UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%>

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 5

නාරිභීතිකාවෙන් අසනීඝාත කුමරු සුව ලද හැටි

මනෝවෛද්‍ය විද්‍යාවේ ‘භීතිකාව‘ නමින් හැඳින්වෙන රෝගයක විස්තරයක් සහ ඊට දිය යුතු චිකිත්සක ප්‍රතිකාරයක් ලෙස 1954 වර්ෂයේදී ජේ.වොල්පි ප්‍රථමයෙන්ම සොයාගත් ලෙස මනෝචිකිත්සා පොත්වල සඳහන් වන ‘පරස්පර අවසේධනය’ (Reciprocal Inhibition) නමින් හැඳින්වෙන ක්‍රමයක විස්තරයක්, වොල්පිගේ සමයට ශතවර්ෂ 25 කට පමණ පෙර හෙළි කරනු ලැබුවේ පන්සිය පනස් ජාතක පොතේ සංකප්ප ජාතක කථාවෙනි.

එම කථාව අනුව මහ බෝසත්තුමා බඹ ලොවින් චුත ව, මිනිස් ලොවේ දඹදිව බරණැස රජතුමාගේ අග බිසෝ කුස පිළිසිඳ ගත්තේය. පසුව අසනීඝාත නම ලද මෙම බිළිඳු කුමරු, බිහි වූ දා කිරිමවක අතට දෙනු ලැබූ විට බියෙන් මෙන් හඬවන්නට විය.

අන් කිරි මවක අතට දෙනු ලැබූ විට ද කුමරු හඬන්නට විය. එහි හුන් හැම ස්ත්‍රියක අතට දෙනු ලැබුව ද, හැඬීම නතර නොවීය. නමුත් පිරිමියකු කුමරු වඩා ගත් විට හැඬීම සිදු නො වීය.

මෙම අපූර්ව ගති ලක්‍ෂණය නිසා අසනීඝාත කුමරු හැදුණේ – වැඩුණේ පිරිමින් ඇසුරේ ම ය. කිරිමවුන් කුමරුට කිරි පෙවුයේ දොවා තැටියකට දමා ය. මවු බිසොව කිරි දුන්නේ තිරයකින් පිට සැඟවී පියයුරු පුඩුව පමණක් තිරය මෑත් කර කුමරුගේ මුවට ඇතුළු කරමිනි. වැඩිවිය පත් වුව ද, කුමරු ස්ත්‍රීන් අසළක හෝ රඳවා නො ගත්තේ ය. පිය රජතුමා කිරුළ හිමි පුත් කුමරු වෙනුවෙන් වෙන ම මාලිගාවක් තනවා කුමරුට එහි වාසය කිරීමට ඉඩ දුන්නේය.

අසනීඝාත කුමරු පෙළුණේ වර්තමාන මානසික රෝග වර්ගීකරණය අනුව කාංසාබාධයකිනි.

කාංසාබාධ

පොදුවේ කාංසාබාධ (Anxiety Disorders) යනුවෙන් හැඳින්වෙන්නේ මොළය තුළ කිසිදු භෞතික අසාමාන්‍යතාවයක් හෝ වෙනත් මානසික රෝගයක් හෝ නැති ව, හෘද ස්ඵන්දනය සහ හුස්ම ගැනීමේ වේගය වැඩි කරවන, වෙව්ලීම, උගුරේ වේළීම, අවධානය අඩු කිරීම, නින්ද නො යාම, හිසරදය වැනි විවිධ ශාරීරික සහ මානසික ලක්ෂණ ඇති කරවන රෝග සමූහයකි. භීතිකාව ඉන් එකකි. (පුහු බිය, ඊට වඩා සුදුසු නමකි)

භීතිකාව

භීතිකාව යම් විශේෂ අරමුණක් හමුවේ කාංසා රෝග ලක්‍ෂණ පහළ කරයි. එ වැනි අරමුණූ රාශියක් මනෝවෛද්‍ය විද්‍යා පොත්වල විස්තර වෙයි. ඒ අතර මක්කටක භීතිකාව සුනඛභීතිකාව බිළාරභීතිකාව තෙළෙස්භීතිකාව සමහරෙකි. මේ රෝගවලට හේතුවන අරමුණු පිළිවෙලින් මකුළුවන් ,බල්ලන්, බළලුන් සහ 13 අංකයය.අසනීඝාත කුමරු පෙළුණේ නාරිභීතිකාවෙනි. එය ස්ත්‍රි වර්ගයා කෙරෙහි ඇතිභීතිකාවය.

