UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිව්මහල් ධාතු මන්දිරය විවෘත කැරෙන කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධ‍ාලෝක විහාරය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිකළ සිව් මහල් ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය හා කෞතුකාගාරය සහිත බුද්ධ මන්දිරය හා සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීමේ පූජෝත්සවය නිමිත්තෙනි


අපවත් වී වදාළ විතාරන්දෙණියේ චන්දජෝති නා හිමියන් මෙහි විහාරස්ථානයක් ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූයේ දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට නවාතැන් දී ප්‍රත්‍ය පහසුකම් ලබාදී ආගන්තුක සත්කාර කිරීමයි. එම කටයුත්තද මෙමගින් පුළුල් වනු ඇත. මෙම ස්ථානයට නිතර පැමිණෙන දෙස් විදෙස් ජනතාවට බෞද්ධ තොරතුරු ලබාදීමට මෙහි එක් කොටසක් යොදා ගැනේ

අනුරාධපුරයෙන් ආරම්භ වූ අනුරාධපුර රාජධානිය පොළොන්නරුව දඹදෙණිය, කුරුණෑගල යාපහුව ආදියෙන් වර්තමානයේ ශ්‍රී ජයවර්ධන පුරය නමින් කොළඹ ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත. ලෝකයේ කාගේත් අවධානයට ලක්වන්නේ රටක අග නගරය යි. අප රටේ ප්‍රධානතම නගර සංස්කෘතිය පවතින්නේ කොළඹ කොටුවයි. 1976 තෙක් මේ කොටුව නාගරික පරිසරය තුළ ඈතට දිස්වන බෞද්ධ සංකේතයක් නොවිය. මෙහි බෞද්ධ සංකේතය ගොඩනැගීමට ඉදිරිපත් වෙන්නේ රුහුණු යතිවරයෙකි.

ලක්දිව ඉතිහාස වංශකතාවේ ප්‍රමුඛස්ථානයක් රුහුණු පුත්‍රයන්ට ලැබේ. ජාතියේ රාජ්‍ය සමයන්, බුදුදහමින් පූජණීයත්වයට පත්කළේ රුහුණූ පුත්‍රයන්ය. අනුරපුර ද්‍රවිඩ ආක්‍රමණයෙන් නිදහස් කළේ මාගමෙන් ගිය දුටුගැමුණුය. එසේම වළගම්බා , කීර්ති ආදී රජවරුද දකුණේ බිහිවූ විරුවන්ය. පළමු විජයබා මහා පරාක්‍රමබාහු ආදී රජවරු චෝල ආක්‍රමණයන් පරාජය කළේ ලොව විස්මිත කරමිනි. රුහුණේ ජන්මගත උරුමයන් දඹදෙණි කුරුණෑගල නුවර කෝට්ටේ හරහා කොළඹ දී ද රණකාමිත්වයේ ජවය කියා පෑවේ බුදුදහමේ සුවය සඳහාය. ඒ උරුමය අදත් අප රටේ යුක්තිය උදෙසා උරදී ඇත.

කොළඹ නගරය මධ්‍යයේ රමණීය විහාරස්ථානයක් ගොඩනගන්නට මුලපිරෙන්නේ විතාරන්දෙණියේ ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යෙනි. වයස අවුරුදු 12 දී එනම් 1934 මුලනේ ගුණානන්ද නාහිමියන්ගෙන් පැවිද්ද ලබා 1941 දී මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාවට පත්ව විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා හුණුපිටිය ගංගාරාමයේ ආචාර්යවරයෙකු වශයෙන්ද එහි පරිවේණාධිපතිවද සේවය කර ශ්‍රී ඤාණේශ්වර පිරිවෙනින් විශ්‍රාම ලැබූ නාහිමියෝ ඉතා දුෂ්කර කාර්යයකට අත තබන්නේ ඉන් පසුවය.

