UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> උඩකැන්දවල චන්දවිමල නා හිමි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ධර්ම කීර්ති ශ්‍රී සරණංකර චන්ද්‍රානන්ද ගෞරව නාමය සහිත හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද

උඩකැන්දවල චන්දවිමල නා හිමි

සේවාව ප්‍රශංසනීය වේ

ශාස්ත්‍රවේදී උඩකැන්දවල චන්දවිමල ස්ථවිරයන් අපේ මල්වතු මහා විහාරපාර්ශ්වයට අයත්, දැන උගත් ශික්‍ෂාකාමී මහා විහාර සාම්ප්‍රදායන් මැනවින් ගරුකරන ස්ථවිර නමකි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෙරියකඩුනැලව පොත්ගුල් විහාරය සහ අනුරාධපුර තම්මැන්නාගල රජ මහ විහාරය ඇතුළු එම විහාරඝනයේ අධිපති ධූරය දරමින්, එම විහාරස්ථානයන් හි අභිවෘද්ධිය සහ මනා පැවැත්ම උදෙසා සිදු කර ඇති සේවාව ප්‍රශංසනීයවේ.

ලංකාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයන්ගෙන් ස්වකීය අධ්‍යාපන අභිලාෂයන් සාර්ථක ලෙස මුදුන් පමුණුවාගනු ලැබූ මෙම ස්ථවිරයන් ,පිරිවෙන් කීපයකම ආචාර්යවරයෙකු වශයෙන්ද මිහින්තලා රජ මහ විහාරස්ථ කාලපාසාද පිරිවෙණෙහි පරිවෙණාධිපති වශයෙන් ද මෙරට සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපනය කෙරෙහි සිදු කර ඇති සේවාව ඉතා ප්‍රශස්තය.

එසේම විවිධ සමිති සමාගම්වල නිලතල හොබවමින් ද දිළිඳු ගම්මාන, නොදියුණු පාසල්, වැඩිහිටි නිවාස යනාදියට අවශ්‍ය වන විවිධ පරිත්‍යාගයන් සිදු කරමින් ද, නොදියුණු ගම්මාන සංවර්ධනය කිරීමට අවශ්‍ය සේවා සපයමින්ද කටයුතු කරන, චන්දවිමල ස්ථවිරයන් විවිධ හැකියාවන් හා දක්‍ෂතාවයන්ගෙන් සමන්විතව ජාතික, ආගමික හා සාමාජයීය සේවයන් හි නිරත වෙමින් සිදු කර ඇති සේවාව වත්මන් පරපුරට මහඟු ආදර්ශයකි.

මේ සියලු සේවාවන් සැලකිල්ලට ගෙන අපේ මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාව විසින් “ධර්ම කීර්ති ශ්‍රී සරණංකර චන්ද්‍රානන්ද” යන ගෞරවනාමය සහිතව හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවියට උඩකැන්දවිල චන්දවිමල ස්ථවිරයන් පත්කරන්නට යෙදුනි. එබැවින් අනාගතයේදීත් ප්‍රශස්ත ආගමික, ජාතික හා සමාජයීය සේවාවන් ඉෂ්ඨසිද්ධ කර ගැනීමට හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් හා ශ්‍රී‍්‍ර දළදා සමිඳු පිහිටෙන් ශක්තිය ධෛර්යය හා චිරජීවනය ලැබේවායි ආශිංසනය කරම්හ.


සිදුකරන මෙහෙවර සුවිශාලය

පෙරියකඩුනැලව පොත්ගුල් විහාරය,අනුරාධපුර පණ්ඩුකාභයපුර තම්මැන්නාගල රජ මහා විහාරය, උඩතැන්වල රත්මල්ගොඩ අභිනවාරාමය, ගලේවෙල වෙත්තියාය ශ්‍රී ජයබෝධි විහාරය යන විහාරයන්හි අධිපති, ගෞරවාර්හ, උඩකැන්දවල චන්දවිමල ස්වාමීන් වහන්සේ වෙත “වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක” පදවිය පිරිනැමීම නිමිත්තෙන් පවත්වන උපහාර උළෙලේ දී ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මම අතිශයින් සතුටට පත් වෙමි.

