UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික පූජනීය අපේ උරුමය - අටමස්ථානය මහා බෝධිය යි - මහා ස්තූපය යි

මේ ලිපියේ මුල් කොටස ‘යටපත් යුගයක නටබුන් අතුරෙන් මතුවන අනුරාධපුර අටමස්ථානය’ යනුවෙන් පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝදා පළ විය.

ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට උතුරු දෙසින් හා ථූපාරාමයට දකුණු දෙසින් දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමු වන විශාල දාගැබ වශයෙන් සැලකෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.


රුවන්වැලි මහා සෑය

“කකුද” නම් වැව කෙළවර පිහිටවූ ටැම් ලිපියට අනුව ක්‍රි. පූ: 138 දී දුටුගැමුණු මහ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනඟන ලද බව සඳහන්ව ඇත. ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ මෙහි නිධන් කොට ඇති බැවින් මහා ස්තූපය නමින් හඳුන්වන අතර, එනිසාම රුවන්වැලි මහා සෑය සැදැහැවතුන් හැම කෙනෙකුගේම ගෞරවනීය පූජනීයත්වයට පාත්‍රව ඇත.

වංශ කතාවල සඳහන්ව ඇති පරිදි මෙම ස්තූපයේ අවශ්‍ය බර පැන සඳහා අනුරාධපුර අවට ජනතාව විසින් රන් රිදී මුතු මැණික් හා තඹ ලබාදුන් අතර, ශක්‍ර දේවේන්ද්‍රයා විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් සූදානම් කරදුන් බව පැවසේ. පසුකාලීන අභයගිරිය හා ජේතවනය වැනි විශාල ස්තූප ගොඩනැගුණ නමුදු “ රුවන්වැලි සෑය”, “ මහා සෑය,” “ මහා ථූපය” යන නම්වලින් සඳහන් කළේ ස්ථූප ගොඩනැගීමේදී පසුකාලීනව තරගකාරී බවක් ඇතිවී තිබූ බැවිනි. කිසිඳු ස්තූපයක මේ තරම් සර්වඥධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කොට නොමැති බැවින් අසමාන වූ ස්තූපයක් හැටියට “ මහා ථූපය” නමින් රුවන්වැලි මහා සෑය හඳුන්වනු ලබයි. පසුකාලීනව “ රත්නමාලි”, “ස්වර්ණමාලි” “හේමමාලි”, “රුවන්වැලිසෑ” යන නම්වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120 ක් උස් විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත්වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. ඉන්පසු ලඤ්ජිතිස්ස රජතුමා වේදිකාව මත හුණුගල් අතුරණ ලද අතර කල්ලාගරාජ රජු වේදිකාව වටා වැලි මළුව සෑදූ අතර භාතිකාභය රජු තෙමහල් පේසාවක් සාදවා මතුපිට බදාම තැවරූ අතර, මහාභාතික මහානාග රජු ඇත් පවුර පුළුල් කර වැලිමළුව සාදවා ඇත. මේ ආකාරයට රුවන්වැලි සෑය ගොඩනැඟීමේදී දුටුගැමුණු මහ රජතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන් පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බව සඳහන්ව ඇත.

වර්තමානයේ දක්නට ලැබෙන රුවන්වැලි මහා සෑය 1873 නාරංවිට සුමනසාර හිමියන් ප්‍රතිසංස්කරණය ආරම්භ කොට 1902 අගෝස්තු මාසයේ අනුරාධපුර රත්නමාලි චෛත්‍යය සංවර්ධන සමිතියට භාර කොට ඇත. වසර ගණනාවක ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු 1933 දෙසැම්බර් මාසයේ හතරැස් කොටුවේ ධාතු නිධන් කොට ඇත. 1940 ජුනි මාසයේ පොසොන් පොහොය දා කොත් පැළඳීම සිදු කෙරිණි. වර්තමානයේ ස්තූපය මුදුනේ දක්නට ලැබෙන චූඩාමාණික්‍ය බුරුම රටෙන් ලබාගන්නා ලද එකකි. 1970 දී සලපතල මළුවේ ඉතිරිව තිබූ නටබුන් අනුව සාදන ලද පරිවාර ස්තූ®ප හතරේ කොත් පළඳවන ලදී. ප්‍රතිසංස්කරණවලින් පසුව වර්තමානය වනවිට ස්තූපයේ උස අඩි 338 වන අතර පරිමාණය 942ක් වේ. රන් ආලේප කරන ලද කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යයේ උස අඩි 25 ක් පමණ වේ. අක්කර පහක ( 5 ) හතරැස් මළුව වටා පිහිටා ඇති මළුවේ එක් පැත්තක දිග අඩි 465 කි. පැරැණි ඇත් පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් තනා ඇති අතර පැරැණි ඇත් පවුරේ කොටසක් ද ඊට පෙර මළුවේ පැවැති කොටසක් ද, අලුත්වැඩියා නොකළ බස්නාහිර දෙසින් කොටසක්ද දක්නට ලැබේ. දුටුගැමුණු මහ රජතුමා සිහිවීමට කළ ස්මාරකයක් ලෙස හා ද්‍රෝණයක් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ නිධන් කොට තැනූ අනුස්මරණීය පූජනීය වස්තුවක් ලෙස මෙම ස්තූපය ඉතිහාසයට එක්වී ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

