UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුපසන් සංස්කෘතියක සමාරම්භය

අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් හා මොග්ගලීපුත්තතිස්ස තෙරුන් ගේ උපදේශකත්වයෙන් දියත් කරනු ලැබූූ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළෙහි එක් ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රි.පූ.තෙවැනි සියවසේදී මහින්ද හිමි ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කළහ.

එවකට ලක්දිව අනුරාධපුර පාලක වූ දේවානම්පිය තිස්ස රජු (ක්‍රි.පූ. 250 – 219) මුණ ගැසීමත් රජු ඇතුළු පිරිසට දහම් දෙසීමෙන් අනතුරුව එම පිරිස ප්‍රථමයෙන් බුදුදහම වැළැඳ ගැනීමත් නිසා අනෙකුත් රාජකීය පිරිස් මෙන්ම මහජනතාව වෙතද බෞද්ධාගම නිසි පරිදි ව්‍යාප්ත විය. කෙටි කලක් තුළදී බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීම හේතුවෙන් බුදුදහම පදනම් කරගත් බෞද්ධ සංස්කෘතියක් මෙරට ස්ථාපිත විය. ‘මහින්දාගමනයෙන් ශ්‍රී ලංකාවට බුද්ධාගම පමණක් නොව එවකට පැවැති මෞර්ය සංස්කෘතියම හිමිවිය ‘ යන වල්පොළ රාහුල හිමියන්ගේ ප්‍රකාශයට පදනම්ව ඇත්තේද මහින්දාගමනයෙන් ඇති කළ මෙම සංස්කෘතික පසුබිම බව පැහැදිලිය.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කොට කෙටි කලක් තුළ බුදුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කරලීම පිණිස ස්ථූප නිර්මාණයකරමින් බෞද්ධ පූජා වස්තුන් ගොඩනැඟීමේ කාර්යය අරඹනු ලැබිණි. මෙතෙක් කලක් මෙරට සමාජගතව පැවැති මළවුන් පිදීම වැනි අංග සඳහා නව අර්ථකථනයක් ස්ථූප නිර්මාණය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබා දුනි. එය බෞද්ධාගම ජනතාව අතරට ගෙනයාමේ මුල් පියවරක් සේ සැලකිය හැකිය.

මානුෂිකත්වය පෙරදැරි කරගෙන, රජමැදුරේ සිට දුගී පැල දක්වා සැමට එක ලෙසින් බෞද්ධාගමේ පණිවිඩය ගෙනයෑමත් ඒ සඳහා කාන්තා පාර්ශවයේ දායකත්වය වඩාත් ඵලදායක ලෙස ලබාගැනීමත් සඳහා මිහිඳු හිමියන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ සංඝමිත්තාවගේ ලංකාගමනය ද අතිශයින්ම වැදගත් විය. මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කොට පවත්වනු ලැබූ ධර්මදේශනා ශ්‍රවණය කිරීම නිසා බෞද්ධාගම පිළිබඳ අවබෝධයක් ලත් ගිහි පිරිස් ශාසනය තුළ පැවිදිවීමට කැමැත්ත පළ කළහ. භික්ෂූ ශාසනයක් පැවැති හෙයින් පුරුෂ පක්ෂයට ඒ සඳහා පහසුවක් ලැබුණා වුවද කාන්තා පක්ෂයට මීට අවස්ථාවක් මුල් අවධියේ නොවීය. එනිසා අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් පන්සියයක් පමණ පැවිද්ද අපේක්ෂාවෙන් කළ ඉල්ලීමට අනුව භික්ෂුණී ශාසනයක් මෙරට පිහිටුවීමේ අවශ්‍යතාව මතුවිය. ඒ අනුව, මිහිඳු හිමියන්ගේ උපදේශකත්වයෙන් හා දේවානම්පිය තිස්ස රජුගේ අනුග්‍රාහකත්වය මත සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කරවා ගැනීමේ අභිලාෂයෙන් අරිට්ඨ ඇමැති ප්‍රමුඛ ශ්‍රී ලාංකේය දූත පිරිසක් අශෝක අධිරාජයා වෙත යවනු ලැබිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් පිරිසක් ලංකාවට වැඩම කළහ.