වර්ෂ 1973 දී ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූ උන්වහන්සේ, නිකවැරටිය කොබෙයිගනේ සද්ධර්මෝද පිරිවෙන, ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙන යන පිරිවෙන්වලින් මූලික අධ්‍යාපනය ලබා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්හ.

අතීතයේ සිටම මේ රට ආරක්‍ෂා කරමින් ජනතාවට මඟ පෙන්වූයේ මහා සංඝරත්නයයි. ඒ අතර, පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකරන උන්වහන්සේ, සම්බුදු සසුන ආරක්ෂා කර ගත හැකි උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් තැනීම විශේෂයෙන් අගය කළ යුතුය.

උන්වහන්සේගේ ආගමික මෙහෙවර පමණක් නොව විශාල පරාසයක පැතිරී ඇති සුවිශේෂී සමාජ මෙහෙවර ද, අති උදාර වේ. ප්‍රදේශයේ සාමාජික හා ශාසනික සේවාවන් රැසක් සිදුකරන ඔබ වහන්සේට අභිනව සංඝනායක පදවිය තුළින් වඩාත් ශක්තිමත්ව එම කාර්යයන් අනලස්ව ඉටු කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. ආගමික හා ශාසනික වශයෙන් පමණක් නොව සාමාජීය වශයෙන්ද සුවිශාල කාර්යයන් රැසක් ඉටු කරන ගෞරවාර්හ උඩකැන්දවල චන්දවිමල නායක ස්වාමීන් වහන්සේට එම සද් කාර්යයන් තවදුරටත් ඉටුකර ගෙන යාමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, නිදුක් නිරෝගිභාවයත්, දීර්ඝායුෂත් තෙරුවන් සරණින් ලැබේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


උඩකැන්දවල චන්දවිමල නා හිමි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, උඩකැන්දවල චන්දවිමල හිමියෝ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි. උඩකැන්දවල ග්‍රාමයේ ජීවත් වූ ඩී.ඇන්.බී.ඇම්.සේනාරත්න නිලමේ සහ ආර්.ඇම්. නන්දාවතී යන දෙපලගේ අතිජාත පුත්‍රයෙකුව 1963 ජුනි මස 07 වෙනි දින ෂෙල්ටන් සේනාරත්න නමින් උපත ලැබීය.

උඩකැන්දවල පුරාණ විහාරාධිපති මහව සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ හා නැලව පොත්ගුල් විහාරාධිපති තලහේන්ගොඩ චන්දානන්ද නා හිමියන් 1973 ඔක්තෝබර් මස 31 වැනි දින එම විහාරස්ථානයේ දී උඩකැන්දවල චන්දවිමල නමින් මෙම කුමරුවා සසුන් කෙතට ඇතුළත් කළහ. පැවිදි වීමෙන් පසුව මූලික බණ දහම් ඉගෙන ගනු ලැබුවේ කුරුණෑගල කොබෙයිගනේ ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් දී ය. ද්විතීයික අධ්‍යාපන කටයුතු සිදු කරන ලද්දේ ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙනෙන්ය. චන්දවිමල හිමියන් උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයට ඇතුළු වී ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත්හ. 1985 ජුනි මස 29 වෙනි දින මහනුවර මල්වතු විහාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටි සේක.අනතුරුව තෘතියීක අධ්‍යාපනය කෙරෙහි ලැදියාවක් දැක්වූ මෙම යතිවරයාණෝ කොළඹ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ද ලබා ගත්හ.