මහා විහාර භූමියේ පූජනීය ස්ථාන අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රුවන්වැලි සෑයට දකුණු දෙසින් පිහිටා ඇති අතර දෙවන පෑතිස්ස රජු දවස සංඝමිත්තා තෙරණිය විසින් දඹදිව බුදුරජාණන් වහන්සේ පිටදුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කළ බවට ඉතිහාසයේ වංශ කතාවල සඳහන්ව ඇත.

ඓතිහාසික ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රෝපණය කිරීමට දෙවන පෑතිස් රජු අඩි 21 ක් උසින් යුත් ගොඩැල්ලක් තනා ඇත. එහි දිග අඩි 71 ක් වූ අතර පළල අඩි 57 ක් තිබුණ බව සඳහන් වේ. මාලක කිහිපයකට බෙදන ලද මෙම ගොඩැල්ලේ පළමු මාලයේ ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලදී. බෝධි මළුව පිළිබඳව සඳහන් කිරීමේදී ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා පරිවාර බෝධීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. වන සතුන් බෝ මළුවට ඇතුළුවීම වැළැක්වීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ අත්ථදස්සී නම් හිමි නමකගේ මූලිකත්වයෙන් විශාල කළුගල් ප්‍රාකාරයක් කරන ලද්දක් බවත්, එය උසින් අඩි 10 ක් බවත් සඳහන් වේ. වර්තමානය වනවිට මෙම භූමිය තුළ තිබෙන යම් යම් ගොඩනැගිලිවල මුල්ම කාලයේ ස්වරූපය අද දක්නට නොලැබුණත්, ඊට වඩා දියුණු තත්වයෙන් මහජනයාගේ පහසුව සඳහා නොයෙක් ආකාරයේ අංගෝපාංග එකතු වී ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් තනා ඇති විහාර ගෙයි, පළමුවෙන්ම තනවා ඇත්තේ වසභ රජතුමාය. ඉන්පසු විවිධ වූ රජවරුන් යටතේ මෙම විහාර ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත. අනිමිස ලෝචන ප්‍රතිමාව නමින් හැඳින්වෙන ගලෙන් නෙලන ලද බුදු පිළිමයක් ඇත් දළ පවුරෙන් වටවූ මළුවේ දකුණු පසින් දක්නට ලැබේ. මෙයට අමතරව සත් සතිය නමින් තවත් කුඩා පිළිම ගෙවල් කිහිපයක් ද (වර්තමානයේ දක්නට නැත ) නාගයකු පිටට නෙරවපු කැටයම් කරන ලද නාග කුලුනද මළුවේ දක්නට ලැබේ. මේවා වර්තමානයේ සුළු වශයෙන් වෙනස් වීමට භාජනය වී ඇත.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මූලික කරගෙන විවිධ ආකාරයේ පුද පූජා, චාරිත්‍ර විධි වර්තමානයේදීත් එපරිදිම පවත්වනු ලැබේ. ප්‍රධාන වශයෙන්ම බෝධීන් වහන්සේ මූලික කරගෙන උත්සව අවස්ථා හතරක් පවත්වනු ලැබේ.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය ජනවාරි මස 04 වැනි දා සිකුරාදා අපරභාග 09.54 ට ලබයි. 05 වැනි දා සෙනසුරාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජනවාරි මස 11 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]