විතාරන්දෙණියේ චන්දජෝති නාහිමියෝ ඤාතීත්වයක්ද ඇති රුහුණු දේශපාලනයේදීද ගමේදීද ඇසුරක් තිබුණේ ඩී.ඒ. රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන රාජපක්‍ෂ පවුල සමඟයි. එනිසාම කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ගොඩනගන්න රාජපක්‍ෂ පවුලේ එවකට රාජ්‍ය ඉඩම් ධීවර අමාත්‍යව සිටි ජෝර්ජ් රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්ණ සහයෝගයෙන් මෙම භූ®මිය නාහිමියන්ට ලැබුණි. එතැන් සිට කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ගොඩනැගෙන්නට විය.

කොළඹ කොටුව 1976 ඉල්මහේ 26 දින තෙක්ම විශාල අඩුවක්ව පැවති බෞද්ධ සලකුණේ ආරම්භය සනිටුහන් කළේය. ඒ අන් කිසිවක් නොව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය මහාභාණ්ඩාගාරය , ලේක්හවුස් ආයතනය, ශ්‍රී ලංකා මහබැංකුව, ලංකා බැංකු මූලස්ථාන පරිශ්‍රය, මහජන බැංකු මූලස්ථානය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, හිල්ටන්, ගලධාරි වැනි ජාත්‍යන්තර හෝටල් යන ගොඩනැගිලි මධ්‍යයේ දහඅටරියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමෙන්ය. එම ප්‍රතිමා වහන්සේ ඩී. ජී. පීරිස් අප්පුහාමි මහතාගේ ධන පරිත්‍යාගයෙන් සහ චෛත්‍යය මිලිනා සුමතිපාල මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කැරිණි.

විතාරන්දෙණියේ චන්දජෝති නාහිමි

මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි

කොළොම්පුරය බුද්ධාලම්බන පී‍්‍රතියට පත්කරවන අඩි 90 ක් උස දර්ශනීය සාම චෛත්‍යය මෙන්ම දහ අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අගනගරයේ දෙස් විදෙස් සැමට දහම් සුවය ගෙන දෙන දහම් තෝතැන්නකි. විෂමකාරි පරිසරයේ හැදෙන වැඩෙන ජාතියේ දරුවන්ට අනාගතය දැහැමි කිරීමට ශ්‍රී ගුණානන්ද නමින් දහම් පාසලක්ද 1985 දී උන්වහන්සේ ආරම්භ කලහ. විශාල ධර්ම ශාලා බෝධිඝර, ආගන්තුක සත්කාර සේවා ආදියෙන් විහාරස්ථානය ආලෝකමත් කළහ. 1976 වනතෙක්ම පුංචි කොරියාව නමින් හැඳින්වූ රාත්‍රි කාලවල ගමන්බිමන් යාමට පවා නොහැකි අපවිත්‍ර වූ මෙම පරිසරය අද දෙස් විදෙස් ජනාදරයට පත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වූයේ විතාරන්දෙණියේ චන්දජෝති නාහිමි ශ්‍රී‍්‍ර නාමය නිසාය. අසරණයන්ට සරණ වෙමින්ද සමාජ සේවය, ආගන්තුක සත්කාරය, එවකට කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමග ගම්බිම් සංවර්ධනය කරන්නට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ. මල්වතු මහා විහාරයෙන් කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයද පිරිනැමූහ. කුරිරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් 1997 ඉල් පුර පසළොස්වක දින විතාරන්දෙණියේ නාහිමියෝ අපවත් වූහ. මෙම වසරට උන්වහන්සේ අපවත් වී වසර 15 ක් වේ. කෘතවේදීව මේ අවස්ථාවේ අප පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරන්නෙමු.

එවන් පින් බිමක 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සදා නොමැකෙන අසිරිමත් ඇරඹුමක් ආරම්භ විය. විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන විහාරස්ථදායක දායිකාවන්ගේද ප්‍රදේශයේ ආයතනික ප්‍රධානීන්ගේද සහභාගිත්වයෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සිව් මහල් ජාත්‍යන්තර භාවනා පුහුණු මධ්‍යස්ථානය, කෞතුකාගාරය, බුද්ධ මන්දිරය හා සර්වඥ ධාතු මන්දිරයට 2011 ජුනි 08 දින මුල්ගල් තබන ලදී.

