UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> 75 වන ජන්ම දිනය සමරන හබරකඩ ඉන්දරතන නා හිමි

75 වන ජන්ම දිනය සමරන හබරකඩ ඉන්දරතන නා හිමි

ගාල්ල හබරකඩ ශශ්‍රී විජයානන්ද රාජමහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හබරකඩ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මෙම 16 වෙනි දිනට හැත්තෑපස් වසරක් සපිරේ.

ගාල්ල හබරකඩ කරුණාරත්න පරපුරේ සාමාජිකයෙකු ලෙස 1937 දී ජන්ම ලාභය ලබා හබරකඩ විජයානන්ද රාජමහා විහාරාධිපතිවරු ලෙස වැඩ සිටි මාවනානේ ශ්‍රී සෝණුත්තර නා හිමි සහ මාවනානේ කීර්ති ශ්‍රී පේමානන්ද නා හිමි යන දෙනමගේ ශිෂ්‍යයෙකු ලෙස 1951 දී පැවිදි දිවියට ඇතුළත්ව ගාල්ල කිතුලම්පිටිය ආනන්ද පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව ධර්මවිනය හා ශබ්ද ශාස්ත්‍ර හදාළහ. විද්‍යොදය පිරිවෙණේ දී ලෝ පතළ කීර්තිමත් යතිවරු සෙවෙණෙහි ඉන්දරතන නා හිමියෝ ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාළා පමණක් නොව බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල ධර්ම මාර්ගයට අනුගතව ස්වකීය අධ්‍යාත්මය ද සකස් කර ගත්හ. ඉන්පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගත්හ. හබරකඩ ඉන්දරතන නා හිමියන්ට විද්‍යෝදය පිරිවෙනේ ඉගෙන ගන්නා කාලයේ දී සමීප ඇසුරට කල්‍යාණ මිත්‍රයෙකු හමු විය. උන්වහන්සේ නම් තෙල්වතු සඟ පරපුරේ කීර්තිමත් යතිවරයෙකු වූ ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ හබරකඩ නා හිමියන්ගේ ජීවිතයේ ප්‍රවර්ධකයාණෝ ය.

හබරකඩ ඉන්දරතන නා හිමි අධ්‍යාපනය ලැබීමෙන් පසු රජයේ ගුරු සේවයට බැඳී විදුහල් කීපයක ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කොට මෙරට බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රමුඛතම පාසල වූ කොළඹ ආනන්ද විද්‍යාලයට 1975 දී දිවියාගහ යසස්සී නා හිමියන්ගේ ආශීර්වාදයෙන් පැමිණ පුරා විසි වසරක් ධර්මාචාර්යවරයෙකු ලෙස කටයුතු කළහ.

උන්වහන්සේගෙන් අනඳ මහ විදුහලට ලැබුණේ මහත් ශෝභාවකි. මේ වන විට උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලද ආදි ආනන්දීයයෝ දස දහස් ගණන් ලෝකය පුරා විවිධ උසස් තනතුරු දරමින් කටයුතු කරති. විද්‍යාලීය බෞද්ධ සංගමයේ හා ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ අනුශාසකවරයා ලෙස වරින්වර සංවිධානය කරන ලද නිර්මාණශීලී වැඩසටහන් මඟින් ආනන්ද විද්‍යාලයට පමණක් නොව ඈත පිටිසර දිළිඳු ගම්මාන පාසල්වලට මහත් ආශීර්වාදයක් ගෙන දුන්හ.

වියත් පඬිවරයෙකු ද ලේඛකයෙකු ද චතුර කථිකයෙකු ද වූ හබරකඩ ඉන්දරතන නාහිමියෝ ලෝකයේ බොහෝ රටවල පැවැත් වූ ආගමික සමුළුවලට සහභාගී වූහ. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ හා ලංකාව පුරා පවත්වන ලද ධර්ම දේශනාවන් දහසකට අධික ය. පුවත්පත් හා සඟරාවලට ඉතා වටිනා ලිපි නිරන්තරයෙන් ම ලියූහ. බෞද්ධ ලෝකයා ප්‍රබෝධමත් කිරීමට ඒවා බෙහෙවින්ම උපකාරී විය.

