UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - ලංකා විදුලිබල මණ්ඩලීය බෞද්ධ සංගමය

ලංකා විදුලිබල මණ්ඩලීය බෞද්ධ සංගමය

ලංකා විදුලිබල මණ්ඩලයීය සේවක සේවිකාවන්ගේ අභිවෘද්ධිය සැලසීම, බෞද්ධ පිළිවෙත් රැකීම, ප්‍රතිපත්ති හා සාරධර්ම ප්‍රගුණ කිරීම පරාමාර්ථ කොට ගෙන ලංකා විදුලිබල මණ්ඩලයීය බෞද්ධ සංගමය 2004 ජනවාරි මස පිහිටුවන ලදී.

ආයතනයක් වශයෙන් කළහැකි වන්නාවූ කාර්ය පරාසයන් තුළ හිඳිමින් දාන ශීල භාවනා දී පින්කම් කිරීම සංගමය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන පින්කම් අතර වෙයි. මේ සඳහා වසර පුරා නොයෙකුත් විශේෂ අවස්ථාවල විවිධ වැඩසහටන් දියත් කර ඇත. ප්‍රධාන වශයෙන්ම සේවක මහත්ම මහත්මීන්ගේ සිත් සතන් තුළ බොදු හැඟීම් ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් මාසිකව ධර්ම දේශනාවක් ප්‍රධාන කාර්යාලය තුළ පවත්වාගෙන යනු ලබන අතර මාස 3 කට වරක් ශීල සමාදාන වැඩසටහනක් ප්‍රධාන කාර්යාලය අවට විහාරස්ථානයක සෙනසුරාදා හෝ රජයේ නිවාඩු දිනයක පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා දිවයිනේ නන් දෙස වැඩ සිටින ධර්මධර ස්වාමීන්වහන්සේලා වඩමවාගෙන විත් ශීල භාවනා වැඩසටහන් පවත්වාගෙන යාමට කටයුතු කරගෙන යයි.

වෙසක් උත්සවය වැනි විශේෂ උත්සව අවස්ථාවලදී ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට බිස්කට්, සිසිල්බීම, ඔසුපැන් දන්සලක් වාර්ෂිකව පවත්වාගෙන යයි.

“අසරණයන්ට සරණවීමේ” බෝධිසත්ව ගුණාංගය ආදර්ශයට ගනිමින් යම්කිසි අනාථ නිවාසයක් හෝ තෝරාගත් එවැනි ආයතනයකට ආධාර කිරීමත් වෙසක් උත්සවයට සමගාමීව අපට හැකි ශක්ති ප්‍රමාණයෙන් සිදුකරගෙන යනු ලබයි.

එසේම වර්ෂයක් පාසා දිවයිනේ දුර බැහැර පිහිටියාවූ එවැනි සරණවිය යුතු ආයතනයක් (අනාථ නිවාසයක් දුෂ්කර දහම් පාසලක් පිරිවෙනක් පාසලක් පෙර පාසලක) තෝරාගෙන එම ආයතනයට අවශ්‍ය අඩුපාඩු සොයා බලා ඒවා ලබාදීමටත් එම ද්‍රව්‍යයන් සාමාජිකයන්ගේ දෑතින්ම ගෙන ගොස් ලබාදීමට හැකිවන අයුරින් වන්දනා චාරිකාවක් සූදානම් කරගෙන සුදුසු වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම සංගමයේ සාමාජිකයින්ගේ පරෝපකාරය වැඩිදියුණු කිරීම මෙන්ම නොයෙක් ජන සමාජ අතර සුහදත්වය හා සමාජානුයෝජනය වැඩිදියුණු කිරීම උදෙසා දරන උත්සාහයකි.

මේ අන්දමින් විවිධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අවස්ථාවන් කිහිපයක් ලෙස කහටගස්දිගිලිය වහගහපු වැව ග්‍රාමයේ දරුවන්ටත්, ඓතිහාසික සෝමාවතී විහාරය අවට පිහිටි පාසලක දරුවන්ටත් එහි ගොස් පාසල් නිල ඇඳුම්, රෙදිපිළි, පොත්පත්, පාසල් උපකරණ ආදිය ලබාදීම ද පුස්තකාලයකට අවශ්‍ය උපකරණ හා පොත්පත් ලබාදීමද, පෙර පාසලක් නවීකරණය කිරීමද දැක්විය හැක.

තවද හොරොව්පතාන ත්‍රිකුණාමලය ආදී දුෂ්කර පාසල්වල පිහිටි තෝරාගත් පාසල්වල දරුවන්ටද පාසල් උපකරණ ආදිය ලබාදීමට ද සංගමයට හැකිවිය.

එසේම අනුරාධපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන බාලිකා නිවාසයක එක් දිනක බර පැන සංගමය විසින් දැරීමට භාරගෙන පවත්වාගෙන යයි.

එමෙන්ම අප රටේ බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ වගකීම් ද මැනවින් හඳුනාගත් සංගමයට අභයගිරිය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදලින් මෙන්ම ශ්‍රම දායකත්වය සැපයීමට හැකිවීමද සංගමය ලද භාග්‍යයක් කොට සලකමු.

මේ අයුරින්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව “යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හේ මට උපස්ථාන කළාසේ ය” යනුවෙන් දේශනා කර ඇති පරිදි වාර කිහිපයකදීම මහරගම පිළිකා රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වියලි ආහාර ද්‍රව්‍ය හැකි ශක්ති ප්‍රමාණයෙන් ලබාදීමට කටයුතු කළ අතර බාහිර රෝගී අංශයට ද යම් පමණකට රෝගීන්ගේ පිපාසය සංසිඳවීමට අවශ්‍ය සංග්‍රහයක් ද සිදුකිරීමට හැකිවිය.

2012. 09. 18 වන දිනද පිළිකා රෝහලේ ළමා වාට්ටු කිහිපයක් තෝරාගෙන එම වාට්ටුවල ප්‍රතිකාර ලබන බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමට ආර්ථික අපහසුකම් ඇති රෝගී දරුවන් වෙනුවෙන් බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට හැකිවූ අතර ඉදිරියේදීත් එම කටයුත්ත නොකඩවා පවත්වාගෙන යාම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීම කෙරෙහි සංගමයේ විශේෂ අවධානය යොමුකොට මේ වනවිට ඒ සඳහා වැඩපිලිවෙලක් සකස් කරගෙන යනු ලබයි. මේ සියලු උතුම් සත් කාර්යයන් ඉටුකිරීම සඳහා සංගමයට ශක්තිය හා ධෛර්යය ලබාදීමේ ගෞරවය ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියට මෙන්ම බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන්ටද, විවිධ පළාත්වල සේවයේ නියුතුව සිටින සියලුම සේවක මහත්ම මහත්මීන්ටද, ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන විවිධ ආයතනයන්ටද හිමිවිය යුතුය.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]