UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අව අටවවක 2012 නොවැම්බර් 06 වන දා

පන්සල වෙත යොමු වෙමු

 

ගමේ පන්සල ගමටම ගුණ දහම් කියා දෙන, ගුණ දහම් බෙදා දෙන ගුණ දහමේ කේන්ද්‍රස්ථානය වේ.

ගමේ පන්සලේ වැඩ සිටින නායක හාමුදුරුවෝ ව්‍යක්ත විනීත විශාරද ධර්ම විනයධර මහ තෙර නමක් වීමෙන්, ගමට ම අනුශාසනා කරන ගමේ මාර්ගෝපදේශකයන් වහන්සේ ද උන්වහන්සේය.

නැණ නුවණින් මෙන්ම ගුණ නුවණින්ද ආදර්ශවත් මහ සඟරුවන බොදු ජනතාව වෙත කරන අවවාද අනුශාසනා ගම්වැසියන් දොහොත් මුදුන් තබා වැඳ පිළිගැනීම බෞද්ධ සම්ප්‍රදායයි.

මෙකල වෙසෙසින්ම වස්සාන සමයෙහි චීවර මාසය නිසාම සෑම වෙහෙර විහාරස්ථානයකම මාස, සති ආදි වශයෙන් දින ගණනක් පුරා වෙසෙස් වූ පින්කම සිදු කරන සමයකි.

එබැවින් අන් කාලවලටත් වඩා ගම්වැසියන් ගමේ විහාරස්ථානයට ඒකරාශි වන, ඒකරාශිවිය යුතු පින්බර සමයකි.

එසේ මෙම උදාර චීවර මාසය තුළ ගමේ පන්සලට ඒකරාශි වන ලොකු කුඩා සියලු දෙනා සමගිදාමයෙන් සිදු කරන පින්කම් මාලාව අපගේ අධ්‍යාත්මික සුවසෙත සලසන මහඟු කාලයකි. එපමණක් නොව පටු වාදභේදාදියෙන් ඈත් වී ගම්වාසි සියලුදෙනා ගමේ පන්සලේ දී එසේ ඒකරාශිවීම නිසා ම සාමය සමගිය ද ගම තුළ වර්ධනය වේ.

පුහුදුන් ජීවිත මඟින් අඩුපාඩු සිදුවීම ස්වභාවය වුවද එසේ තම ජීවිතය මඟින් නොදැනුවත්ව හෝ සිදුවන අඩුපාඩු අයහපත් දෑ අවම කර ගැනීම බෞද්ධකමට පමණක් නොව මිනිස් කමටද ගැලපෙන යහපත් ක්‍රියාවකි.

කෙසේ වුවද තම ජීවිතය හැකිතාක් ආගමික කටයුතු සඳහා යෙදවීමෙන් අතපසුවීමකින් පවා සිදුවන අඩුපාඩු අවම කර ගැනීමට මහෝපකාරී වනු ඇත.

දිනපතා වැඳුම් පිදුම් කිරීමට විහාරස්ථානය වෙත පැමිණෙන බොදුනුවාගේ ශ්‍රද්ධාදි ගුණ දහම් වර්ධනයට අවැසි අනුශාසනා ගරුතර මහ සඟරුවනින් ලැබෙන විට හැමදාමත් විහාරස්ථානයට පැමිණෙන පිරිසට තවත් දෙතුන් දෙනා බැගින්වත් පිරිස තව තවත් වැඩිවනු ඇත.

දිනපතා, සතිපතා, මාස්පතා විහාරස්ථානයේ වැඳුම් පිදුම් සඳහා අඛන්ඩව මහ පිරිසක් සෑම විහාරස්ථානයකටම පාහේ පැමිණීම අතීතයේ පටන් පැවැත එන උදාර සිරිතකි.

ගම්වැසියන්ගේ ශ්‍රමයෙන්, ධනයෙන් විහාරස්ථානය ගොඩනංවන විට පන්සලේ වැඩ වසන ස්වාමීන් වහන්සේගේ යුතුකම සිව්පසයෙන් උවටැන් කරන දායකකාරකාදීන් වෙත අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කිරීමය. මෙකල පන්සලෙන් ඇතැම්විට ඈත් වී සිටින පිරිස පන්සල වෙත යොමු කරවා ගැනීමට ද ගිහි පැවිදි දෙපිරිසම උත්සාහ කළ යුතුව ඇත.

විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලබන දහම් පාසල ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වාගෙන යෑමද වගකීමකි. එය බොහෝ විහාරස්ථානවල ඉතා ක්‍රමවත්ව හා විධිමත්ව පවත්වාගෙන යාම නිසාම දහම් පාසල් අධ්‍යාපනය ලබන දරු පරපුර රටට ආශිර්වාදයක් වනු ඇත.

ගම්වාසී තරුණ දූ පුතුන් විහාරස්ථානයට යොමු කරවා ගැනීමට ඔවුන්ගේ දහම් දැනුම වර්ධනයට පන්සලේ පුස්තකාලයෙන් අවස්ථාව සලසාදීම පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.

හැම විට සැලෙන මනසට ද එමෙන් සැනසීම ලබාදීම පිණිස යොවුන් දහම් සමිති, අරඹා තරුණ දූ පුතුන්ට දහමේ පිහිට ලබාදීමට කල්පනා කළ යුතුව ඇත.

කුලඟන සමිති මෙන්ම වැඩිහිටි සමිතිද විහාරස්ථානය මඟින් අරඹා ඔවුනොවුන්ගේ සුබ සාධන ආදී සමාජ මෙහෙවර සඳහා ද පෙරමුණ ගෙන කටයුතු සලසන්නේ නම් ඇතැම් විට විහාරස්ථානයෙන් ඈත් ව සිටින ඇතැම් වැඩිහිටියන්ද විහාරස්ථානයට ළඟා කරවා ගැනීමට එය මහෝපකාරී වනු ඇත.

එසේ ගමින් ගමට දහම් සුවය සලසන විවිධ ස්වේච්ඡා සංවිධාන ඇරැඹීමෙන් නිතර දෙවේලේ තෙරුවන් නමදින බහුතර බොදු පිරිසක් වෙසෙන මෙරට ගුණ දහම් අගයන සමාජයක් ගොඩ නඟා ගැනීමට මහඟු සේවයක් එමඟින් සැලසෙනු ඇත.

එබැවින් ගිහි පැවිදි දෙපක්ෂය කාලෝචිතව කල්පනා කර නූතන පරපුර විහාරස්ථානය වෙත ඒකරාශිවන ආගමික වැඩසටහන් සම්පාදනය කර එමඟින් සමාජ සුබසෙත උදෙසා මෙහෙවර කිරීම මහඟු මෙහෙවරක් වනු ඇත.

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]