ඉනික්බිතිව අධ්‍යාපනික සේවාව අරඹමින් ගලේවෙල ඇවිරියපතහ ශ්‍රී ජිනරතන පිරිවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් ද සෑහෙන කාලයක් සේවය කළහ. අනතුරුව කුරුණෑගල දොඩම්ගස්ලන්ද අලකොළමඩ ධම්මාධාර පිරිවෙන, ගලේවෙල මහානාම පිරිවෙන, පදවි ශ්‍රී පුර ධර්මාලෝක පිරිවෙනහිද සේවය කර දැනට මිහින්තලේ කාලපාසාද පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරය හොබවති.

උන්වහන්සේ සිදු කරන ජාතික,ආගමික හා සාමාජික මෙහෙවර ද අති විශාලය. අවමංගල්‍යාධාර සමිතිය,ගොවි සංවිධාන, තරුණ බෞද්ධ සමිති, කුලඟන සමිති, දහම් පාසල් මහා මාර්ග, පාසල්, ජල ව්‍යාපෘති, රෝහල් ආදිය ආරම්භ කිරීමට පෙරමුණගෙන ක්‍රියා කිරීමද විශේෂ සිද්ධීන් ය.

තවද මිහින්තලේ කටුපොත ගමේ බෝධිරාජාරාමය, අනුරාධපුර ඉලුප්පුකුලම ගමේ ශ්‍රී සුදර්ශනාරාමය යන විහාරස්ථාන දෙක ආරම්භ කර උක්ත සේවාවන් එම ස්ථානවලට ලබා දීම ද විශේෂ වූ කරුණකි. ගලේවෙල වෙත්තියාය ශ්‍රී ජයබෝධි විහාරස්ථානයත්, අනුරාධපුර පණ්ඩුකාභයපුර රාජමහා විහාරස්ථානයත්, දොඩම්ගස්ලන්ද,උඩකැන්දවල පුරාණ විහාරයත් ප්‍රතිසංස්කරණය කරමින් මහ ජනයාගේ සියලු ආගමික කටයුතු ඉටු කර ගැනීමට ප්‍රමාණවත් විහාරස්ථාන බවට පත් කළේ චන්දවිමල හිමියන්ගෙන් ඉටුවිය යුතු සේවයක් ලෙස සලකමිනි. පෙරියකඩු නැලව පොත්ගුල් විහාරය ද උඩකැන්දවල රත්මල්ගොඩ අභිනවාරාමය ද, සංවර්ධනය කරමින් එම ගම්මානවලට ඉමහත් සේවයක් ඉටු කිරීමද ජනතා සදා ප්‍රසාදයට හේතුවී පවතියි.


විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි

පෙරියකඩුනැලව පොත්ගුල් විහාරය,තම්මැන්නාගල රජමහ විහාරය,රත්මල්ගොඩ අභිනවාරාමය සහ ගලේවෙල වෙත්තියාය ශ්‍රී ජයබෝධි විහාරය යන විහාරයන් හි විහාරාධිපති උඩකැන්දවල චන්ද්‍රවිමල නායක හිමියන් කුරුණෑගල හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පුවත අසා මම බලවත් පී‍්‍රතියට පත්වීමි.

අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද උන්වහන්සේ ගුරුවෘත්තියට පිවිස ගලේවෙල ඇවරිපහන, පදවි ශ්‍රී පුර ධර්මාලෝක, මිහින්තලේ කාලපාසාද ඇතුළු පිරිවෙන් රැසක සේවය කර තිබේ. මැල්සිරිපුර, ඉරුදෙණිය මහපිටිය, මිහින්තලේ, කටුපොත, අනුරාධපුර සහ ඉලුප්පුකුලම යන ප්‍රදේශවල නොදියුණු ගම්මාන දියුණු කිරීම සදහා නායකත්වය දුන් උන්වහන්සේ ප්‍රාදේශීය සංගම් ආරම්භ කරමින් යහපත් සමාජයක් බිහි කිරීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සමයේ බුදු දහමේ පුනර්ජීවය උදෙසා අනුපමේය මෙහෙවරක නිරතව සිටින හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩකැන්දවල චන්දවිමල නායක හිමිපාණන් වහන්සේට සිය ඉදිරි මෙහෙවර ඉටු කිරීම සඳහා චිර ජීවනය, ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.