ශ්‍රී ලාංකේය කාන්තාවගේ විමුක්තිය පතා සිදු කළ සංඝමිත්තාවගේ ලංකාගමනය මෙරට ඉතිහාසයේ එක් සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරන්නක් වේ. සංඝමිත්තාවගේ ලංකාගමන වනාහි අප රටේ කාන්තාවනට නිවන් දොර විවර කරදීමට මං හෙළි කළා පමණක් නොව ඔවුන්ගේ සමාජ හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඉවහල් වූ සිදුවීමක් ලෙසින්ද ඉතිහාසගතය. අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව දැනුමෙන් හා ආත්ම විශ්වාසයෙන්ද පිරිපුන් කාන්තා සමාජයක් මෙරට බිහිවීම කෙරෙහි සංඝමිත්තා මෙහෙණිය ඇතුළු භික්ෂුණීන්ගේ නායකත්වයෙන් දියත් කළ ශාසනික ක්‍රියාදාමය සුවිශේෂිතව වැදගත් විය.මේ නිසා පුරාතන ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ විරෝදාර කාන්තාවන් ලෙසින් සිහිපත් කෙරෙන විහාරමහාදේවි හා සෝමාදේවි වැනි ජාතිමාමකත්වයෙන් හා සැදැහැයෙන් පිරිපුන් තැනැත්තියන් දේශයට බිහිවීමට මං පෑදිනි.

දඹදිව බුද්ධගයාවේ මහාබෝධියෙන් ලබාගත් දක්ෂිණ ශාඛාවක්ද එයට අභිචාරවිධී පැවැත්වීම පිණිස දහඅටකුලීන පිරිසක් සමඟ කණ්ඩායමක් ද සඟමිත් තෙරණිය සමඟ ලංකාවට එවනු ලැබීම දේශීය සමාජය බෞද්ධ සංස්කෘතියක් මත තවදුරටත් ගොඩනැඟීමට මහත් රුකුලක් විය.

වැඩමවනු ලැබූ මහාබෝධි ශාඛාව අනුරාධපුරයේ මහා මේඝ වනෝද්‍යානයේ රෝපණය කළ අතර එම මහා උත්සවය තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ පිරිස්, කාජරග්‍රාමයේ හා චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රිය පිරිස් වැනි උතුර, දකුණූ ප්‍රදේශ වැසි ප්‍රභූ කණ්ඩායම් රැසකගෙන් හා දිවයින් වැසි බොහෝ ජනයාගේ සහභාගිත්වයෙන් සිදු කොට ඇත.

මහාබෝධි ශාඛාවෙන් හටගත් ප්‍රථම බෝධි අංකුර ලංකාවේ උතුර, දකුණ ඇතුළු අනෙක් ප්‍රදේශවල රෝපණය කිරීම පිණිස කටයුතු යෙදීම බෞද්ධ සංස්කෘතියක් යටතේ එක්සේසත් වූ ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම පිණිස තැබූ මුල් පියවරක් ලෙසින් හැඳින්විය හැකිය. බෝවත්තේගල කොට්ටදැමූහෙළ වැනි දක්ෂිණ ලංකාවේ පිහිටි ක්‍රිස්තු පූර්ව තෙවැනි, දෙවැනි සියවස්වලට අයත් ශිලාලේඛන ඇසුරෙන් හෙළිවන ආකාරයට හා ධාතුවංසය පෙන්වා දෙන ආකාරයට ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට පෙර අවධියේ ලංකාවේ දකුණ හා නැගෙනහිර ප්‍රදේශ ක්ෂත්‍රිය පිරිසකගේ නායකත්වය යටතේ පාලනය වූ බව පැහැදිලි වේ.

