UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චුති සිත බලපාන්නේ කෙසේද?

චුති සිත බලපාන්නේ කෙසේද?

මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී

පෙර ලිපියෙන් පෙර භවයන්හි ගති සිරිත් පුනරුප්පත්තියේදී බලපාන අයුරු බෞද්ධ මූලාශ්‍ර ඔස්සේ සාකච්ඡා කළෙමු.

අද ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ පුනර්භවය සඳහා චුතිසිතෙහි බලපෑම සම්බන්ධවයි.

පුනර්භවය සඳහා මරණාසන්න සිතිවිල්ල බලවත් වේද?

මෙහි පළමු පියවර වශයෙන් “මරණය” යනු කුමක්දැයි වටහා ගැනීම වැදගත්වේ. මරණය පිළිබඳව ධර්මයේ විස්තර වන්නේ අපගේ බාහිර කයෙන් ආයුෂය උෂ්ණය හා විඤ්ඤාණය වෙන්ව යෑමයි.

“ආයුස්මාච විඤ්ඤාණං” මේවා ශරීරයෙන් වෙන්ව යෑමත් සමග ම මරණය නමැති ධර්මතාවයට මුහුණ දීමට සිදුවේ. මෙය සිදුවිය හැකි ආකාර හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

1. ආයුක්ඛය මරණය – ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන මරණය

2. කම්මක්ඛය මරණය - ගෙන ආ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෙවත් කර්මය බලපෑම මත සිදුවන මරණය.

3. උභයක්ඛය මරණය - කර්ම ශක්තියත් ආයුෂත් යන දෙකම සිදුවීමෙන් ඇතිවන මරණය

4. උපච්ඡේදක මරණය (අකාල මරණය) ආයුෂයත් කර්මයත් යන දෙකම තිබියදී සිදුවන හදිසි මරණය

වෛද්‍ය විද්‍යාවේදී මිනිසෙකු ගේ මරණය සිදුවීමට බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වේ. එනම්

1. සිහිය නැතිවීම
2. ශ්වසනය නැතිවීම
3. හෘද ස්පන්ධනය නැවතීම
4. මොළයේ විද්‍යුත් කම්පනයන් නැවතීම

මේ සියල්ල එකතු වූ තැන මරණය සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී අපට වැදගත් වන්නේ පුද්ගල මරණයෙන් පසුව භෞතික ශරීරය හැර යන විඤ්ඥාණය පිළිබඳවය. නැවත උපතක් ලබාදීමේදී බලපාන්නේ මෙම විඤ්ඤාණයයි. තිබ්බතයේ පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී අවස්ථා හතරක් පසු කරන බව සඳහන් වේ.

1. මරණයට ලක් වූ තැනැත්තාගේ ශරීරය පළමුව ඉහිල් වේ. එහි ශක්තිමත් ස්වභාවය නැතිවේ. ශරීරයට ස්පර්ශය දැනීම අඩුවේ.
2.ඊට පසුව තෙත් ගතියක්ද සිහිල් ගතියක්ද ශරීරයට දැනේ.
3.ඊට පසුව උණගැණුනාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනේ.
4.අවසානයේ තමාගේ මුළු ශරීරයම විසිරී යන්නාක් මෙන් දැනේ.

මීට අමතරව මුහුණේ මාංශ පේශින් පාලනය කැරගත නොහැකිවීම, කියා ගන්නට උත්සාහ කරන දේ කියාගන්නට නොහැකිවීම, කණ්ඇසීම නැතුව යෑම, දෑස් නොපෙනී යෑම, ඉන බරට අමාරුවෙන් හුස්ම වැටීම යන ශාරීරික විපර්යාසයන් ඇතිවේ.

මෙසේ වූ විට පුද්ගලයා මරණාසන්න මොහතට පත්වේ. එය ධර්මයේ හඳුන්වන්නේ “චුති චිත්තය” යන නමිනි. මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහළ වන්නේ මෙම චුති සිතිවිල්ලයි. ඊළඟ භවය තීරණ වන්නේ මේ චුති සිතිවිල්ලේ බලවත්භාවය අනුවය. මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී.

