UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> සසුන් කෙතෙහි පින් වැපිරෙන වස්සාන සමය

සසුන් කෙතෙහි පින් වැපිරෙන වස්සාන සමය

වස් කාලය පුණ්‍ය කාලයක් වශයෙන් සලකා ගිහි - පැවිදි කවුරුත් කටයුතු කරන්නේ නම් වස් විසීමේ සිරිත හා කඨින පූජාවේ කටයුතු වඩාත් අර්ථවත් කරගත හැකිවේ. ගිහි කම්කටොලු මධ්‍යයේ ජීවත්වන දායක පින්වතුන්ට වස් කාලය විහාරස්ථානයට වඩාත් සමීපව පින්කම් සිදුකරගන්නා කාලයක් බවට පත්කරගත හැකිය. පෙර අප රටේ කෘෂිකාර්මික යුගයේදි ගිහි පින්වතුන්ට යම් විවේක කාලයක් තිබුණ බව ප්‍රකටය. එහෙත් අද පවතින වාතාවරණය අනුව එවැනි විවේක කාල සීමාවන් සපයා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. එම නිසා වස් කාලයේ ඉඩ ලැබෙන ලැබෙන අයුරෙන් හෝ විහාරස්ථාන කරා ගොස් ස්වාමීන්වහන්සේ හමුවීම,ධර්ම සාකච්ඡා කිරීම ආදියෙන් තමන් ගුණ නුවණ වර්ධනය කර ගැනීමට උනන්දු විය යුතුයි.

කරුණා සාගර වූ බුදුපියාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට යම් නීති-රීති ශික්‍ෂා පද පැනවූයේ කිසියම් හේතු නිමිති ඉදිරිපත් වූ විටයි. භික්‍ෂූන් වහන්සේට වස් විසීමට අනුදැන වදාළේද ඒ සඳහා ඉදිරිපත් වූ හේතු සාධක සලකාගෙනයි.

බුදුරජාණන් වහන්සේ පහළ වන යුගය වන විට දඹදිව සමාජයේ විවිධ ශ්‍රමණ, බ්‍රාහ්මණ, පැවිදි පිරිස් විවිධ දර්ශන ජන සමාජයට පෙන්වා දෙමින් කටයුතු කළ ආකාරය ඉතාම පැහැදිලිව, තත්කාලීන ඉතිහාසය හදාරන විට මැනැවින් පෙනෙන්නට තිබේ. ඒ සමහර ඉගැන්වීම්වල තිබුණු යහපත් සිරිත් - විරිත් බුදුරජාණන් වහන්සේත්, හොඳ යැයි අනුමත කොට භික්‍ෂූන් වහන්සේටත් එය විනය නීතියක් වශයෙන් පිළිපදින්නට නියම කළ අවස්ථා කිහිපයක්ම ප්‍රාතිමෝක්ෂයේ දක්නට ඇත.

වස් විසීමට නියම කිරීමත් එවැනි අවස්ථාවකි. බුදුදහම පහළ වූ මුල් යුගයේ භික්‍ෂූන් වහන්සේට වස් කාලය එක් තැනක සිටීමට නියමයක් නොතිබුණ නිසා වර්ෂයේ සෑම දිනකම චාරිකාවේ හැසිරෙමින් උන්වහන්සේ මහජන සේවය සිදු කළහ. එහෙත් ජෛන වැනි ආගම්වල ශ්‍රමණයන්ට වස් කාලයේ එක් තැනකට වී සිටීමට නියමව තිබුණි. චාරිකාවේ යෑම ඔවුනට තහනම් විය.

භික්‍ෂූන් වහන්සේ වස් කාලයේදීත් චාරිකාවේ වඩිනු දුටු මහජනතාව දොස් කියන්න පටන් ගත්හ. “වැසි කාලයේ පොළොවෙන් මතු වන සතුන් පවා පාගමින්, ලා තණ නිල්ල මඩිමින් මෙම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වූ භික්‍ෂූන් වහන්සේ පිඬු සිඟා වඩිනවා. චාරිකාවේ හැසිරෙනවා. වැසි සමයෙහි කුරුල්ලන් පවා කූඩු සාදාගෙන සිටිනවා. එහෙත් මෙම භික්‍ෂූ පිරිසට එවැනි ශික්ෂණයක් නැහැ.” යනාදි කරුණු කියමින් භික්‍ෂූන් වහන්සේ වෙත අප්‍රසාදය පළ කළහ.

