UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නරමානේ බුද්ධරක්ඛිත නා හිමි

නරමානේ බුද්ධරක්ඛිත නා හිමි

අද සමාජයේ මිනිසාට දිවිමගේ ජයග්‍රාහී ශතකය වෙතට හෝ ඒ ආසන්නයට පැමිණීම දුර්ලභය.තම දිවි මගේ ශතකය සපිරීමට තවත් දශකයකට මෙපිට අනූවස් සපුරා දීර්ඝායු වින්දනය කරන නරමානේ බුද්ධරක්ඛිත මා හිමිපාණන් වහන්සේ මහා යතිවර චරිතාපදානයක උදාරතර ලකුණකි.

නරමානේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ මේ නොවැම්බර් මස 19 වැනි දාට 89 වැනි වියට එළඹෙති.

ප්‍රසන්න චිත්‍රයක් මවන උන්වහන්සේ තුළ පවතින්නේ ඉතා සන්සුන් වූ දැහැමි ගති ලක්‍ෂණයන් බව ඇසුරට පත් කවුරුත් හොඳින් හඳුනති. කරුණා, මෛත්‍රී සිත් ඇති මුදිතාවෙන් සමාජය දෙස බලන, සියලු දේ පිළිබඳ උපේක්‍ෂා සහගත සිත් ඇති උන්වහන්සේ දැන හඳුනා ගැනීමට ලැබීමද භාග්‍යයක් යැයි සිතමි.

නරමානේ බුද්ධරක්ඛිත මා හිමියන් උපත ලබන්නේ 1924 - නොවැ 19 වැනිදා වයඹ පළාතේ මාහෝ ආශි‍්‍රත වියලි කලාප ලක්‍ෂණ සහිත විලව නම් පිටිසර බද දුෂ්කර ග්‍රාමයේය. නරමාන පියාගේ ගම වුවුද උන්වහන්සේ උපන්නේ මවගේ ගමේ දීය. මෙම සිඟිති දරුවා උස් මහත් වන්නේ අපරිමිත සෙනෙහසක උල්පත වූ මව් සෙනෙහස නොලබමිනි. මව මිය ගිය අඳුරු කුටුම්භයක පියාද වැඩිමහල් සහෝදරියන් දෙදෙනකුගේ සුරතල් මල්ලී කුඩා කල පාසල් ගියේ බලල්ලේ ගෑණු ඉස්කෝලයටය. බලල්ල ගම විලවට ආසන්න ග්‍රාමයකි. ලන්දේදෙනියේ, වැව් පිටියේ දුව පැන ඇවිදිමින් ජීවිතය අහුලාගත් මේ දරුවා පාසලේ හඳුනාගෙන සිටියේ දඟකාරයෙකු ලෙසය.

පෙර සසරේ සිට රැගෙන ආ සුවිශේෂී ගුණයක් නිසාදෝ මේ දරුවාට වරක් කියවූ කවියක් වාක්‍යයක් හොඳින් මතකයට ග්‍රහණය වුණි. ගුරුවරයා කියා දුන්, පාඩම ඔහුට හොඳින් ස්මරණය කර ගැනීමේ හැකියාව තිබුණි. තුන්වැනි පන්තියේ පාඩම් පොත දෙකේ පන්තියේදී කියවා මතක තබා ගැනීමේ විශේෂ හැකියාවක් මේ දරුවා සතුවිය. ඉතින් පන්තියේදී කාල පරාසයේ අතිරික්තය පිරවීමට ඔහු කරන්නේ යාළුවන් සමඟ උසුළු විසුළු දඟ වැඩ කරමින් කාලය ගත කිරීමය. බොහෝ ගුරුවරු මෙම දරවාගේ දක්‍ෂතාවයන් හඳුනාගෙන නොතිබුණද දඟකාරකම නම් හොඳින් දැක තිබුණි. දිඹුල්ගිරි රජ මහා විහාරය පිහිටා ඇත්තේ ගමට ආසන්නයේ සහ පාසලට සමීපයේ නිසා උදේට පාසල් යන ඔහු සවස් කාලය වැඩිපුර ගත කරන්නේ මෙම පන්සලෙහිය. රජමහා විහාරයේ නායක හාමුදුරුවන් අධිකරණ සංඝනායක බලල්ලේ ශ්‍රී සෝභිත නා හිමියන්ය. නායක හාමුදුරුවන්ගේ වැඩිමහල් සහෝදරයාගේ දුව දරුවාගේ මව නිසා එතෙන ඥාති සම්බන්ධතාවයක්ද විය.

