UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> අත්තනගල්ලේ ශ්‍රී පතිරාජ පිරිවෙන

තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත වේ

අත්තනගල්ලේ ශ්‍රී පතිරාජ පිරිවෙන


දෛනික ආගමික වතාවත්වල යෙදෙමින්

අත්තනගල්ල ඓතිහාසික අරහන්ත රාජ මහා විහාරය ලොව පුරා ප්‍රකට කීර්තිමත් පුන්‍ය භූ®මියකි. එමෙන්ම එම විහාරස්ථානය දෙස් විදෙස් සැදැහවතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ සම්භාවනීය විහාරස්ථානයකි.

දඹදෙණි යුගයේ දී පරාක්‍රමබාහු ඇමැතිතුමන්ගේ නියමයෙන් ශ්‍රී දේව පතිරාජ ඇමැතිවරයා විසින් පතිරාජ නමින් පිරිවෙනක් අත්තනගල්ලේ අරඹා අනවමදර්ශී හිමිපාණන් වහන්සේට පුදන ලද බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අත්තනගල්ලේ රාජ මහා විහාරය ඇතුළු දෙස් විදෙස් විහාරස්ථාන රැසක අධිපතිත්වය හොබවන ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය, ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී පතිරාජ පිරිවෙන ඉකුත් වසරේදී යළි ආරම්භ කරන ලදී.

සම්බුදු සසුනේ චිර පැවැත්ම හා අභිවෘද්ධිය පතා නවක භික්‍ෂූන් වහන්සේ ධර්ම විනයධර සුපේශල ශික්‍ෂාකාමී ශාසනාලයැති දැන උගත් භික්‍ෂූ පිරිසක් වශයෙන් තැනීම පුහුණු කිරීම සහ විදෙස් රටවල ධර්ම ප්‍රචාරයට යොමු කරවීමේ අවශ්‍යතාවය වටහාගත් පන්නිල ආනන්ද නාහිමියෝ අභිනවයෙන් එම පතිරාජ පිරිවෙන පිහිටුවා ඇත.

ඇමරිකාව, තායිවානය ආදි රටවල ථෙරවාද බෞද්ධ විහාර ආරම්භ කර ධර්ම ප්‍රචාරය සඳහා සේවය කළ පන්නිල ආනන්ද නාහිමියන්ගේ ආගමික මෙහෙවර පිළිබඳ ප්‍රසාදය දිනූ බොහෝ දෙනා උන්වහන්සේට හිත මිතුරු වූහ. ඒ නිසාම ජපානය ආදී රටවලද විදේශීය මිතුරෝ නොයෙක්වර උන්වහන්සේට අප්‍රමාණව පරිත්‍යාග කරති. ඒ උන්වහන්සේගේ සේවාව අගයන බැවිනි.

එසේ ලැබෙන සියලු පරිත්‍යාග මව් බිමේ උන්නතිය පතාම කැපකරන ආනන්ද නාහිමියන්ගේ විශිෂ්ඨ මෙහෙවර අගනේය.


දෛනික ආගමික වතාවත්වල යෙදෙමින්

සුනාමි උවදුරට අපේ රටද ලක්වූ මොහොතේ පැරෑලිය තෙල්වත්ත හා රිදියගම ජනතාව වෙනුවෙන් විදේශීය දානපතියන්ගේ අනුග්‍රහයෙන් රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වැය කරමින් නිවාස තුන් සිය තිස් හයක් ඉදි කරවූහ.

අත්තනගල්ල ප්‍රදේශයේ විහාරස්ථාන නවයක විවිධ විහාරාංග ඉදිකරවීමට උන්වහන්සේ දායක වූහ.අත්තනගල්ල රාජ මහා විහාරයේ තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල රුපියල් ලක්‍ෂ හාරසියයක වියදමින්ද ධර්ම ශාලාව රුපියල් ලක්‍ෂ එකසිය විස්සක වියදමෙන්ද කෞතුකාගාරයක් සහිත භාවනා ශාලාව රුපියල් ලක්ෂ හාර සියයක වියදමෙන් රුපියල් කෝටි දෙකක වියදමෙන් සාමණේර හිමිවරුන් සඳහා සංඝවාස ගොඩනැගිල්ල ඉදිකරවීම ඇතුළු නව විහාරාංග රැසක් ඉදිකරවූහ.

වතුපිටිවල රෝහලේ රුපියල් ලක්‍ෂ දෙසිය පනහක වියදමෙන් ළමා වාට්ටුව භික්‍ෂූ වාට්ටුව සෙම පටල ඒකකය ආදි ගොඩනැගිලි ඉදි කරවූහ.

කොළඹ මහ රෝහලට සහ නිට්ටඹුව සමූපකාර රෝහලට ගිලන් රථ පිරිනැමීමද සිදුකළ පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආර්ථික අපහසුතාවලින් යුත් වෛද්‍ය විද්‍යාව හදාරන සරසවි සිසුහු කීප දෙනෙකු ඇතුළු පාසලේ හයවන වසරේ සිට දහතුන් වැනි වසර දක්වා ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් තුන්සිය හැට දෙදෙනෙකු වෙත මාසිකව ශිෂ්‍යාධාරද පිරිනමනු ලැබේ.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස දහ අටක්ද ඉදිකරවා දී ඇත.