හබරකඩ ඉන්දරතන නා හිමියන්ගේ කාර්යක්‍ෂම, සුහදශීලී, සංවිධාන ශක්තිය පිළිබිඹු කරන කැඩපත වන්නේ හබරකඩ විජයානන්ද පිරිවෙන් රාජමහා විහාරයයි. වර්තමාන පිරිවෙන්වලට හා විහාරස්ථානවලට බොහෝ ආදර්ශ එම ආයතනයෙන් ලබාගත හැකි ය. සිය සහෝදර හා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට සියලු වගකීම් භාර කොට උන්වහන්සේ ඉතා සැහැල්ලුවෙන් රට පුරා සිදුවන උසස් ආගමික කටයුතුවලට සහභාගී වෙමින් වැඩ සිටිති. සිය සහෝදර භික්‍ෂූන් වහන්සේලා සමඟ පවත්වාගෙන යනු ලබන සුහදශීලී සම්බන්ධතාවය සැබවින්ම ආදර්ශ සම්පන්න ය.

පිය පුතු සෙනෙහස නො අඩුව පවත්වාගෙන යමින් ඇති කරන බුද්ධිමත් ශිෂ්‍යයෝ කිසිදා උන්වහන්සේ හැර නොයති. හබරකඩ විජයානන්ද පිරිවෙණින් ඇති වූ උගත් පැවිදි හිමිවරු දේශීය හා විදේශීය වශයෙන් සාර්ථක ආගමික මෙහෙවරක යෙදී සිටී. ලංකාව පුරා ධර්ම ශාස්ත්‍රීය සේවාව සිදු කරන යතිවරු රාශියක් වැඩ සිටින අතර ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, මැලේසියාව ආදී රටවල තවත් සිසු පිරිසක් ඉතා සාර්ථක ධර්මදූත මෙහෙවරක ද යෙදී සිටී. ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික නා හිමියෝ ඒ අතර ප්‍රධාන ය. හබරකඩ ඉන්දරතන නාහිමියෝ සියලු සහෝදර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ නොමඳ සහයෝගය ලබා ගෙන ස්වභාව ධර්මයෙන් වරින්වර ඇති වන අභියෝග ද ජය ගනිමින් විජයානන්ද පිරිවෙන් රාජමහා විහාරය සියලු විහාරාංගයන්ගෙන් සමලංකෘත ශාඛා විහාරස්ථාන රාශියක් සහිත මනරම් පුද බිමක් බවට පරිවර්තනය කර ඇත.

හබරකඩ ඉන්දරතන නාහිමියෝ මේ වන විට උසස් තනතුරු රාශියක් දරමින් අතිශයින් කාර්ය බහුල ජීවිතයක් ගත කරති. ගාලු දිස්ත්‍රික් මල්වතු පාර්ශ්වීය සංඝනායක සංවිධානයේ ප්‍රධාන සභාපති වශයෙන් ද, කඩුවෙල විහාරාධිපති සංගමයේ ප්‍රධාන සභාපති වශයෙන් ද, ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජික ලෙස ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සහාය ලේකම් ලෙස ද, විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමයේ උපසභාපති ලෙස ද කටයුතු කරති. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ආගමික මෙහෙවර අගය කළ මල්වතු මහාවිහාර ගරුතර සංඝසභාව ‘කීර්ති ශ්‍රී පර්යාප්ති විශාරද’ ගෞරව නාමය සහිත දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ද මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙණ මඟින් ‘විද්‍යෝදය ධර්ම ශාස්ත්‍ර විභූෂණ’ ගෞරව උපාධිය ද කොළඹ ආනන්ද විද්‍යාලය මඟින් ‘විශිෂ්ට සේවා විභූෂණ’ සම්මානය ද පිරිනමා ඇත.

හබරකඩ ඉන්දරතන නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ශිෂ්‍ය පිරිස හා දායක සභාව උන්වහන්සේට උපහාර පිණිස සුවිශේෂී කාර්ය කීපයක් සිදු කිරීමට සංවිධානය කර ඇත. ශතාධික සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම, “දිවිමඟ සරසන සුමිහිරි දහම් දෙසුම්” නමැති දහම් පොතක් එළිදැක්වීම, ධර්ම දේශනා හඬ පටයක් නිකුත් කිරීම, “ගුවනින් ඇසුනු සදහම් සිතුවිලි” පොතක් එළිදැක්වීම, පිරිවෙන් සිසුන් 15 නමක් සඳහා ශිෂ්‍යත්ව පිහිටුවීම ඒ අතර වේ. රත්නත්‍රයානුභාව බලයෙන් සියක් වසක් සසුන් වැඩ වැඩීමට හබරකඩ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරජීවනය ලැබේවා.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]