UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - මිථ්‍යා මතවලට මුළා නොවී පිවිතුරු දහම අගයමු

මිථ්‍යා මතවලට මුළා නොවී පිවිතුරු දහම අගයමු

බුද්ධ දේශනාවෙන්ම හඳුන්වා දෙනවා නම් සර්පයා ඔලුවෙන් අල්ලනවා වෙනුවට වලිගයෙන් ඇල්ලීමට ඇතැමුන් පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ අලගප්පදුම සූත්‍රය දේශනා කරන්නේ ‘මාගේ ධර්මය සර්පයෙක් හා සමානයි. ඒ සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් පමණයි. ඔලුවෙන් ඇල්ලූ කල සර්පයාට වෙලා ගැනීමට හැකියාව තිබුණත් දෂ්ට කිරීමට බැහැ

සම්බුද්ධත්ව ජයන්තිය ඉහලින් සැමරූ මෙකල බුදු දහමෙහි විශාල පිබිදීමක් ප්‍රබෝධයක් දක්නට තිබෙනවා. බුදු දහම උද්දීපනය වී සමාජයේ ඉහළට නැඟ එනවා.

ධර්මය මෙසේ දීප්තිමත්ව බබළන විට ධර්මය උපයෝගී කරගෙන එමඟින් වාසි ලබා ගැනීමට විවිධ කණ්ඩායම් බිහිවීම සෑම කල්හිම සිදුවන දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් මෙවන් තත්ත්වයක් දක්නට තිබුණා. අදත් ඒ තත්ත්වය වෙනසක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ රහතන් වහන්සේට ජනතාවගේ ඉමහත් ගෞරවයක් භක්තියක් තිබුණා. එමෙන්ම ජනතාව වැඩි වශයෙන් සැලකිලි කරනු ලැබුවා. රහතන් වහන්සේට ජනතාව දක්වන ලද මේ සැලකිල්ල ගැන අවධානය යොමු කරපු ඇතැම් භික්ෂු කණ්ඩායම් ජනතාව එන ම¼ඟ රැක ගෙන සිටියා.

එම කණ්ඩායමේ එක් භික්‍ෂූන් වහන්සේ නමකට ‘ඔබ වහන්සේ අර ගස යට අසුන්ගෙන භාවනා කරන්නැ’යි දැනුම් දෙනවා. සෙසු භික්ෂූන් පිරිස මඟ රැක සිටිනවා.

ජනතාව දානය රැගෙන පැමිණෙන විට භාවනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේ පෙන්වා ‘අර භික්ෂූන් වහන්සේ රහත් වෙලා’ යැයි පවසනවා. උන්වහන්සේ බොහොම හොඳ රහතන් වහන්සේ නමක්, උන්වහන්සේට දානය ලබා දීමෙන් මහත් වූ පින් සිදුවෙනවා.

ජනතාව තමන් වෙත රැගෙන එන දානය පුද පූජා ගස යට භාවනා කරනු ලබන භික්ෂූන් වහන්සේට පූජා කරනවා. ඒ රහතන් වහන්සේට ඇති ගෞරවය නිසයි.

දානය පිළිගැන්වූ ජනතාව බැහැර වූ පසු සියලු භික්ෂූන් එක් වී ආහාර වළඳනු ලැබුවා. මෙවැනි ක්‍රියාකාරකම් එදා මෙන්ම අදත් සිදුවෙනවා.

මේ තත්ත්වය මත අද බොහෝ ගිහි පිරිස් මංමුළාවූ ස්වරූපයක් දක්නට තිබෙනවා. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කසාවත පොරවාගත් හෝ සුදුවත ඇඳගත් අය තමන්ට සිතෙන අයුරින් බුදුදහමට විවිධ කොටස් එකතු කර ඇතැම් විට බුදු දහම විකෘති කරනවා.

මෙය නොදන්නා ගිහි පිරිස් ඒ අය වෙත ඇදෙනවා. මේ සියලු දෙනා පිටතින් පෙනෙන්නට සිල්වත් බව පෙන්වමින් තමන්ට සිතෙන දේ බුදු බණ යැයි කියමින් ජනතාවට විකෘති වු කරුණු පවසන අයයි. ඔවුන් අත පය වෙහෙසා වැඩ කිරීමට අකැමැති අයයි. ශීල ධර්මයත් ගුණදහම් දැඩි වෙහෙසක් දරමින් වඩන ලද භික්ෂූන් විසින් ඇති කර ගන්නා ලද තත්ත්වයන්ට කිසිදු වෙහෙසක් නොදරා ජනතාව මුළා කරමින් ව්‍යාජ ලෙසින් ළංවීමට දරණ එවන් ගිහි පැවිදි පිරිස් දක්නට සිටිනවා.

එසේම මෙරට ජනතාවගෙන් කොටසක් මාර්ගඵල ලාභීන්ට දැඩි ඇල්මක් දක්වනවා.මේ නිසා ඇතැම් අය තමන් සෝවාන්ලාභී සකෘදාගාමී ආදි වශයෙන් අන්‍යයන්ට කරුණු දක්වනවා. මේ කරුණු දිහා අප බැලිය යුත්තේ උපේක්‍ෂාවෙන් . බුදු දහම උපේක්‍ෂාව ,අහිංසාව පදනම් කරගත් දර්ශනයක්. බුදු දහමේ හිංසකත්වයට කිසිඳු තැනක් ලබා දී නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන්ම අපට මේ සඳහා උදාහරණ ලබා ගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ සමඟම ජේතවනාරාමයේ වැඩ විසු දේවදත්ත භික්ෂුව, සත්තරස භික්ෂූන් ජබ්බග්ගිය භික්ෂූන් එකල වැඩ සිටියා.