මෙසේ ආගමික, ශාසනික, සාමාජික, අධ්‍යාපනික, විවිධ සමාජ සත්කාරයක නිරත වූ පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය මෙහෙවර පිළිබඳ නිරන්තරයෙන් සතුටට පත්වන අතර සසුනේ පුනරුදයට අගනා මෙහෙවරක් සිදු කිරීමට කල්පනා කළහ. ඒ පිළිබඳ බුදුසරණට අදහස් දැක්වූ පන්නිල ආනන්ද නාහිමියෝ මෙසේ පැවැසූහ.


අභිනව තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය

දහම් පිපාසයෙන් ලෝකයේ බොහෝ රටවල ජනතාව ජීවත්වෙනවා. ඔවුන්ගේ ඒ දහම් පිපාසය සන්සිදුවන්නට නම් ථෙරවාදි භික්‍ෂූන් වහන්සේ ධර්මධර විනයධර විය යුතුයි. ඒ වගේම උන්වහන්සේලා ශ්‍රමණ ආකල්ප වලින් යුක්තව විවිධ භාෂා ඤාණයෙන්ද පරිපූර්ණ විය යුතුමයි. අනාගත නවීන ලෝකයට සරිලන පරිගණක තාක්‍ෂණයෙන්ද සමත්විය යුතුයි.

භික්ෂූ ආකල්පයන්ගෙන් යුක්ත දැන උගත් බුද්ධිමත් භික්‍ෂූන් වහන්සේට ලෝකයේ ඕනෑම රටක ධර්මදූත මෙහෙවරේ යෙදීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා ලොවට බුදුදහමේ පණිවුඩය ගෙනයාමට ප්‍රාචීන ප්‍රතිචීන භාෂා දැනුම අත්‍යවශ්‍යයි.

අපේ රටෙන් ලොවට දිය හැකි උතුම් දායාදය නම් සද්ධර්මය ප්‍රචලිත කිරීමයි. ඊට සුදුසු භික්‍ෂූන් වහන්සේ තැනීම මේ යුගයේ වෙසෙන අපේ කාර්යභාරය යි. ශාසනයේ ව්‍යාප්තිය උදෙසා මෙහෙවරක් කිරීමේ අරමුණෙන් අත්තනගල්ල රාජ මහා විහාරයේ ශ්‍රී පතිරාජ පිරිවෙන ඉකුත් වසරේදි ආරම්භ කළා.


විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි

ඒ පිරිවෙනට වසරක් සපිරෙන අවස්ථාවේ රුපියල් ලක්ෂ පන්සිය පනහක වියදමෙන් තෙමහල් භික්‍ෂු නේවාසිකගාරයක් ඉදිකිරීමට හැකිවුණා. එහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ අසූ නමකට පහසුවෙන් ම පහසුකම් සලසා තිබේ.

එම තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය තැනීමට විශාල මුදලක් පිරිනැමූ ජපානයේ කෝබේ නුවර කබුරයිජි විහාරයේ Tennyonokai මහිලා සමිතියේ සභාපති පූජ්‍ය Hiro Nakamura මැතිණියන් සිරි සඟබෝ පුස්තකාලය ඉදිකිරීමට කෝටි ගණනක් ධනය පිරිනැමු කබුරයිජි විහාරයේ අධිපති Pr.Koryu Nakamura නා හිමියන් ඇතුළු දායක පිරිසත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.


හීරෝ නාකමුරා

ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් කෘතවේදීව සිහිපත් කරන්නට කැමැතියි.

පතිරාජ පිරිවෙන මගින් සිංහල පාලි සංස්කෘත ආදි ප්‍රාචීන භාෂා අධ්‍යයනයට මුල්තැන දී ඉංගී‍්‍රසි , දමිළ, චීන හා ජපන් භාෂාව ඉගැන්වීමත් බෞද්ධ දර්ශනය, සංස්කෘතිය, ඉතිහාසය මෙන්ම තුලනාත්මක ආගම් දර්ශන පිළිබඳව අවබෝධයක් ලබාදීමත් ආදර්ශ සම්පන්න භික්‍ෂු පිරිසක් බිහිකිරීමත් අරමුණයි.

2011 සැප්තැම්බර් 22 වැනිදා පැවිදි සිසුන් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ පතිරාජ පිරිවෙන වසරක් ගතවනවිට සිසුන් 34 දෙනකු බවට වර්ධනය වී තිබේ.ගෙවී ගිය වසර තුළ මහ පිරිත පිරිය හැකි, බෝධී පූජා, බුද්ධ පූජා මැනවින් පැවැත්විය හැකි ධර්ම දේශනා කළ හැකි සාමණේරයන් වහන්සේලා රැසක් බිහිකිරීමට හැකිවූයේද පරිවේණාධිපති හිමියන්ගේ හා ආචාර්ය මණ්ඩලයේද කැපවීම මතය.

ප්‍රධාන අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වලස්වැවේ ඤාණරතන නාහිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කන්තලේ විජිතවංශ හිමි, පිරිවෙන් අධ්‍යාපන උපදේශක නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) අබේවර්ධන මහතා සහ චන්ද්‍රකුමාර කඩිගමුව මහතාද කෘතවේදීව සිහිපත් කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

ශ්‍රී පතිරාජ පිරිවෙන් හි තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරීම සහ පිරිවෙනට වසරක් පිරීම නිමිත්තෙන් 27 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් උත්සව සභාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. 27 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද 28 වනදා ශිෂ්‍යාධාර පිරිනැමීම සහ දවල් ශතාධික මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමටද කටයුතු යොදා තිබිණි.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]