භික්‍ෂූන් වහන්සේට මහජනතාවගේ අප්‍රසාදය වැටහුණි. මෙම කාරණය බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා වස් කාලයෙහි එක් තැන්ව සිටීමෙහි ප්‍රයෝජන මහා කරුණාවෙන් යුතුව දේශනා කළ සේක.

“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් මෙම ශික්ෂා පදය පනවමින් වැසි සමයේ වස් වසන්නට අනුදැන වදාළහ. එහෙත් ජෛන ආගමෙහි මෙන් තණකොළ පෑගීම ආදිය සලකා බලා නොවෙයි. අට මාසයක් ධර්ම චාරිකාවේ හැසිරෙන භික්‍ෂූන්ට වස් සාර මාසයෙහි එක් තැනක වැඩ විසීමෙන් අධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමටත් තමන්ට ඇප උපස්ථාන කරන ගිහි පින්වතුන්ගේ ගුණ ධර්ම වර්ධනයටත් මෙම කාලය බෙහෙවින්ම උපයෝගි කර ගැනීමට හැකි වන නිසයි වඩාත්ම මෙවැනි ශික්ෂා පදයක් පැනවීමට අදහස් කළේ.

වස් විසීමේ ශික්ෂා පදය පැනවූ පසු, වස් විසිය යුත්තේ කවදාද, වස් එළැඹීමට දින කීයක් තිබේද යනාදි ගැටලු මතුවිය. ඒ අනුව පෙරවස් එළැඹීම, පසුවස් එළැඹීම යයි වස් විසීම් දෙකක් ඇති බවත් ඇසළ මස පුර පසළොස්වක දිනයේ පොහොය කොට අවපෑලවිය දිනයෙහි පෙර වස් සමාදන්විය යුතු බවත්, නිකිනි මස පුර පසළොස්වක දිනයේ පොහොය කොට අවපෑලවිය දිනයෙහි පසුවස් එළැඹිය යුතු බවත් පෙන්වා දුන් සේක.

මෙම දින දෙකෙන් එක් දිනකදී වස් නොවිසූ භික්‍ෂුවට “දුක්කටාපත්ති” නම් ඇවත සිදුවන බව ප්‍රඥප්තියකින් පැහැදිලි කර දුන්හ. වස් විසීම පිළිබඳ ස්ථාන, වස් විසූ ස්ථානයෙන් පිටත්ව යෑමට ඇති අවස්ථා, එසේ පිටතට ගිය විට ආපසු පැමිණිය යුතු දින ගණන ආදිය පිළිබඳ විශේෂයෙන් වස් විසූ භික්‍ෂුව සිහියෙන් යුතුව කටයුතු කළ යුතුවේ.

අනතුරුව පවාරණය නමැති විනය කර්මය සිදු කර ගැනීමෙන් කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබන්නේය.පෙර වස් විසූ භික්‍ෂුවට මිස පසු වස් විසූ භික්‍ෂුවකට ‘කඨින’ නමින් යුත් චීවරය ලැබීමට සුදුසුකම් නොලැබෙන්නේය.

කඨින පූජාව නියම කිරීමේ හේතු

දෙපොට සිවුර, තනි පොට සිවුර සහ අඳන සිවුර යන නම්වලින් යුතු තුන් සිවුර අධිෂ්ඨාන කොට පරිභෝග කරන භික්‍ෂුන් වහන්සේට එම තුන් සිවුරෙන් වෙන්ව එක් රාත්‍රියක් හෝ ගත කිරීමෙන් ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් නිස්සග්ගිය පාචිත්තිය නම් ඇවතකට පත්වීමට සිදුවේ. එබැවින් තුන් සිවුරු අධිෂ්ඨාන කොට සිවුරු පරිහරණය කරන භික්‍ෂූන් වහන්සේ තමන් යන සෑම තැනකටම මේ තුන් සිවුරු රැගෙන ගියහ. එය භික්‍ෂූන් වහන්සේට තරමක කරදරයක් බවට පත්වී තිබුණ බව පෙනේ.