රඹුකේවෙල ශීලානන්ද හාමුදුරුවන් බලල්ලේ නායක හාමුදුරුවන්ව සැලකුවේ තමාගේ ගුරු හාමුදුරුවන් වශයෙනි. ශ්‍රීලානන්ද හිමියන්ගේ දැඩි අපේක්‍ෂාව වූයේ ශ්‍රී සෝභිත ලොකු හාමුදුරුවන්ට ගෞරවයක් ලෙස උන්වහන්සේගේ ඥාති සම්බන්ධතාවයක් ඇති දරුවකු මහණකර ගැනීමය. මේ ප්‍රශ්නයට කදිම උත්තරය මේ කුඩා පුතණුවන් බව ශීලානන්ද හාමුදුරුවන්ට හැඟුණි.

නිබඳවම පන්සල ආශ්‍රයේ ගත කළද මේ දඟකාරයා මහණවීමට නම් කිසි කැමැත්තක් දැක්වූයේ නැත. වසර 13 දී පමණ මේ පුංචි සිතට දැනුණේ මහණ දම් පිරීම ඉතා අපහසු කටයුත්තක් බවයි.එය ඒ තරමටම අපහසු බව දැනුණු නිසා මේ පුංචි සිතට සිතුනේ මහණදම් පිරීම හරියට කරන්න බැරිනම් මහණ නොවී ඉන්න එක හොඳ බවය. මහණ කිරීමට යෝජනාව පැමිණි වේලාවේද දරුවා සිතුවේ එලෙසමය. දෙවරක්ම රැගෙන ආ යෝජනාවට එරෙහි වූ දරුවා දෙවරක්ම නිවසින් පැන ගියේය.

දවසක් පාසල් ගිය වේලාවක පාසලට පැමිණි පියා පන්සලේ උත්සවයක් තිබෙන බව පවසා දරුවාද කැටිව පන්සලට ගියේය. පොත් ටිකවත් රැගෙන යන්නට ඉඩක් නොලැබුණු නිසා පොත් මිටියද පාසලේ මේස ලාච්චුවේ තනි විය. ඇත්තෙන්ම පියා කියූ දෙය නිවැරැදිය. එදා පන්සලේ ලොකු උත්සවයකි. මීට වසර 76 කට පමණ පෙර මතකය අවධි කරමින් නරමානේ බුද්ධරක්ඛිත හිමියන් පවසන්නේ මෙසේය.

ඉස්කෝලේ ඇඳුම් පිටින්ම උත්සවය බලන්න ආපු මාව බලල්ලේ ලොකු හාමුදුරුවන්. බලෙන් වගේ මහණ කළා. එතැන් පටන් මා නරමානේ බුද්ධ රක්ඛිත නම් වුණා ‘ “මේ ආරංචිය ලද පාසලේ පංතියේ යාළුවන් ඇවිත් පන්සල වටකරගෙන කලබැගෑනියක් කළා. ඒ වෙනකොට මෙසේ පිවිතුරු චීවරයට ජීවිතය පූජාකළේ 1939 ජුනි 07 වැනිදාය. මා ගිහි ඇඳුමෙන් සමුගෙන අවසන්. අන්තිමේ දී යාළුවන් සියල්ල කඳුළු සලමින් හඬන්නට වුණා. හයක් හතරක් නොදත් මා ද ඔවුන් සමඟම එකතු වී හැඬුවා.