අතිගරු ජනාධිපතිතුමා අපේ රට ආසියාවේ ආශ්චර්ය කරා ගෙනයමින් කොළඹ වාණිජ අගනගරයක් බවට පත්කරමින් දර්ශනීය පුරයක් කරමින් පවතියි. ඊට සාපේක්‍ෂව අගනගරය මධ්‍යයේ ඇති විහාරස්ථානයද සංවර්ධනය කරමින් ආගමික සේවාව පුළුල් කිරීමට අවශ්‍ය සුවිශේෂී ස්ථානයක් කළ යුතුව පැවතුණි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සමගාමීව මෙම කාර්ය ආරම්භ විය. 2500 බූද්ධ ජයන්තියට වරායේ චෛත්‍යය ඉදිකර ඇත.

200 දෙනෙකුට භාවනා කළ හැකි භාවනා මධ්‍යස්ථානයක්

බුදු දහම ලෝකයේ කායික මානසික සියලු පීඩාවන්ට සහනය වන දැක්මක් බවට පත්වෙමින් ඇත. එනිසාම විදේශිකයින් අප රටට පැමිණෙන්නේ බුදු දහමේ ආධ්‍යාත්මික සුවය සොයාගෙනය. මෙමගින් ඊට සහනයක් වනු ඇත. නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනයාට මානසික සුවයට රෝග සුවයට භාවනා කළ හැකි පුහුණු මධ්‍යස්ථානයක් පොළොව ඇතුළත බිම් මහලේ තනවා ඇත.

භික්‍ෂු උපස්ථායක සේවයක් හා බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක්

අපවත් වී වදාළ විතාරන්දෙණියේ චන්දජෝති නා හිමියන් මෙහි විහාරස්ථානයක් ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූයේ දුෂ්කර ප්‍රදේශවලින් පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට නවාතැන් දී ප්‍රත්‍ය පහසුකම් ලබාදී ආගන්තුක සත්කාර කිරීමයි. එම කටයුත්තද මෙමගින් පුළුල් වනු ඇත. මෙම ස්ථානයට නිතර පැමිණෙන දෙස් විදෙස් ජනතාවට බෞද්ධ තොරතුරු ලබාදීමට මෙහි එක් කොටසක් යොදා ගැනේ.

බෞද්ධ කෞතුකාගාරයක්

ලෝකයේ විවිධ බෞද්ධ සම්ප්‍රදායන්ට අයත් බුද්ධ ප්‍රතිමාද අපේ සංස්කෘතික උරුමය කියාපාන නොයෙක් කෞතුක භාණ්ඩවලින් සමන්විත එක් මහලක් කෞතුකාගාරයක් ලෙස වෙන්කර ඇත.

බුද්ධ මන්දිරය හා ධාතු මන්දිරය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සිහිකරනුවස් බුද්ධ ප්‍රතිමා 2600 ක් තැන්පත් කර මහජන වන්දනාවට බුද්ධමන්දිරයක් ඉදිකරන ලදී. ඉහළ මහලේ මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පු අනුරුවින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු මන්දිරයක් ඉදිකරන ලදී. මේ උතුම් ශාසනය වෙත මෙම මන්දිරය ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල්මස පුර දොළොස්වක නම් තිථියලත් ශනි දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2012 නොවැම්බර් මස 24 දින මල්වතු, අස්ගිරි, අමරපුර රාමඤ්ඤ යන මහ නිකායන්හි මහනාහිමිපාණන් වහන්සේලා ඇතුළු සම්භාවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මැති ඇමතිතුමන්ලා ප්‍රමුඛ විහාරස්ථදායක, පින්වතුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් විවෘතව මහජන සම්භාවනාවට පත්වන වගයි.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]