වරක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි කොසොල් රට පාවානුවර තෙචීවරික වූ ආරණ්‍යවාසි තිස් නමක් වූ භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිනු කැමැතිව සැවැත් නුවරට යෑමට පිටත් වුවත් සැවැත්නුවර ආසන්න වන විට වස් කාලය එළැඹි නිසා උන්වහන්සේ සාකේත නුවර වස් විසූහ. වස් වැස පවාරණය නිම වූ විගසම බුදුරජාණන් වහන්සේ දැක ගැනීමේ බලවත් ආශාව නිසා තවත් වැසි වැටෙද්දීම සැවැත් නුවර බලා පිටත් වූහ. එහෙත් තුන් මාසයක් පැවැති මහ වැසි නිසා මාර්ග අබලන්ව තිබිණි. තවමත් මඳ වැසි පවතින නිසා මෙම භික්‍ෂු පිරිස මඩ තැවරුණ දිය බේරෙන සිවුරුවලින් යුක්තවයි ඉතාම අපහසුවෙන් ජේතවනාරාමයට ළඟාවූයේ. තමන් බැහැ දැකීමට පැමිණි මෙම භික්‍ෂූ පිරිස පත්වී ඇති කරදරය මැනැවින් දුටු බුදුපියාණන් වහන්සේ තවත් අතිරේක සිවුරක් තිබුණේ නම් මඩ තැවරුණු සිවුර සෝදා ගන්නට හැකියාව ලැබෙන බවත්, යම් කාලයකට හෝ තුන් සිවුරෙන් වෙන්ව සිටීමේ ආනිශංස ආදියත් සලකා ”අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භීක්‍ඛුනං කඨිනං අත්‍ථරිතුං” යනුවෙන් වස් වසා නිමකොට පවාරණය කළ භික්‍ෂුවට කඨිනයක් ඇතිරීමට අනුදැන වදාළහ.

භික්‍ෂූන් වහන්සේට ලැබෙන ආනිශංස

වෙනත් පූජාවන්හිදි පූජාව කරන ලද දායක පක්ෂයට ලැබෙන විශේෂ ආනිශංස ආදිය ඉහළින් දක්වා තිබේ. කඨින පූජාවේ වැදගත්කම නම් පූජාව කරන දායක පිරිසට මෙන්ම ලබන්නා වු භික්‍ෂූන් වහන්සේටද විනය ශික්ෂා පද පහකින් ආරක්‍ෂා විය හැකි ආනිශංස ලබා ගැනීමට හැකිවීමයි.

පඤ්චානිසංස සහිතං - පංච දෝස විවජ්ජිතං
හන්ති වජ්ජංති සංඝස්ස – තස්මා කඨිනමුත්තමං

ඉහත දැක්වෙන පරිදි දෝෂ පහක් බැහැර කොට පංච ආනිශංසයන් ලබාදීමට සමත්වන නිසා කඨිනය උතුම් යැයි සඳහන් වේ.

භික්‍ෂූන් වහන්සේ ට ප්‍රාතිමෝක්ෂයෙහි පැනවූ ශික්ෂාපද උල්ලංඝනය කිරීමට විනයෙන් ඉඩක් නැත. එහෙත් කඨිනයක් ලැබූ භික්‍ෂුවකට කඨිනය ලැබූ දිනයෙහි සිට මැදින් පුර පොහොය දක්වා (පස් මාසයක්) බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිශංස පහ නිසා යම් ශීක්‍ෂා පදවලින් තාවකාලිකව නිදහස් වීමක් දක්වා ඇත. එම ආනිශංස මෙසේය.