ඔහු මිනිස් ලොව ඉපදීමට සිටී නම් නිමිත්ත මවක ගේ ගැබ හෝ තොටිල්ලකි. දිව්‍යමය යාන වාහන සයනාසන කල්පවෘක්ෂ ආදී සුන්දර වස්තුන් දකින්නා දෙව්ලොව ඉපදේ. ‘තත්ථ නිරයේ උපත්ථ හන්තෙ ලොභ කුම්බී සදිසො හුත්වා උපට්ඨාති මනුස්ස ලොකෙ උපට්ඨංකෙ මාතු කුච්ජි හුත්වා උපට්ඨාති දෙවලොකෙ උපට්ඨකෙ කප්ප රුක්ඛා විමානංසයනාදී උපට්ඨංති’

මෙසේ පුද්ගලයෙකුගේ දෙවන භවය තීරණය කරන ස්ථානයන්ට අදාළ ආලෝක සංඥාද ඇත. එනම්

දෙව්ලොව ඉපදීමට නියමිත සත්ත්වයෝ සුදු පැහැති ආලෝකයක් දකිති. අසුර ලොව ඉපදීමට නියමිත සතත්වයෝ අප්‍රසන්න අඳුරු කොල පැහැති ආලෝකයක් දකිති.

මිනිස් ලොව ඉපදීමට නියමිත සත්වයො කහ පැහැති ආලෝක යක් දකිති.

තිරිසන්ලොව ඉපදීමට නියමිත සත්වයෝ නිල්පැහැති ආලෝක යක් දකිති.

පේ‍්‍රත ලොව ඉපදීමට නියමිත සත්වයෝ රතු පැහැති ආලෝකයක් දකිති.

නිරයේ ඉපදීමට නියමිත සත්වයෝ දම් පැහැති ආලෝකයක් දකිති.

මේ කවර ආකාරයක උප්පත්තියක් වුවද, ලබාදීම සඳහා චුති සිත බලපායි. යමෙක් ජීවිතයේ විශාල කුසල කර්ම කැර තිබුණාද චුති සිත සඳහා ඔහු කළ සුළු අකුසල කර්මයක් වුවද බලපෑ හැකිය. මේ සඳහා බෞද්ධ සාහිත්‍යයේ එන කෝසල මල්ලිකාවගේ හා ධර්මාශෝක රජතුමාගේ කතාවන් ගත හැකිය.

මේ දෙදෙනාම චුති සිතිවිල්ල සඳහා බලපෑ අකුසල කර්මය බලවත් වීම මත ඉතා කෙටිකලක් දුගතියේ ඉපදී ඇත.

වසර පනහක් රජුගේ වධකයා ලෙස සේවය කළ එක් පුරුෂයෙක් එයින් මිදී නිවසට පැමිණ ආහාර ගන්නා අවස්ථාවේ නිවසට පැමිණි මහ රහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කැර චුති සිතිවිල්ලේදී එම පින සිහිවීම නිසා ඔහු දෙව්ලොව ඉපදී ඇත.

මෙයද චුති සිතිවිල්ලේ බලවත් බව පෙන්වීමට උදාහරණයකි. මරණය ආසන්නයේදී මනසට හසු වන්නේ එහි මතකයේ ඇති කාරණාවකි. කරන ලද කර්මයක සටහන මතකයේ තිබිය හැකිය. නැතහොත් විපාකය වශයෙන් මනෝද්වාරයට ගොදුරුවූ උපදින ස්ථානය පිළිබඳ සටහනක් මතකයේ තිබිය හැකිය.නොඑසේ නම් කරන ලද කර්මයට මනසට ස්පර්ශවීමට පුළුවන. මෙය චුති චිත්තය වන අතර කර්ම නිමිති, ගති නිමිති හා කර්ම යන මේ තුන් ආකාරයේ බලපෑම් නිසා උප්පත්ති සිත හෙවත් පුනරුප්පත්තිය සිදුවේ.

සාකච්ඡා කෙළේ: බණ්ඩාර පිලවල

 

උඳුවප් මස පුර පසළොස්වක පෝය

උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]