කඳුළු වියලෙන්නටත් ඉඩක් නොතබමින් නරමානේ පුංචි හාමුදුරුවන් මාහෝවලට රැගෙන විත් එතැනින් පානදුර ගඟුලේ සිරි පරම විසුද්ධාරාමයට වෙතට ගෙන යයි. දුම්රිය ගමන පුංචි සිත්වලට ඉතා සොඳුරු අත්දැකීමකි. ජීවිතයේ ප්‍රථම දුම්රිය ගමන සදා මතකයේ රැඳෙන චමත්කාර ජනක චාරිකාවකි. ගහකොළ මහා තැනිබිම් කෙත්වතු, මෙන්ම සිඟිති ගතට, සිතට නිබඳ සිසිල දුන් උපන් ගෙයි සැනෙන් ඈත් කළ මේ වියෝවීමේ දුක්ඛිත දුම්රිය ගමන සිදුවන්නේ සිඟිති දෑසින් ගලා ගිය කදුළුත් සමඟය. දුර ගමනකින් පසු පානදුරයේ පරම විසුද්ධාරාමයට පැමිණෙන විටත් දෑසේ කඳුළු කාටත් හොරෙන් ගලා ගෙන එයි. එය දන්නේ කුඩා චීවරයේ සිවුරු පොට පමණි. චීවරය බලහත්කාරයෙන් ඇන්ද වුණද එම ශෝචනීය දෛවය ගමන් මඟ යථාවාදී ජීවිතය පසක් කර දුන් දුක්ඛිත ජීවිතයක සැනසීම උදාකර දුන් පෙර සසරේ පුරුදු කර පින් බල මහිමයක ප්‍රතිඵලයක් නිසා ඇතිවු මහා කුසල් බලයක් බව ආපහු හැරී බලනවිට අද සිතා ගැනීමට පුළුවන.

මෙසේ රඹුකන ශීලානන්ද නායක හාමුදුරුවන්ගේ සෙවණේ වැඩෙන නරමාන බුද්ධ රක්ඛිත අපේ හාමුදුරුවන් වසර 22 ක් පමණ වන තුරු මුදල් අතින්වත් අල්ලා නොමැත. ඒ තාක් දන් වැළඳුවේ පාත්‍රයෙනි. ගුරු භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ගෝලයකුගෙන් සිදු විය යුතු යුතුකම් සියල්ල නිසිලෙස ඉටු කළේය. මේ කාලය තුළ කිසිදු ක්‍රමවත් අධ්‍යාපනයක් හෝ පිරිවෙනකට ගොඩ නොවූ නරමානේ හාමුදුරුවෝ අතට අසුවන පත්තර කෑල්ලක් පොතක් එකවරක් කියවීමෙන් මතකයේ රඳවා ගනියි. මහ පිරිත්පොත කටපාඩමෙන් කියන්නට හැකි වෙයි. වැසිකිළි කැසිකිළි පවිත්‍ර කරමින් පන්සල්වත්ත අමදිමින් ඉතිරි කාලය ගතවෙයි.

වසර 17 ක් සපුරන විට රාජකීය පණ්ඩිත ප්‍රාරම්භක විභාගයට හිඳගන්නේ අභියෝගයකට මුහුණ දෙමිනි. කිසිදා පිරිවෙන් අධ්‍යාපනයක් නොලද කටපාඩමෙන් මතකයෙන් සිත පෝෂණය කළ මහා ශක්තිය උරගා බැලීමේ ප්‍රතිඵලය වන්නේ උන්වහන්සේ මෙම ප්‍රාරම්භක පරීක්‍ෂණයේදී ලංකාවේ 7 වැනි ස්ථානයට පත්වෙමින් උසස් සමාර්ථයක් ලැබීමයි. ඒ විදියටම මධ්‍ය සහ පණ්ඩිත විභාග සමත් වන්නේ පළමු පන්තියේ සාමාර්ථයන් සමඟින්ය.

1939 ජුනි 07 වැනි දින මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලබන විට විශුද්ධි මාර්ගය ප්‍රාතිමෝක්‍ෂය, සාමණේර බණ දහම් පොත, සාරශ්වතය ධම්මපදය පාලි නිගංඩුව උන්වහන්සේට කටපාඩමින් කියවිය හැකිය. මේ කාලය තුළ පාලි සංස්කෘත සිංහල පුරාවිද්‍යාව ආදී විෂයයන් පිළිබඳ මනා අධ්‍යාපනයක් ලබන්නේ නිසි ක්‍රමානුකූ®ල අධ්‍යාපනයකින් නොව තමා උපතින් රැගෙන ආ ඤාණයේ බලයෙනි.

