UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආසාවන්ගෙන් මුසපත් වන්න එපා

අප සමාජය තුළ ජීවත්වන විට විවිධ අවස්ථාවන්වලදී යම් යම් දේ තෝරා බේරා ගැනීමට සිදුවනවා. සියලුම දේ තෝරා ගැනීමේදි අවබෝධයෙන් යුක්තව තේරුම් අරගෙන තෝරාගත යුතුය. යෝනිසෝමනසිකාරයෙන් යුක්තව යම් දේවල් සමග සම්බන්ධතා පැවැත්විය යුතුය. බෞද්ධයකුගේ දවසේ වෑයම විය යුතු වන්නේ නූපන් අකුසල් ඉපදීම වළක්වා ගැනීම සහ උපන් අකුසල් බැහැර කරගැනීමට හැකිතාක් වීර්යය වැඩීමටය.

නූපන් කුසල් උපදවා ගන්නත් උපන් කුසල් බලවත් කරන්නත් කටයුතු කිරීම බෞද්ධයකුගේ දවසේ වැදගත් අංගයක් විය යුතුය. එළෙස කළ යුත්තේ බෞද්ධයාගේ මූලික අරමුණ නිවන් දැකීම නිසාය. අත්හැරිම අරමුණූ කරගත් අය නම්, නිවන් දැකීම ජීවිතයේ අරමුණනම් ඔබට අනිවාර්යෙන්ම යම් දෙයක් තෝරා ගැනීමේදි බොහෝ දේ සිතියයුතු වෙනවා. අප සමහර තෝරා ගැනීම් හේතුකොටගෙන අදටත් පව්කරමින් ඉන්නවා.

සමහර තෝරාගත් දේ නිසා සමහර අය එතෙක් නොකළ පව් දැන් කරනවා. තේරීම වැරැදි වූ විට කළ පව් දීර්ඝ කාලීන ව කිරීමට සිදුවනවා මෙන්ම නොකරපු පව් කරන්න පටන් ගැනීමක් වෙන්නත් පුළුවන්. දේවල් තෝරා ගැනීමේදී ඒ පිළිබඳ ව ඔබ කොතරම් දුරට තේරුම් අරගෙන සිටිනවාද යන බව ඉතාමත් වැදගත් කරුණක්. ඔබ විවාහක කෙනෙක් නම් ඔබ ඒ බිරිඳට කැමති වෙලා තේරුවේ ඇයිද? යන කරුණත් ඔබ එම සැමියාට කැමති වෙලා තෝරාගත්තේ ඇයිද? යන්න පිළිබඳවත් ඔබ සිතිය යුතුයි. වර්තමානයේ ඇතැම් දෙනා එහෙම දේවල් තෝරා ගැනීමේදි බොහෝ දුරට කල්පනා කරලා කරපු දේවල් නොවෙයි, දක්නට ලැබෙන්නේ. අවබෝධයකින් තොරව කල්පනා නොකර කරපු තෝරාගැනීම් නිසා ඒ අය ජීවිත කාලය පුරාම විඳවනවා. මේ ලෝක වශයෙන් පුදුම අසහනයන්වල ඒ අය ගිලී ඉන්නවා.