පෙරියපුළියන්කුළම ලෙන් ලිපි දක්වන ආකාරයට අනුරාධපුරයෙන් උතුරු ප්‍රදේශය ද ස්වාධීන ප්‍රාදේශීය පාලකයන් යටතේ පැවැති බව සනාථවේ. එමෙන්ම අනුරාධපුරයට උතුරින් තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමය පිහිටා තිබෙන්නට ඇති අතර ඔවුන් ද එම අවධියේ ඒ කලාපය තුළ දේශපාලන හා සමාජමය බලයක් හිමිකරගත් පිරිසක් සේ හඳුනාගත හැකිවේ. එවැනි දේශපාලන හා සමාජමය බලයක් හිමිකරගෙන සිටි පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව රාජ්‍ය පාලකයා විසින් මහා බෝධිය මහාමෙවුනාවේ රෝපණය කරනු ලැබීම සහ ඉන් හටගත් අෂ්ටඵලයන් ඒ ඒ ප්‍රදේශ වෙත රෝපණය කිරීම පිණිස ලබාදීම එම ප්‍රදේශ අතර සංස්කෘතිකමය හා දේශපාලන සම්බන්ධතා වර්ධනයවීම කෙරෙහි ඍජුව හා වක්‍රාකාරයෙන් බලපා ඇත. එමෙන්ම පසුව හටගත් දෙතිස් ඵලයන් ද අනෙකුත් ප්‍රදේශ අතර බෙදා හැරීම පිණිස කටයුතු යෙදීම මඟින් බෝධිය වනාහි සාමයේ හා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙසින්, එක්සේසත් වූ දේශයක් ගොඩනැගීමට පදනම සකස් කළ බවක් පෙනේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී දේශපාලනික වශයෙන් එක්සත් බවක් ඇති කිරීමෙහිලා කටයුතු කළ දුටුගැමුණූ රජුගේ ක්‍රියාදාමය සාර්ථකවීම කෙරෙහි දේවානම්පියතිස්ස රජු විසින් ඇති කරන ලද මෙම සංස්කෘතික හා දේශපාලන පසුබිම මහත් ශක්තියක් වූ බව පැහැදිලිය.

එමෙන්ම මහාබෝධිය වැඩම කිරීමත් සමඟ විවිධ කුල හා ශිල්පීය කණ්ඩායම් නියෝජනය කළ කාර්මික පිරිස් ද ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට සංස්කෘතියේ නොයෙක් අංශයන්හි අභිවෘද්ධියක් ඇතිවීම කෙරෙහි ඍජුවම බලපෑවේය. වංසකථාව මෙන්ම අට්ඨකථාව ද සඳහන් කරන පරිදි මහාබෝධියේ කටයුතු මෙන්ම මහාබෝධියේ ආරක්ෂාව පිණිසද දහඅට කුලයක පිරිසක් මෙරටට එවා ඇත. මහාබෝධිවංශය දක්වන ආකාරයට සිත්තරුන්,භාණ්ඩ නිෂ්පාදනය කළපිරිස්, විවිධ තේවා කටයුතුවල නිරත වූ වාද්‍ය හා නර්තන ආදි නොයෙක් වෘත්තීන් පිළිබඳ ප්‍රාගුණ්‍යයක් ලබා සිටි පිරිස් මෙරටට පැමිණි ශිල්පීය කණ්ඩායම් අතර විය.

එම ශිල්පීය සබඳතාව ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයන්හි දියුණුවට මඟ හෙළි කිරීමක් වූ අතර එම දැනුම ද පදනම් කරගනිමින් මෙරටට ආවේණික වූ නව සංස්කෘතික හා නිර්මාණශීලි රටාවක් ගොඩනගා ගැනීමට තව අතකින් බලපෑමක් වූ බව ද කිව හැකි වේ. එසේම බෝධි සංස්කෘතියෙන් ඇති කළ බලපෑම සමාජ ආකල්ප, සිරිත් විරිත් හා උත්සව සම්ප්‍රදායන්හි වෙනස්වීම් රැසක් ඇතිවීම කෙරෙහිද ඍජුව බලපා තිබේ.

