නිදුක් නිරෝගි සුවය හා චිරජීවනය පතමින් ද ලක්වැසි සියලු ජනතාවට සෙත් ප්‍රාර්ථනය කරමින් ද සුවිශේෂ පින්කම් මාලාවක්ද ඊට සමගාමීව පවත්වන්නට යෙදුණි.

 

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]