UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පස්කම් සැපතෙහි ඇලුණු සිත

පස්කම් සැපතෙහි ඇලුණු සිත

සිතෙහි හටගත් වෛරය දිනපතා දළුලා වැඩෙන්නට විය. ශාක්‍ය වංශය විනාශ කර දැමිය යුතු යැයි කියා විඩුඩභ කල්පනා කරන්නට විය. තරහව, ක්‍රෝධය, වෛරය බද්ධ වෛරය ආදී වශයෙන් ගැඹුරට ගියේ තමන්ට සිදුවූ අවනම්බුව නිසාය. සේනාවක් සංවිධානය කරගෙන ශාක්‍ය වංශිකයනට ප්‍රහාරය එල්ල කිරීම සඳහා ගියේය. බුදුරජාණන් වහන්සේ මේ බව දිවැසින් දැක කුමරු ඇතුළු පිරිස යන මඟ කල් ඇතිව ගොස් ගසක් යට භාවනා කරමින් වැඩ හිඳින ලදී.බුදුරජාණන් වහන්සේ දැකීමෙන් පිරිස අන්දමන්ද විය

බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කරනු ලැබූ ධර්මය දෛනික ජීවිතයේ ඕනෑම අවස්ථාවකට ගැලපේ. විඩුඩභ කුමරුවාට දේශනා කරනු ලැබූ දේශනාවක් පිළිබඳ අවධානය යොමු කරමු. පස්කම් සැප කෙරෙහි ගිජුව ඒවායේ තදින් ඇලුණුු සිත් ඇත්තා සිය බලාපොරොත්තු සපල කරගත නොහැකිවම මිය පරලොව යන්නේය යන සදහම් පණිවිඩය වේ.

එම දේශනාව කිරීම සඳහා පසුබිම් සැකසුණු කරුණු කාරණා සොයා විමසා බැලීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේට සමීප ලෙන්ගතු ඇසුරක් පැවැත්වූ සැදැහැවත් රජ කෙනෙකි කොසොල් මහ රජතුමා. බණ පොතෙහි බොහෝ තැන්වල කොසොල් රජතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර පැවැති සහ සම්බන්ධතාවය පිළිබඳව කරුණු සඳහන් වේ. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය සම්පූර්ණයෙන් ම වෙන් වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ සහ කොසොල් රජතුමා අතර පැවැති සංවාද පැහැදිලි කිරීමටයි. සංවාද කියා කිව්වත් මෙහි ඇත්තේ කොසොල් රජතුමා විමසන ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දෙනු ලබන පිළිතුරුය.

සිය රජ මාලිගාවේත් දිනපතා දාන ශාලාවක් පැවැත්වීම රජතුමාගේ බලවත්ම කැමැත්ත මත සිදුවූවකි. අනේපිඬු සිටුතුමා විශාඛා මහා උපාසිකාව ආදීන්ගේ නිවෙස්වලද එබඳු දන්හල් නිතර පැවතිණි.

බුදුරජාණන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කිරීමට ද තමන්ගේ ජීවිතයේ හටගන්නා හැම ගැටලුවක්ම බුදුරජාණන් වහන්සේට කියා උන්වහන්සේගේ උපදෙස් අනුව ජීවිතය සකස් කර ගැනීමද රජතුමාගේ සිරිතය. එම සතුට විවිධාකාරයෙන් රජතුමා ලැබුවේය. එක්තරා අවස්ථාවක මමද කොසොල් වැසියෙක්මි. ඔබ වහන්සේද කොසොල් වැසියෙක් වන සේක. මම ද අසූ විය ඇත්තෙකි. ඔබ වහන්සේ ද අසූ විය ඇත්තෙකි. යන ප්‍රකාශ වලිනි.

දවසක් කොසොල් රජතුමාට මෙබඳු සිතිවිල්ලක් විය. එනම් තමන් බුදුරජාණන් වහන්සේගේ ඥාති සම්බන්ධතාවයක් ඇතිකර ගතහොත් හොඳ නේද? යන්නය. බුදුරජාණන් වහන්සේ සහ රජතුමා අතර පවතින සහ සම්බන්ධතාවය වඩා වර්ධනය කර ගැනීමට එයත් බරපතළ හේතුවක් වේ. එනිසාම රජතුමා සිය අදහස ශාක්‍ය වංශිකයන් වෙත දන්වා යවනු ලැබීය. කොසොල් රජතුමා විවාහයක් බලාපොරොත්තු වන්නේ තමන්ට විවාහයක අවශ්‍යතාවය මත නොව එම විවාහය හරහා ශාක්‍ය වංශයට ඥාති සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම පිණිසය. ශාක්‍ය වංශයේ ද ඥාතිත්වයක් ඇතිවූ විට ඉබේටම වාගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද ඥාති සම්බන්ධතාවයක් ඇතිවේ.