තෝරා ගැනීමේදි කරුණු දෙකක් පිළිබඳව ගැඹුරු අවධානය යොමුකළ යුතු වෙනවා. සමහර දේවල් අපට තෝරාගත හැකිද? ඔබ මේ ලෝකයට බිහිවන විට ඔබේ මව පියා ඔබේ තෝරා ගැනීමක් නොවෙයි. ඔබ ඉපදුණ ගම් පළාත් ඔබේ රූපය ඔබගේ තෝරාගැනීමක් නොවේ. කර්මානුරූපව සමහර දේවල් අප ඉපදෙන විටම තේරී අවසන් වෙලා තිබෙනවා. නමුත් අපගේ බෝධිසත්වයන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිටින ගමන් ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලුවා. ඉපදෙන කාලය ඉපදෙන රට, ඉපදෙන ප්‍රදේශය, මොන කුලයෙන් ඉපදෙන්නේ, මොන අම්මගෙ කුසේද ඉපදෙන්නේ යන කාරණා එතුමන් තෝරාගත්තා. නමුත් අපට එළෙස තෝරාගැනීමට හැකි පසුබිමක් තිබිල නැහැ. ඔබගේ මව ඔබට නොගැලපුනත්, ඔබගේ පියා ඔබට නොගැලපුනත් ඔබට ඒ පිළිබඳව දැන් කිසිවක් කළ නොහැකියි. තමාගේ රූපය තමා ප්‍රාර්ථනා කළ දෙයක් නොවෙයි. නමුත් කර්මානුරූපව ඒ දේ තේරී අවසානයි. සමහර දේවල් ඔබට තෝරාගත නොහැකි බව තේරුම් ගත යුතුය. අප පූර්වයේ කරන ලද කර්මයට අනුව සිදුවෙලා තියෙනවා. ඔබ ඉපදෙන තැන තීරණය කරනු ලැබුයේ ඔබ පෙර භවයේ කරන කර්මයන්ය.

කම්මං සත්තේ විභජති
යදිදං හීනපණීතතා

කර්ම විසින් සත්ත්වයා උසස් අය ලෙසත් පහත් අය ලෙසත් බෙදනු ලැබුවා. ඉතාමත් ප්‍රඥාවත් අය ලෙසත් ඉතාම නූගත් අය ලෙසත් ඉතාම සුරූපී කෙනෙක් ලෙසත් ඉතාම විරූපී කෙනෙක් ලෙසත් පෙර කර්මය විසින් බෙදනු ලැබුවා. ඊළඟ භවය තීරණය වන්නේ පෙර භවයන් වල කරන ලද කර්මයන් අනුවය.

මා කර්මය විසින් නිර්මාණය කරනු ලැබුවේ යැයිද, මාගේ උපත සිදුවූයේ කර්මානුරූපව යැයිද, මාත් සමග එකටම ගමන් කරන ඥාතියා කර්මය යැයිද මට තිබෙන එකම පිළිසරණත් කර්මය යැයිද නිතර නිතර සිතිය යුතුය. හොඳ හෝ නරක කර්මයක් කරන ලද නම් එම කරන ලද කර්මයේ දායාදය ඊළඟ භවයට පැමිණෙනවා.

”යථා ලාභ සන්තුට්ඨි”

දැනට තේරිලා අවසන් වූ දේවල් එය මාගේ ලැබීම යැයි සිතා ලද දෙය සතුටින් බාරගන්න. ඔබගේ මව හෝ පියා දුසිල්වත් යැයි කියා ඔබට එය වෙනස් කළ නොහැකියි. එම කර්මානුරූපව සිදුවූ දෙයක් බව තේරුම් ගත යුතු වුවත් සමහර දේවල් අපට තෝරාගත හැකි බව ද තේරුම් ගත යුතුය.අනෙත් අය වෙනුවෙන්ද ඔබට යමක් තෝරා දිය හැකියි. එම අවස්ථාවලදී ඔබගේ මානසික පදනම විය යුත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා විය යුතුයි. දරුවන් පිළිබඳව දුක සිතලා දරුවන් අඬන නිසා කිසිම දෙයක් දරුවාට තෝරා නොදිය යුතුය.

දුක් සිතීමෙන් අඬ අඬා තෝරන ලද දේවල බියකරු යථාර්ථය කාලයත්, සමග මතු පිටට පැමිණෙන නිසා. දරුවන්ට දේවල් තෝරා ගැනීමේදි දෙමාපියන්ගේ පදනම මෛත්‍රිය මිසක් ආදරය නොවිය යුතුය. දරුවාගේ සසර ගමනටම හානිකරන මෙලොව ජීවිතයට වාසනාව ළඟා කරවන දේවල් දරුවාට තිබෙන ආදරය නිසා ලබා දෙනවා.