1. අනාමන්තචාරය
2. අසමාදානචාරය
3. ගණ භෝජනය
4. යාවදත්‍ථ චීවරය
5. යොචතත්‍ථ චිවරුප්පාදය

අනාමන්තචාරය

ප්‍රාතිමෝක්ෂයේ අචේලක වග්ගයේ සයවෙනි ශික්‍ෂාපදයෙන් නිදහස්වීමේ ආනිශංසයයි. මේ ශික්‍ෂාපදයේ හැටියට විහාරයෙහි වාසය කරන භික්‍ෂුවගෙන් නොවිමසා කුල ගෙවල හැසිරීමෙන් ආපත්තියක් සිදුවේ. එහෙත් කඨිනය ඇතිරූ භික්‍ෂුවට ආරාමයෙහි භික්‍ෂු නමකට නොදන්වා කුලගෙවල හැසිරීමෙන් වන ඇවතින් නිදහස් වීමට හැකිය. උපනන්ද භික්‍ෂුව ආරාමයෙහි තවත් භික්‍ෂුන් සිටියදි තමන් පමණක් කුලගෙවලට ගොස් තනිවම දන් වළදා එන සිරිත නිසයි මේ ශික්‍ෂාපදය පනවා තිබුණේ.

කඨිනානිශංසයක් හැටියට එය ලිහිල් කිරීම සිදුවේ. සිවුරු පූජා කරන කාලයෙහි භික්‍ෂූන් ගමට නොයෑම නිසා සිවුරු හිඟවිය. එය දැනගත් බුදුරජාණන් වහන්සේ සිවුරු පූජා කරන කාලයෙහි ආරාමයෙහි භික්‍ෂුවකට නොදන්වා කුල ගෙවල හැසිරීමෙන් වන ඇවතින් මිදිය හැකි බව අනාමන්තචාර යන ආනිශංසය දැක්වීමෙන් පැහැදිලි කර දුන්හ.

අසමාදානචාර

ප්‍රාතිමෝක්‍ෂයෙහි නිසඟි පචිතිවල දෙවැනි ශික්‍ෂා පදයෙන්, අධිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රි ඉක්මවීමෙන් ආපත්තියක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්‍ෂුවට ඇවැත් සිදුනොවීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එයද එක් කඨිනානිශංසයකි.

භික්‍ෂූන් වහන්සේට නොයෙක් තැනින් ලැබුණ සිවුරු තැන් තැන්වල දමා තිබීම ආදිය සලකා මුලින් මේ ශික්‍ෂාපදය පනවා තිබුණි. එහෙත් කඨිනය ලැබූ කාලය තුළ මේ ශික්‍ෂාපදයෙන් නිදහසක් ලැබීමට අවස්ථාව සලසා දී තිබේ.

ගණ භෝජනය

ප්‍රාතිමෝක්‍ෂයේ භෝජන වග්ගයේ දෙවැනි ශික්‍ෂාපදය මේ ගණ භෝජනයයි. එයින් නිදහස් වන අවස්ථා ලෙස ගිලන් සමය ආදි අවස්ථා කිහිපයක්ද දක්වා ඇත. ගණ භෝජනය ලෙස දැක්වෙන්නේ, කිසියම් පුද්ගලයකු පැමිණ භික්‍ෂුවකට පූජා කරන අදහසකට වඩා හිතමිත්‍ර භාවයෙන් කෙරෙන සංග්‍රහයක් වශයෙන් අපගේ ගෙදරට එන්න, ආහාර වේලක් ගන්න යනුවෙන් කරන ඉල්ලීමකදී සතර නමක් හෝ වැඩි පිරිසක් එහි ගොස් වැළැදීම හෝ අපට කෑමවේලක් දෙන්න කියා තමන් කියවා සූදානම් කරගෙන එසේ ගොස් වැළැඳීමෙන් සිදුවන ඇවතයි.

එහෙත් කඨිනය අතුල භික්‍ෂුවට කඨිනානිශංස කාලය තුළ මේ ඇවතින් නිදහස් බව ලැබී තිබේ.