“ඇත්තටම මෙය මෙපරිදිම සිදුවුවහොත් හරිම හොඳ නේදැයි” රජතුමාට කල්පනා විය. නමුත් ප්‍රශ්නයක්ව පැවැතියේ ශාක්‍ය වංශිකයන්ගේ මේ මංගල යෝජනාව සම්බන්ධයෙන් වූ දැඩි අකැමැත්තයි. තමන්ට නොගැලපෙන විවාහයක් කිරීමෙන් තමන්ට ඇතිවන අවනම්බුව පිළිබඳව ශාක්‍ය වංශිකයෝ දැඩි ලෙස කල්පනා කළහ. නමුත් රජ කෙනෙක් අමනාප කර ගැනීම එතරම් නුවණැති ක්‍රියාවක් නොවන බව ඔවුහු වටහා ගත්හ. සිය අදහස ද රජතුමාගේ අදහස ද ඉටුවන ආකාරයේ උපායක් ඔවුහු කල්පනා කළහ. ඒ අනුව මතුවී ආවේ අමිතෝදන රජතුමාගේ (ශාක්‍ය වංශික) පුත්‍රයා වූද අනුරුද්ධ මහ තෙරුණ් වහන්සේගේ බෑණා වූද මහානාම රජතුමාට දාව දාසියකගේ කුසෙහි උපන් වාසභ ඛත්තියා නම් කුමරියක රජතුමාට විවාහ කරදීමය. බැලූ බැල්මට වාසභ ඛත්තියා ද ශාක්‍ය වංශිකයෙකි. ශාසනික සම්බන්ධයක් ද තිබේ. නව යොවුන් වියේ සිටින තැනැත්තියකි. අකැමැති වීමට හේතුවක් ද නැත. නමුත් වාසභ ඛත්තියාගේ මව පහත් කුලයක වීම ඇයගේ සම්භවය ප්‍රභාමත් වීමට හේතුවකි. ඒ බව දන්නේ ශාක්‍ය වංශිකයෝ පමණි. කොසොල් රජතුමා වාසභ ඛත්තියා අගමෙහෙසුන් බවට පත් කරගෙන බිසෝ තනතුරෙහි තබා ගත්තේය. ඉන් කොසොල් රජතුමාගේ අදහස් සඵල විය.

කොසොල් රජතුමාත් වාසභ ඛත්තියා කුමරියටත් උපන් පිරිමි දරුවා වූයේ “ විඩුඩභ” කුමාරයායි. කුමරු තරමක් ලොකු මහත් වන විට සිය ඥාතීහු දැක බලා ගැනීමට ආශාවක් ඇති විණ. ඒ අනුව අම්මාගේ නෑදෑයන් දැක දැන හඳුනා ගැනීමේ අදහසින් කිඹුල්වත් නුවරට පිරිස සමග පිටත් විය. ශාක්‍ය වංශිකයන් කුමරු සාදරයෙන් පිළි අරගෙන ඉතා හොඳින් සැලකූ නමුත් හිත යට කුහුලක් තබා ගත්තේය. දාසියකට දාව උපන් දැරියගේ කොල්ලා නේද ? යනුවෙන් ඔහු ගැන සැක සිතුවේය. “විඩුඩභ” කුමරු ඤාතීහු දැක සතුටු සිත් ඇතිව නැවැත නික්මී ආ නමුදු කිසිවක් අමතක වී ආ නිසා එය රැගෙන ඒමට නැවතත් කිඹුල්වත් නුවරට ගියේය. ඒ යන ගමනේදී දුටු දෙය නිසා කුමරුගේ සිත දැඩි ලෙස ඤාතීන් කෙරෙහි බිදිණ. ඔහු දුටු සිද්ධිය වූයේ තමා ආපසු ආ විට වාඩිවී සිටි අසුන සුවඳ පැන්වලින් නාවා පිරිසුදු කිරීමය. එයට හේතුව සොයා බලන විට කුලකතාව එළියට ආවේය. ශාක්‍ය වංශිකයන් සියල්ල මරා දැමීමට තරම් මෙම ක්‍රියාව බලවත් සේ ඔහුගේ සිතෙහි තැන්පත් විණි.

සිතෙහි හටගත් වෛරය දිනපතා දළුලා වැඩෙන්නට විය. ශාක්‍ය වංශය විනාශ කර දැමිය යුතු යැයි කියා විඩුඩභ කල්පනා කරන්නට විය. තරහව, ක්‍රෝධය, වෛරය බද්ධ වෛරය ආදී වශයෙන් ගැඹුරට ගියේ තමන්ට සිදුවූ අවනම්බුව නිසාය. සේනාවක් සංවිධානය කරගෙන ශාක්‍ය වංශිකයනට ප්‍රහාරය එල්ල කිරීම සඳහා ගියේය. බුදුරජාණන් වහන්සේ මේ බව දිවැසින් දැක කුමරු ඇතුළු පිරිස යන මඟ කල් ඇතිව ගොස් ගසක් යට භාවනා කරමින් වැඩ හිඳින ලදී. බුදුරජාණන් වහන්සේ දැකීමෙන් පිරිස අන්දමන්ද විය. බුදුරජාණන් වහන්සේ එතන වැඩ සිටියේ ද කුමරුගේ ගමන වැළැක්වීම සඳහාය. ශාක්‍ය වංශිකයන්ට හානියක් නොවීම සඳහාය. ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා කර දෙනු පිණිසයි.

බුදුරජාණන් වහන්සේ මේ වනගත පාරේ ගසක් යට වැඩ හිඳ කුමක් කරන්නේදැයි විඩුඩභ කුමරු විමසූ විට උන්වහන්සේ කුමරුට ප්‍රකාශ කළේ මාගේ නෑදෑයන්ගේ ඇඟේ හැපී කිඹුල්වත් නුවර දෙසින් හමා එන සුළඟ පවා සිතට සුවඳක් සේ දැනෙන බවයි. කිඹුල්වත් නුවර පිස එන සුළඟ පවා හිත සැප දනවන බවයි. බුදුරදුන්ගේ ප්‍රකාශයෙන් සිද්ධ වෙන්නට ගිය මහා විපතක් සංසිදුනු නමුත් පසු දිනක විඩුඩභ කුමරු සිය අදහස ඉටුකොට ගත්තේය. ශාක්‍යයන් සමූල ඝාතනය කොට ආපසු එන අතරතුර අචිරවතී මහ ගඟ දෙගොඩ තලා යයි. විඩුඩභ කුමරු ඇතුළු පිරිස විනාශයට පත් විය.

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]