එමෙන්ම වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ මූලයත් එකල දක්නට ලැබුණා. දේවදත්ත හිමියන්ගේ අනුගාමිකයන් වෙනමම හිටියා. සුභද්‍ර වැනි භික්‍ෂූන් දෙස බැලූ විට අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සසුන තුළම එවන් අඩුපාඩුකම් සහිත භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින බවයි. සුභද්‍ර භික්ෂුවට නොබියව එම වදන් ගෙනහැර දක්වන්නට තරම් ශක්තියක් තිබීමෙන් පෙනෙන්නේ සුභද්‍ර වැනි භික්ෂූන්ට සමාන අදහස් ඇති භික්‍ෂූන් එකල වැඩ සිටි බවයි. බුදු දහමට විරුද්ධව වැඩ සිටි පිරිස් එදා සිටි නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඉක්ම යාමටත් පෙර ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු කෙළේ.

මේ නිසා ධර්මයේ නාමයෙන් ගොඩ නැඟී එන ඇතැම් ආගමික කණ්ඩායම් පොතපත, අසපු, බුදුවරු, රහතන් වහන්සේ දෙස අප උපේක්‍ෂාවෙන් බැලිය යුතු වෙනවා. ඔවුන් සැබෑ දහම වෙනුවට මිථ්‍යාදෘෂ්ටිය වැළැඳගෙන අකුසල් පුරවා ගන්නා බව දැක අප ඔවුන් කෙරෙහි උපේක්ෂාව පැතිර විය යුතු වෙනවා. ඔවුන් මෙතරම් ගුණ දහම් පිරුණු බුදු දහම වෙනුවට හරසුන් දේ වැළැඳ ගන්නා ඔවුන් කෙරෙහි අප සංවේගජනක විය යුතුවෙනවා.

බුද්ධ දේශනාවෙන්ම හඳුන්වා දෙනවා නම් සර්පයා ඔලුවෙන් අල්ලනවා වෙනුවට වලිගයෙන් ඇල්ලීමට ඇතැමුන් පෙළඹෙනවා.

බුදුරජාණන් වහන්සේ අලගප්පදුම සූත්‍රය දේශනා කරන්නේ ‘මාගේ ධර්මය සර්පයෙක් හා සමානයි. ඒ සර්පයා ඇල්ලිය යුත්තේ ඔලුවෙන් පමණයි. ඔලුවෙන් ඇල්ලූ කල සර්පයාට වෙලා ගැනීමට හැකියාව තිබුණත් දෂ්ට කිරීමට බැහැ. ‘ධර්මය වැරැදි විදිහට අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අද අප අතර දක්නට තිබෙනවා.

මේ නිසා ශ්‍රාවකයා අවදියෙන් සිටීම මෙහිලා වැදගත් වෙනවා. අපේ ජනවහරේ ඇති ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න සේම ‘ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි ‘යන්න ගැනද අප අවබෝධයෙන් සිටිය යුතුවෙනවා.

අප සමාජයේ බුදු දහමට පමණක් නොව ඕනෑම කරුණක් උදෙසා විවිධ මත තිබෙන්නට පුළුවන්. එහෙත් සරු දේ මෙන්ම නිවැරැදි දේ තේරුම් බේරුම් කර ගන්නට අප බුද්ධිමත් විය යුතුවනවා.

කොළඹ සිට කතරගමට යා හැකි මාර්ග කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් පහසුවෙන් ඉක්මනින් යා හැකි මාර්ගය නිවැරැදිව තෝරා ගැනීමට අපට පුළුවන් විය යුතුය. එම නිසා දේශකයන්, ලේඛකයන් විවේචනය කරනවාට වඩා තල්ගෙඩියට බියවී (සිංහයා හැර) සෙසු සත්ත්වයන් දිව ගියා සේ නොකර බුදුදහමින් අපට උගන්වා ඇති පරිදි අපගේ ඥානය භාවිතා කළ යුතුවනවා.

අප සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන්න සොයා යා යුතුයි.

අපේ තරුණ දු පුතුන්ට මේ අසපු, බුදුවරු, ආදින් ගැන විවිධ ගැටලු මතු වන්නට පුළුවන්.මේ බුදුවරු රහතන් වහන්සේලා යැයි කියන අයගේ මතය කුමක්ද? ඔවුන් වටා ජනතාව එක් රොක් වී සිටින්නේ ඇයිද යන ප්‍රශ්න මතුවනවා ඇති. ඒ සඳහා මෙරට සංඝ සංස්ථාව එක්කර සංඝාධිකරණයක් ඇති කළ යුතුවනවා.

ස්වාමීන් වහන්සේලාගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් ඒ සම්බන්ධව නිසි පියවර ගත යුතුවෙනවා. එමෙන්ම බෞද්ධ පොත පත මුද්‍රණය කිරීමට පෙර ඒ සම්බන්ධව අධීක්‍ෂණය කළ යුතු තැනක් නොමැති වීම නිසා අද බෞද්ධාගමට නිගාදෙන පොත පත බිහිවෙලා. මේ නිසා බෞද්ධ පොත පත මුද්‍රණයට පෙර ඊට අනුමැතියද ලබාදෙන ආයතනයක් තිබිය යුතු වනවා. එම ආයතනයෙන් කඩිනමින් එම පොත පත සම්බන්ධව නිර්දේශයක් ලබා දිය යුතුවෙනවා.

එසේ නොමැතිව අප මිථ්‍යා මත දරන තැනැත්තන් සමඟ කලහයට ගියහොත් ගැටලු විසඳීම වෙනුවට ගැටුම් ඇතිවීමක් පමණයි සිදුවන්නේ.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]