පංසලේ කෙටි කාලයද පිරිවෙනකට පය නොතැබුවද උන්වහන්සේ දෛවය ගුරු වෘත්තිය දක්වා රැගෙන යාමට තරම් සාධාරණ වීමද දෛවයේ එක්තරා හාස්කමකි. නරමානේ හාමුදුරුවො ප්‍රථම පත්වීම ලබන්නේ මහනුවර ප්‍රදේශයේ විද්‍යාලයකටය. පසුව පොතුපිටිය විද්‍යාලයට මාරුවීමක් ලැබෙයි. මේ කාලය තුළ අභිධර්මය පිළිබඳව පරිචය ලබා ගැනීමට පෙළඹෙන්නේ ඒ පිළිබඳ ප්‍රාමාණික උගතකු වූ කුරේ රාළහාමිගේ මඟ පෙන්වීම යටතේය. එසේ උදේ උගත් පාඩම රාත්‍රී අඳුරේදී කටපාඩමෙන් පැවැසීමට තරම් හැකියාවක් ලද නරමානේ මා හිමියන් ගැඹුරු ධර්ම කරුණු තේරුම් බේරුම් කර ගැටලු ලිහා ගැනීමට සමත්කමක් දක්වයි. එය සිතේ සැඟවී තිබෙන මහා බලයක් මෙනි. මෙසේ ධර්මයේ ගැඹුරුම පිටකය වන අභිධර්මය මනාසේ වැටහීමෙන් පසුව හිමාලයේ හිමයට වැඩ හුදකලාව භාවනා අභ්‍යාසයේ යෙදෙන්නට අප මා හිමියන්ට සිතක් පහළ වෙයි. මේ වන විට භික්‍ෂූ ජීවිතයත් සමඟ මුහුකුරා ගිය ජීවිත ගමනේ නිහඬ සන්සුන් භික්‍ෂු ජීවිතයේ පිළිවෙත නිසා නරමානේ මා හිමි ඇසුරු කරන කාටත් පි‍්‍රය දසුනකි. ළෙන්ගතු ඇසුරකි. ඉතින් ගමනට බාධා පමුණුවන්නේ මේ බැඳීම්ය. අපේ භික්‍ෂූන් වහන්සේට ගමනට ඉඩ නොදෙන්නේ මේ මිතුරු ඇසුරය.

මේ වන විට පරම විශුද්ධාරාමයේ මුල් විහාරස්ථානය වූ එගොඩ උයන ශ්‍රී ජිනේන්ද්‍රා චෛත්‍යාරාමය පැවැතියේ ජන ශූන්‍යව වල් බිහිවිය. එසේ වු විහාරස්ථානය තෝරා ගන්නා නිසා නරමානේ මා හිමියන්ගේ හිමයට වැඩම වීමට අපේක්‍ෂා කළ ගමන එගොඩ උයනෙන් නවතීයි.

මේ කාලය වන විට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ලබුගම ලංකානන්ද මහා නා හිමියන්ගෙන් ලද ඇරැයුමෙන් නරමානේ බුද්ධරක්ඛිත නා හිමියෝ බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකත්වය ලබති. බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහා නාහිමි හෑගොඩ ඛේමානන්ද නා හිමි, බෙල්ලන ඥානවිමල මහා නාහිමියන් වැනි ප්‍රාමාණික බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේගෙන් සමන්විත ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේදී නරමානේ මා හිමියන්ට පැවැරෙන්නේ අභිධර්ම පිටකයේ පිටු 1800 කින් සමන්විත පට්ඨාන ප්‍රකරණය පරිවර්තනය කිරීමය. ඒ වන විට පට්ඨාන ප්‍රකරණය කියවා නොතිබූ අප නා හිමියන් සති දෙකකින් මෙය කියවා තේරුම් කර ගනී. පට්ඨාන ප්‍රකරණය අභිධර්ම පිටකයේ ගැඹුරුම අවසන් පොතයි. මෙය මීට ප්‍රථමයෙන් ලියා තිබුණේ පුස්කොළ පොත් වල. මෙය සංස්කරණය කළේ එහි විස්තර බුරුමයෙන් ගෙන්වා ගෙනය. පශ්චාත් කාලීන විකාශනයේදී මෙහි දෝෂයන් ඇතිවී ඇත. අත්පොත් පරිශීලනය කර ඉතා පිරිසුදු කර ගැනීම මෙන්ම තෝරා බේරාගෙන සංස්කරණය කිරීමට මහා ඤාණයක් අවශ්‍ය වේ. මෙම ඤාණය ඇති බව තේරුම් ගත් ලබුගම ලංකානන්ද මහ නාහිමි පැවසුවේ බුද්ධරක්ඛිත “එහෙනම් මෙම මුළු පොතම ඔබ වහන්සේ පරිවර්තනය කරන ලෙසය”. එම අභියෝගය බාර ගැනීමට නරමානේ මා හිමියන් මැළි වුණේ එය නිශ්චිත කාලය තුළ කර ගැනීමට නොහැකි වන නිසාය. ඒ නිසා එහි ගැඹුරු කරුණු, අපහසු වචන සිංහලට පෙළ ගස්වා සටහනක් තැබීමට අවසානයේ සංස්කාරක මණ්ඩලය එකඟ වූ අතර නරමානේ බුද්ධරක්ඛිත නා හිමි එය සාර්ථකව ඉටු කරයි. එහි සංඥාපනය ලියන ලද්දේ බෙල්ලන මහා නාහිමියන් විසිනි.