නාරිභීතිකාව

සාමාන්‍යයෙන් භීතිකාවට හේතු වන්නේ ළමා කාලයේ සිද්ධියක් සහ ප්‍රවේණියයි. පරිසරය සහ ප්‍රවේණිය හැරෙන්නට රෝගයක් හටගැනීමට පූර්ව භවයන්හි සිද්ධි ද හේතු වන බව බෞද්ධ මතය යි. වෛද්‍ය විද්‍යාවට මෙම සත්‍යය මුළුමනින් පිළිගැනෙන්නට, තවත් ශතවර්ෂයක් පමණ ගත වනු ඇත. දැනට ම එතෙර අබෞද්ධ මනෝචිකිත්සකයින් පවා පූර්ව භවයන්හි රෝග කාරක සිද්ධින් මෝහන හෙවත් විනිද්‍රා ප්‍රතිකාරයෙන් සොයා ගෙන මතකයට නංවා රෝග සුව කරන බව සැළයි. සංකප්ප ජාතක කථාව අනුව අසනීඝාත කුමරුගේ නාරිභීතිකාවට හේතුව වශයෙන් පිළිගත හැක්කේ බෝසත්තුමා මිනිස් ලොවට ඒමට පෙර බඹ ලොව දීර්ඝ කාලයක් විසීමය.

ප්‍රතිකාර අවශ්‍ය වීමට හේතුව

අසනීඝාත කුමරු සොළොස් හැවිරිදි වූ විට පිය රජතුමා කල්පනා කෙළේ තමාගේ ඇවෑමෙන් රාජ්‍යය භාරගැනීමට සිටින්නාට ස්ත්‍රීන් නොදැක සිටීම නුසුදුසු බව ය. රජතුමා පුත් කුමරුට ප්‍රතිකාර පැතුවේ ඒ හෙයිනි.

වර්තමානයේද විවිධ රැකී රක්ෂා පත්වීම් ලත් විට වැඩ භාරගැනීමට කාර්යාලයට හෝ විද්‍යාලයයට හෝ යෑමට පෙර විවිධ භීතිකාවලින් පෙළෙන අය ප්‍රතිකාර පතා මනෝවෛද්‍යවරුන් වෙත එති. මැද පෙරදිග බලා යෑමට පෙර ප්‍රතිකාර පතා එන කාන්තාවන් අතර, උස් ස්ථානයකට නැගීම විශේෂයෙන් ගුවන් තොටුපොළේ පේගැටැදියට පිය නැගීම වළක්වන උච්ඡුයභීතිකාවෙන් පෙළෙන්නියෝ සහ මෝටර් රථයක් හෝ ගුවන් යානයක් හෝ වැනි සම්පූර්ණයෙන් ආවරණය වූ ඉඩ ප්‍රමාණයකට ඇතුළුවීම වළක්වන ආවෘති භීතිකාවෙන් පෙළෙන්නියෝ සිටිති. මෙවැනි භීතිකා රෝගීනට ප්‍රතිකාරයක් ලෙස මෑතකදී, එනම් 1954 වර්ෂයේදි වොල්පි ප්‍රථමයෙන් සොයා ගත්තේයැයි සැලකෙන පරස්පර අවසේධනය විස්තර කිරීමට පෙර සංකප්ප ජාතකයේ අසනීඝාත කුමරුට බරණැස ස්ත්‍රියක කළ ප්‍රතිකාරයට අවධානය යොමු කරමු.

චිකිත්සක ප්‍රතිකාරය කිරීමට ඉදිරිපත් වූයේ ගායනයට සහ වීණා වාදනයට දක්ෂ, බුද්ධිමත් ස්ත්‍රියකි. ඇය ප්‍රතිකාරය පිළිබඳ සැලැස්මක් ඇතිවම කටයුතු ආරම්භ කළාය. කුමරු ඇසුරු කළ පිරිමි සේවකයින් කිහිප දෙනකුට ඇය තමා පසු දින කුමරුගේ මාලිගාවට දුර ස්ථානයක සිට ගී ගයමින් වීණාව වයමින් රැඳී සිටින බව දන්වා, ඒ අසා සිටින කුමරු යම් ප්‍රතිචාරයක් දැක්වුවහොත් තමාට දන්වන ලෙස ඉල්වා සිටියාය.

පසු දින ඇය එම දුර ස්ථානයේ සිට පැතිර වූ අති මධූර ගායන, වාදන නාදයට ඕනෑකමින් කුමරු සවන් දීගෙන සිට එම සංගීත නාද ස්ත්‍රියකගේ බව සේවකයින්ගෙන් අසා දැන ගත්තේය. මේ බව සේවකයෝ ස්ත්‍රියට දැන්වූහ.

ඉන් පසු දින ඇය කුමරුගේ මාලිගාව සමීපයෙහි සිට පෙර සේම ගායනයේ - වාදනයේ යෙදුණාය. එදින කුමරුගේ සේවකයින්ගෙන් ආ ප්‍රතිචාර අනුව ඉන් පසුව ඇය මාලිගාවේ යහන් ගැබට පැමිණ අසනීඝාත කුමරු අසලම සිට ගායනයේ වාදනයේ යෙදුණාය.

එම ප්‍රතිකාරයෙන් කුමරුට සම්පූර්ණ මානසික සුවය ලැබුණු බව, කුමරු ස්ත්‍රිය සමග ඇති කර ගත් සම්බන්ධතාව පිළිබඳ විස්තරයෙන් පැහැදිලිය. සංකප්ප ජාතක කථාවේ අවසානය එම ජවනිකාව නොවේ. එහෙත් කුමරුගේ නාරිභීතිකාව් අවසානය එයයි.