කැපවීම අගය කළ යුතුයි

මහා විහාර වංශික සංඝ සම්ප්‍රදාය සුරකිමින් ථෙරවාදී බුදු සසුනෙහි මතු තිර පැවැත්ම සාක්ෂාත් කරලීම සඳහා අනුපමේය සේවාවක නිරතව කටයුතු කරන අප නාහිමිපාණන් වහන්සේගේ විද්වත් සසුන් දිවි සිරිතට නිබඳවම දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමි.

වෙසෙසින්ම අප නායක හිමිපාණන් වහන්සේ අධ්‍යාපනඥයෙකු ලෙස ඉටුකොට ඇති මෙහෙවර මේ මොහොතේ සිහිපත් කළ යුතුය.මේ වන විට මිහින්තලා රජ මහා විහාරස්ථ සිරි කාලපාසාද පිරිවෙණේ පරිවේණාධිපති වශයෙන් අති පූජ්‍ය උඩකැන්දවල චන්දවිමල නායක හිමිපාණන් වහන්සේ පැවිදි අධ්‍යාපනය උදෙසා සිදු කරන කැපවීම මෙන්ම ජනහිත සුව පිණිස සහ දුගී සිසු දරු දැරියන්ගේ නැණස පාදාලීම පිණිස ද ඉටුකරන මහත් කැපවීම අගය කළ යුතුය.

අති පූජ්‍ය උඩකැන්දවල චන්දවිමල නායක හිමිපාණන් වහන්සේ ලෝ සතහට කැපවෙමින් උතුම් ශාසනික දිවි මඟ පාරමිතා පුරන්නට නිදුක් නිරෝගී සුවය සමඟ චිරජීවනය බැතිබර පූර්වකව ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
විපක්ෂ නායක


පරාර්ථ චර්යාවෙහි යෙදෙති

උඩකැන්දවල චන්දවිමල හිමිපාණෝ හිරියාල හත්පත්තුවේ උඩකැන්දවල පුරාණ විහාරයෙහි පැවිදිව පිරිවෙන් අධ්‍යාපනය මනාව නිමවා අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා පිරිවෙන් ගණනාවක සේවය කරමින් ජනතාවට ඤාණ ධනය ලබා දෙමින් පරාර්ථ චර්යාවෙහි යෙදෙති.

එපමණක් නොව දිළිදු නූගත් ගම්වැසියන් සොයමින් ගමින් ගමට චාරිකාවේ යෙදෙමින් සංවිධානය කරමින් ඔවුන්ට ජීවිතය යහමින් ගෙන යාමට අවශ්‍ය නොයෙකුත් දෑ ලබා දෙමින් ඔවුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනය කරමින් ලෝකාර්ථ චර්යාවෙහි යෙදෙන්නාහ.

මෙරට ආගමික සංස්කෘතික නවෝදයේ ආරම්භක කේන්ද්‍රස්ථානය වූ මිහින්තලය බද කාල ප්‍රාසාද පිරිවෙණෙහි අධිපති ධූරය හොබවමින් ධර්මදානයෙහි යෙදෙමින් සිටින හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද සංඝ පීතෘවර, තපෝවෘද්ධ, ගුණවෘද්ධ ඤාණවෘද්ධ උඩකැන්දවල චන්දවිමල හිමිපාණන්ට ආගමේත් ජාතියේත් දේශයේත් නව ප්‍රබෝධයේ පෙරටුගාමී කාර්යභාරයෙහි ව්‍යාවෘත වීමට චිර ජීවනය හා යෝධ බල ශක්තිය පතා සුභාශිංසනය කරමු.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 14 වැනි දා ඉරිදා අපරභාග 08.30 ට ලබයි. 15 වැනි දා සඳුදා අපරභාග 05.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනි දා සඳුදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 22 වැනි දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]