යාවදත්ථචීවර

නිසඟි පචිතිවල පළමුවැනි ශික්‍ෂාපදයෙන්, දස දිනකට වඩා අතිරේක සිවුරක් අධිෂ්ඨානාදිය නොකොට තබා ගැනීමෙන් ඇවතක් සිදුවන බව දක්වා තිබේ. එහෙත් කඨිනයක් ලැබූ භික්‍ෂුවකට කඨිනානිශංස කාලය තුළ ආරාමයට ලැබෙන සිවුරු යම් තාක් ද ඒවා තබා ගැනීමේ වරප්‍රසාදය ලැබී තිබේ. එය යාවදත්ථ චීවර යන ආනිශංසය ලෙස දැක්වේ.

යෝචතත්ථ ච්වරුප්පාදය

කඨිනය අතුල භික්‍ෂුවකට එම සීමාව තුළ මතක වස්ත්‍ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතුකොට පුදනු ලැබීමෙන් හෝ ඒ ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සඟ සතු සිවුරු හා පූජා භාණ්ඩ ලැබුණහොත් කඨිනානිශංස කාලය තුළදි කඨිනය අතුල භික්‍ෂූන්ට හිමිවේ. මෙය කඨිනය අතුල භික්‍ෂූන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙස සැලකේ.

මෙසේ කඨිනය ලැබු භික්‍ෂුවකට කඨින බලය බලපැවැත්වෙන පස් මාසය තුළ වරප්‍රසාද පසක් ලැබීමේ ආනිශංස ලැබේ.

දායකයාට මහත් අනුසස්

අට මහ කුසල් බෞද්ධයන් අතර ඉතා ප්‍රසිද්ධය. එහි මුල් තැන ලැබෙන්නේ කඨින පූජාවටයි.

කඨිනට්ඨ පරික්ඛාරං- වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස – පටිමා කරණං පිච
කරණං වච්චකුටියා - අට්ඨ පුඤ්ඤානි චුච්චරේ
(කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි කඨින දානය, අට පිරිකර පූජාව, අවාස සාදා පූජා කිරීම, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන්දීම, ධර්මය ලිවීම, කෙත්වතු පිදීම, බුද්ධ ප්‍රතිමා කරවීම,වැසිකිළි කැසිකිළි සෑදීම අට මහා කුසල්ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතුරින්ද ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාවයි. පංචානන්තරිය පාප කර්මය කරගෙන නොමැත්තේ නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිශංස හේතුවන්නේය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර, නොසෙල්වෙන, අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන්වේ. කඨින දායකයන් චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවෙකු ලෙස සලකා මෙම නම් භාවිත කළ බව පෙනේ. ඔහු කල්‍යාණ පෘතග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිරය. කාමසුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.

වසරකට එක් තැනකදී එක්වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්‍ෂුවක ඇසළ පෝය දිනට පසු දිනයේ පෙරවස් සමාදන්ව වස් කඩා නොගෙනවස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතුය. එවැනි ස්ථානයකදි වුවද වසරකට එක් වරක් කර ගත හැකි මෙම පින්කම වුවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප්පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පොහොය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදී ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාත් කඨින දානය දුර්ලභ පින්කමකි.

කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිශංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේය. එහි සඳහන් වන්නේ, බුදුරජාණන් වහන්සේ ඒහි භික්‍ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබු සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා, සසර විශේෂ පින්කමක් සිදුකළ භික්ෂු නමක් සිටීනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාගිත මහ රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිශංස ප්‍රකාශ කළ ආකාරයයි.

තමන් විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූ®වරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර, කඨිනයක් පූජා කොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්‍ෂය ඥානය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බව නාගිත තෙරණුවෝ පැවසූහ. නිවන කුළුගන්වමින් කරගත් එම පින්කම නිසා එදා පටන් කිසිම අවස්ථාවක දුගතියක නූපන් බවත් මනුෂ්‍ය දිව්‍ය ආත්මවලම පමණක් උපත ලද බවත් උන්වහන්සේ පැවැසූහ. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.

යාවතා සබ්බ පරික්ඛාරේ – සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස– කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං– සංඝෙදෙති තිචීවරං
එකස්ස කඨින දානස්ස– කලංනාග්ඝති සොළසිං
(30 -31 නාගිතාපදානය)

භික්‍ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිශංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.