දරුවන්ට තිබෙන දැඩි ආදරය නිසාම ඉතාම නරක දේවල් තෝරන්න එපා. මෙලොවට සුවදෙන පරලොවට නිරයටම ඇදගෙන යන තැනට දරුවන් එකතු නොකළ යුතුයි. ඒ තුළ අර්බුදයක් පවතිනවා නම් එය පෙනි පෙනී දරුවාට තෝරා දෙන්න එපා. එම තේරීම ඒ මොහොතට සුවදායි වූවාට ඊට පසුව හැම මොහොතකම විඳවන්න වනවා. පළමුවෙන් තේරුම් ගත යුතු කරුණාව, අදරය මත පදනම් වෙලා තෝරා දෙන්න එපා. ආදරය යන මනෝභාවයට වසඟ වෙලා තෝරාගන්නත් එපා. ස්ත්‍රීන්ට පුරුෂයන් පිළිබඳව පුරුෂයන්ට ස්ත්‍රීන් පිළිබඳව කාම රාගය මත පදනම් වෙච්ච තෘෂ්ණාවෙන් මුසපත් වුන ආදරය උපදිනවා. එය සාමාන්‍ය දෙයක් මිස අසාමාන්‍ය දෙයක් නොවෙයි. ආදරය කියන කාමයත් සමග මුසුවුණූ සිතිවිල්ලෙන් ඔබ අනෙකා පිළිබඳව බලන්න සුදානම් වුවොත් ඔහු හෝ ඇය පිළිබඳව ඇත්ත හෙවත් යථාර්ථය ඔබට නොපෙනේවි. ජීවිතේටම අදාල දේවල් තෝරා ගැනීමේදී ඔබ ඉතාම යෝනිසෝ මනසිකාරයෙන් සිටීම හෙවත් සිහියෙන් සිටිය යුතු වෙනවා.තෝරාගැනීමේදි මෛත්‍රිය පමණක් පදනම් විය යුතුය. ආදරය තෝරාගැනීමේ පදනම වුවහොත් මේ මොහොතේ සුව දුන්නත් පසුව දුකක් ද වෙනවා. ඡන්දයෙන් අගතියට ගියහොත් සත්‍ය වැඩේවි. ආදරය කරන අය දිනා ආදරයට වඩා ගොඩක් උස එකක්වුනු මෛත්‍රිය සීමාව තුළ සිට බිම බලන්න ඔබ ආදරය කරන තැනැත්තා දෙස . එවිට ඔබට තෝරා ගන්නා දෙය පිළිබඳව තීරණ ගන්න එක පහසුයි. ගුණාර්ථය අමතක කර ආසාවට මුසපත් වන්න එපා. ආදරයේ ස්වරූපයෙන් ආසාවෙන්න පුළුවන්. වෙනත් ස්වරූපයකින් වෙන්න පුළුවන්.

කැමැත්ත හිතුනට ඒ කැමැත්තේ අන්තයට යන්න එපා. කැමැතියි කියන විවෘත තැන ඉඳල හොදටම හිතලම තීරණය ගන්න. මෙය අවශ්‍යද? නැද්ද? යන්න. තේරීම ක්‍රම දෙකකට කළ යුතුයි. තියා ගැනීමට තේරීම සහ අයින් කිරීමට හෙවත් ඉවත් කිරීමට තෝරා ගැනීම යනුවෙනි. තියා ගැනීමට තෝරාගැනීමේදීත් අයින් කිරීමට තෝරා ගැනීමේදීත් දැඩි ආසාවට වසඟවෙන්න එපා. සමහර අය අයින් කිරීමේ ගොඩට දමන්න යමක් තෝරා ගනු ලබන්නේ තවත් දෙයකට තිබෙන දැඩි ආසාව නිසයි. එය වැරැදි දැකීමක්. සමහර විවාහයන් වලටද මව පියා අයින් කරල දැඩි කැමැත්ත මත, දැඩි ආසාව මත පදනම් වෙලා තීරණය ගනු ලබනවා. ඒවායේ ආදීනව පස්සෙන්ම එනවා. කැමැත්ත තිබුණට ප්‍රශ්නයක් නැහැ. ආසාවන්ගෙන් මුසපත් වන්න එපා. ඔබගේ ජීවිතය තීරණය කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තවයි.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]