ජාතක කථාවේ සිද්ධීන් දෙස චිකිත්සා කෝණයෙන් බලන විට වොල්පීගේ සිද්ධාන්ත සියල්ලම පාහේ එහි ගැබ්ව ඇති බව පෙනෙයි.

පරස්පර අවසේධනය

වොල්පීගේ මූලික සිද්ධාන්තය මෙසේය.

කාංසාව ඇති කරවන යම් අප්‍රසන්න අරමුණක් (උත්තේජනයක්)) සමගම එම කාංසාව ඇති කරවන අප්‍රසන්න චිත්තවේගවලට පරස්පර විරෝධී යම් ප්‍රසන්න ප්‍රතිචාරයක් ඇති කරවන උපක්‍රමයක් යෙදවීමෙන් අප්‍රසන්න චිත්තවේග කොටසක් හෝ සමස්තයම හෝ යටපත් වේ නම්, අරමුණ සහ අප්‍රසන්න චිත්තවේග අතර තුබුණු බැම්ම ලිහෙයි.

අසනීඝාත කුමරු කෙරෙහි බල පෑ අරමුණ ‘ස්ත්‍රිය’යි. ස්ත්‍රිය නිසා ඇති වූ අප්‍රසන්නතාවයට පරස්පර විරෝධී ප්‍රසන්නතාවය ඇති කළ උපක්‍රමය නම් මධුර ගායන , වාදන, නාදයයි. ඉන් අප්‍රසන්නතාවය යටපත් විය. ‘ස්ත්‍රිය ‘ සහ භීතිකාව අතර තිබුණු බැම්ම ලිහුණි.

මෙම චිකිත්සක ක්‍රමය සාර්ථක කර ගැනීමට යොදා ගත හැකි ‘උපක්‍රම’ කිහිපයක් වොල්පීම යෝජනා කළේය. ඒ සියලු උපක්‍රම මගින් ඇති කරනු ලබන්නේ කාංසා – විරෝධී ප්‍රසන්න ප්‍රතිචාරය. වොල්පී යෝජනා කළ, පහත සඳහන් එම උපක්‍රම සියල්ලම පාහේ සංකප්ප ජාතකයේ අසනීඝාත කුමරු කෙරෙහි බලපා තිබේ.

1. ඉහිල්කරණය (Relaxation) කුමරු යහන් ගැබ සිටියේ විස්‍රංස (Relaxed) ඉරියවුවෙනි.

2. කාමාශා ස්ත්‍රියගේ අවසාන ප්‍රතිකාර අවස්ථාවේ මෙම ප්‍රතිචාරය ද දියත් විය.

3. විවිධ ප්‍රසන්න ප්‍රතිචාර

ගායන – වාදන සංගීතය එවැනි ප්‍රසන්න ප්‍රතිචාරයකි.

ක්‍රමවත් විසංවේදීකරණය

භීතිකාව ඇති කරවන අරමුණට රෝගියාගේ අවධානය යොමු කරවන විට මුලින් එම අරමුණ දුර ස්ථානයක තිබිය යුතුය. ක්‍රමයෙන් එය රෝගියාට සමීප කිරීමෙන් ක්‍රමයෙන් බිය අඩු කිරීම ක්‍රමවත් විසංවේදීකරණයයි. (Systematicdesensitization) චිකිත්සාව ආරම්භ කිරීමට පෙර මෙම දුර ප්‍රමාණ ගැන සැලැස්මක් තිබිය යුතුය. සංකප්ප ජාතකයේ ස්ත්‍රිය මුලින් දුර ස්ථානයක සිට ක්‍රමයෙන් සමීප වී අවසානයේ කුමරු ළඟටම ඒම වොල්පීගේ ක්‍රමයට එකඟය. එක් පර්යේෂණයකදී ,මීයනට බියක් ඇතිව සිටි ළමයකුට මුල් දිනයෙහි දුර ස්ථානයක තබන ලද මීයකු පෙනෙන්නට පර්යේෂකවරයා සැලැස්වීය. එම අවස්ථාවේ ළමයාගේ මුවට චොකලට් කැබැල්ලක් ඇතුළු කරනු ලැබීය.

එම චොකලට් කැබැල්ල, වොල්පී සඳහන් කළ ‘උපක්‍රමය’ විය. අප්‍රසන්න භීතිකාව එම උපක්‍රමයට යටපත් විය. ක්‍රමයෙන් මීයා ළමයා සමීපයට ගෙන එන ලදී. පර්යේෂණය සාර්ථකව කෙළවර වූයේ සංකප්ප ජාතකයේ ස්ත්‍රිය අසනීඝාත කුමරුගේ යහනට ම ගිය ලෙසින්, මීයා ළමයාගේ තොටිල්ලට ම යෑමෙනි.


බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 4 බුදුරජාණන් වහන්සේ යශෝධරාවට මනෝචිකිත්සාවෙන් සරණ වු සැටි
 

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]