තවද තමන් කඨින පූජාව නිසා ලැබූ ආනිශංස විස්තර කරන නාගිත මහරහතන් වහන්සේ,

අට්ඨාරසන්නං කප්පානං – දෙවලොකෙ රමාමහං
චතුතිංසක්ඛත්තුං දේවින්දෝ – දේව රජ්ජ මකාරයිං

යනුවෙන් කල්ප දහ අටක් දිව්‍ය ලෝකයෙහි දිව සැප විඳින්නටත්, තිස් හතර වාරයක් තව්තිසා අධිපති ශක්‍රදේවේන්ද්‍රව උපදින්නටත් අවස්ථා ලැබුණ බව දක්වා ඇත.

අසිතිච චතුක්‍ඛත්තුං – චක්කවත්ති මහාසයං
පදේස රජ්ජං විපුලං – ගණනාතෝ අසංඛයා

අසූහතරවාරයක් සක්විති රජව ඉපදී අප්‍රමාණ සම්පත් භුක්ති විඳි බවත් මිනිස් ලොව ප්‍රදේශ රාජ්‍යයන්හි අධිපති බව ලැබූ වාර ගණන නියමයක් නැති බවත් දක්වමින් කඨින පූජාවෙන් ලැබෙන ආනිශංස පැහැදිලි කර ඇත.

සබ්බ දානං දදන්තේන – අස්මි පුථුවි මණ්ඩලේ
සංඝස්ස දින්නං කඨිනං – අග්ගං බුද්ධෙන වණ්ණිතං
මානුසිකාව සම්පත්ති – දේවලෝකෙච යාරති
යාව නිබ්බාණ සම්පත්ති - සබ්බ මෙතෙන ලබ්භති

මේ පොළෝ තලයෙහි සියලු දන්දීම් අතර සංඝයාට දෙන ලද කඨිනයම උතුම් යැයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබෙන බවත් මනුෂ්‍ය, දිව්‍ය නිර්වාණ යන ත්‍රිවර්ග සම්පත්තියම මෙම කඨින දානයේ ආනිශංස වශයෙන් ලැබෙන බවත් ඉතා උත්කර්ෂවත් ලෙස නාගිත මහ රහතන් වහන්සේ සිය කඨිනානිශංස වර්ණනාවෙන් එදා මැනවින් පැහැදිලි කර දුන්හ.

විශාල ජන පිරිසක් සහභාගි කරගෙන කරන පුජාවක් බැවින්ද කඨින පූජාවෙන් ලැබෙන ආනිශංස ඉතා විශාල බව මෙම කරුණුවලින් මැනැවින් පැහැදිලි වේ.

භෞතික වශයෙන් කඨින පූජාවෙන් විවිධ ආනිශංස ලැබුණත් ඒ සම්පත් බලාපොරොත්තුවෙන්ම කඨින පූජා සිදු කරනවාට වඩා නිර්වාණ ධර්මය ශාක්ෂාත් කරගැනිමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙම පින්කම් සිදු කිරීම සසර ගමන කෙටිකරගැනීමට හේතුවන බව කල්පනාකොට කඨින පූජාවෙහි උනන්දු වෙත්වා.!

කඨින පූජාව කළ යුතු අයුරු

කඨින පූජාවක් කිරීමට බලාපොරොත්තුවන දායකපින්වතුන් උපසම්පන්න භික්‍ෂූන් වහන්සේට ඇසළ මස අවපෑලවිය දිනයේදී ගෞරවයෙන් යුතුව “ස්වාමීනි, අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තුන් මාසයෙහි මේ ස්ථානයෙහි වස් සමාදන්ව වැඩ සිටිනු මැනැවි. ඔබ වහන්සේට අධ්‍යාත්ම විමුක්තිය ඇති කර ගැනීමට අවශ්‍ය සිව්පස දානයෙන් අපි උපස්ථාන කරමු.අපටද ශීල සමාදානාදි උතුම් ප්‍රතිපත්ති රැක ගැනීමටත්, ධර්ම දේශනාදිය ශ්‍රවණය කිරීමටත් විශේෂයෙන් ඔබ වහන්සේගේ අනුග්‍රහය ලැබේවා”යි ප්‍රකාශ කරමින් දැහැත් ගොටු, වැසි සළු පිළිගන්වමින් ආරාධනය කළ යුතුයි. එම ආරාධනය පරිදිම වස් කාලය පුණ්‍ය කාලයක් ලෙස සලකා වෙනදාට වඩා උනන්දුවෙන් භික්‍ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කළ යුතු අතර තමන්ද ඉතා හොදින් ගුණධර්ම ආරක්‍ෂා කළ යුතුයි. වස් පවාරණය කළපසු ප්‍රමාණවත් පරිදි සංඝයාට ආරාධනා කොට ප්‍රමාණවත් පරිදි සිවුරකට වස්ත්‍ර හෝ එසේ නොමැති නම් තුන් සිවුරෙන් එක්සිවුරක් හෝ කඨිනයට පූජා කළ හැකිය.