කෘෂිකාර්මික සමාජයක ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාවට වර්ෂාව මහත් ආශිර්වාදයකි. මහාබෝධියට නිසි පරිදි පුදපූජා පැවැත්වීම නිසි කලට වැසි ලැබීමට හේතුවක් බව සැලකු හෙයින් අතීතයේ සිට ඒ හා බැදුණූ චාරිත්‍ර හා උත්සව රැසක් පවත්වන ලදී.ඒ අනුව ජනතාවගේ සහභාගිත්වය ඇතිව පවත්වන උත්සව රැසක් බෝධිය මුල් කොට ගෙන දේශීය සංස්කෘතියට එකතු විය.එම ආගමික උත්සව අතර ස්නාන පූජාව පුරාතනයේ සිට අද දක්වාම පැවැතෙන පූජා චාරිත්‍රයෙකි. අශෝක අධිරාජයා රන් හා රිදියෙන් කළ ස්නාන භාණ්ඩ මෙන්ම සතර කුලයන්ට අයත් කන්‍යාවන්ද ඉන්දියාවෙන් මහාබෝධියේ ස්නාන කටයුතු පිණිස ශ්‍රී ලංකාවට එවා ඇත. භාතිකාභය සහ ධාතුසෙන් වැනි රජුන් දවස පැවැත් වූ මහා ස්නාන පූජා ගැන තොරතුරු වංසකථාවන්හි අන්තර්ගතය. නවවැනි සියවසට අයත් කලත්තැව සෙල් ලිපියේ ස්නාන පූජාව පැවැත් වූ භික්ෂුණීන් උදෙසා ගිතෙල්ගමුව ග්‍රාමය ලබාදී ඇති බව කියැවේ. එමෙන්ම සිවුවැනි මහින්ද රජුගේ මිහින්තලා ලිපිය දක්වන ආකාරයට මහාබෝධිය වෙත කළ තවත් මංගල්‍ය උත්සව දෙකක් ගැන තොරතුරු ඇත.

එනම් රුවන් අසුන් බෝ මඟුල හා සොම්නස් මහබෝ මඟුªල යනුවෙනි. එමෙන්ම බෝධිය පදනම් කරගත් සාහිත්‍යයක් ද දේශීය සාහිත්‍යකරණයට එකතුවීමත් බෝධිඝරය වැනි වාස්තු විද්‍යාත්මක වටිනාකමක් ඇති අංගමෙරට සංස්කෘතිකාංග අතරට එක්වීමත් දේශීය අනන්‍යතාව ඉස්මතු කරලීමට දායක වී ඇත.

දේශපාලන නායකත්වය කෙරෙහි ද බලපෑමක් කිරීමට මහාබෝධිය සමත්ව ඇති බැවින් රාජකීය පූජ්‍ය වස්තුවක් ලෙසින් මහාබෝධිය පුරාතනයේ සිටම පාලකයන්ගේ ගෞරවාදරයට ලක්විය. වංසත්ථප්පකාසීනිය දක්වන ආකාරයට රජුගේ අභිෂේක උත්සවය සඳහා යොදාගත් මැටි භාණ්ඩ නිපදවීම පිණිස පස් ලබාගත යුතු එක් ස්ථානයක් ලෙසින්ද මහාබෝධියේ උතුරු පියගැට පෙළ සඳහන්ව ඇත. ඒ අනුව, මහාබෝධියට දේශපාලන පසුබිම තුළ හිමිව තිබූ ස්ථානය කුමක්ද යන්න වටහා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩ වංසකථා සම්ප්‍රදායට අනුව අනුරාධපුරයෙන් ආරම්භව මහනුවරින් අවසන් වු රාජවංශාවලියේ බොහෝ පාලකයන්ගේ ගරුත්වයට මෙන්ම පුජෝපහාරයට මහා බෝධිය පත්ව තිබේ. එබැවින් මහාබෝධිය හා බෝධි සංස්කෘතිය ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපීපෙනෙන වෙනස්වීම් රැසකට දායකත්වය ලබාදෙමින් දේශීය සංස්කෘතිය හැඩගැස්ම කෙරෙහි බලපෑමක් කළ බව පැහැදිලිය.

 

උඳුවප් මස පුර පසළොස්වක පෝය

උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]