අද වන විට වියපත් නරමානේ බුද්ධරක්ඛිත මාහිමියන්ගේ දෑස් දුර්වලය. නරමානේ බුද්ධරක්ඛිත නා හිමියන් මෙතෙක් ලියා පලකර ඇති පුස්තක හා ග්‍රන්ථ 30 කට අධිකය. ඒ අතර ශ්‍රීමහා විහාර වංශය, සප්ත පරිහාණී ධර්ම, සෝවාන් වීමට ඔබට නොහැකිද? සැරියුත් හාමුදුරුවෝ නිවන්මඟ ඔබ ළඟම ඇත, පැවිදි උපසම්පදාව පටිච්චසමුප්පාද ධර්මය සහ සසර පැවැත්ම පට්ඨාන ප්‍රකරණය, පේත කෝපදේශය සමසංස්කරණය ආදී වෙයි. බොහෝ උගත් වියත් භික්‍ෂූන් වහන්සේ ත්‍රිපිටකය පිළිබඳ පැන නගින ගැඹුරු ධර්ම කරුණු සඳහා විසැඳුම් සොයා පැමිණෙන්නේ නරමානේ අපේ බුද්ධ රක්ඛිත නා හිමිපාණන් වෙතය. බුද්ධරක්ඛිත මහා නාහිමියන් වෙත පිදූ නම්බුනාම බොහෝමයක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කර තිබෙයි. එහෙත් ඉල්ලා නොගත්, අතට පත් නාමයන් මෙසේ සඳහන්ව තිබෙයි. පානදුර ග¼ගුලසිරි පරම විසුද්ධාරාමය, මොරටුව එගොඩඋයන ශ්‍රී ජිනේද්‍ර චෛත්‍යාරාම යන උභය විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික කෝට්ටේ හී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධුරන්දර රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද ශ්‍රී ජිනේන්ද්‍රාවංශාලංකාර සාහිත්‍ය කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර නරමානේ බුද්ධරක්ඛිත මා හිමිපාණන් වහන්සේ වශයෙනි.

අප මාහිමිපාණන් පතන්නේ නැවතත් මා මේ ලොවම ඉපැදෙනබවය. අතීත භවයක ස්මරණ ශක්තිය සේම මෙ භවයේදී ලද ඤාණය මත ත්‍රිපිටකයේ මෙන්ම එහි අභිධර්ම පිටකය ආදී ගැටලු සහගත තැන් නිරවුල් කරමින් දුකට පත් මානවයා සුවපත් කිරීමේ මහා පරාර්ථකාමී සිත උන්වහන්සේ ඊළඟ භවයට රැගෙන යනු නියතය.සන්ධ්‍යාවේ සමුගැනීමේ හෝරාව එළඹ තිබේ. උන්වහන්සේ ලියා පළ කළ එක් මාහැඟි ග්‍රන්ථයක මාතෘකාවක් නිබඳව සිතට නැඟෙයි. එය අපේ මාහිමිපාණන් වහන්සේටම මනාසේ ගැළපෙතැයි සිතෙයි. එහි නම නිවන් මඟ ඔබ ළඟම ඇත යන්නය.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]