අපේ පැරැණි චාරිත්‍ර අනුව සිවුර හෝ වස්ත්‍රය ගමේ සියලු දෙනාටම සම්බන්ධ විය හැකිසේ ගෞරව සහිතව වැඩමවා, වස්ත්‍රයක් නම් “ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම” කියාද සිවුරක් නම් ”ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම” කියාද තෙවරක් කියා පූජා කළ යුතුයි. වස්ත්‍රයක් නම් එදිනම මසා පඬුපොවා ගැනීම සඳහා අවශ්‍ය ඉදිකටු, නූල්, පඬු ආදි උපකරණ ද සපයා දිය යුතුයි. තවද කඨින සිවුර පූජා කරන අවස්ථාවේදී සංඝයාගේ ප්‍රයෝජනයට ගත හැකි ගරු ලඝු භාණ්ඩද පූජා කළ හැකිය. කඨිනය සමඟ පූජා කරන එම භාණ්ඩ කඨිනානිශංස පරික්ඛාර යැයි සඳහන් කරනු ලැබේ. එයින් අදහස් කරන්නේ කඨිනය සමඟ, එම ස්ථානයේ එ දවසෙහි පූජා කරන සියලු දේ වෙනුවෙන් කඨිනානිශංසය ලැබෙන බවයි.

දායකපින්වතුන් ඉතා උනන්දුවෙන් කඨින පූජාවක් සිදුකරනවාසේම භීක්‍ෂූන් වහන්සේද වෙනත් පූජා ලබනවාට වඩා කඨිනයක් ලැබීමේදී ඉතා උනන්දුවෙන් ඒ සඳහා සූදානම් වෙති. මේ පුජාව විනය නීති සමුදායකට සම්බන්ධ වීමත්, කරුණු රාශියක් විශේෂයෙන් සම්පූර්ණ වීමෙන් ම ලැබීමත් මෙයට එක් හේතුවක් වේ.

සැදැහැවතුන් කඨින වස්ත්‍රයක් හෝ සිවුරක් පූජා කළ පසු, වස් විසු සීමාවෙහි සිටින භික්‍ෂූන් අතරින් සිවුරක් ලැබීමට ඉතාම සුදුසු භික්‍ෂුව තෝරා එම භික්‍ෂුවට සංඝයා විසින් සිවුර නැවත පවරනු ලැබේ. පළමුව දායකයන් විසින් සංඝයාට පූජා කරන ලද සිවුර සංඝයා විසින් සීමාවකදී විනය කර්ම වාක්‍යයකින් භික්‍ෂු නමකට පවරනු ලැබීමද කඨින පූජාවෙහි විශේෂ අවස්ථාවකි. මේ පූජාව සිදු කිරීමට අඩුම වශයෙන් සීමාවට භික්‍ෂූන් පස් නමක්වත් රැස්ව සිටිය යුතුයි. එහිදි කඨිනය පවරන භික්‍ෂුවගේ නම් කර්ම වාක්‍යයට ඇතුළත් කොට ව්‍යක්ත ප්‍රති බලසම්පන්න භික්‍ෂු දෙනමක විසින් කර්ම වාක්‍ය ප්‍රකාශ කරනු ලැබ සිවුර නියමිත භික්‍ෂුවට භාරදීම සිදුවේ.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]