UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි බිනර අව අටවක 2012 සැප්නැම්බර් 08 වන දා

කළ මෙහෙවර උදාරයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති ශාසනශෝභන ශ්‍රී සද්ධර්මාවාගීශ්වරාචාර්ය, සිරි සරණංකරෝපසේනවංශාවතංස අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගෝස්තු 29 වැනි දා පස්වරුවේ අපවත් වී වදාළහ.

ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් ගරු සම්භාවනාවට පාත්‍රව වැඩ සිටි මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන්සේ ආදර්ශවත් පින්බර පැවිදි දිවියක් ගත කළ උදාර සංඝපීතෘන් වහන්සේ නමක් වූහ.1909 දෙසැම්බර් 07 වැනිදා වේවැල්දෙණිය මිල්ලවදී සිංගම්කුට්ටිආරච්චිගේ ඉසන් අප්පුහාමි සහ රාජපක්‍ෂ විතාරනලාගේ ලියඟුහාමි මාතාව යන දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස උපත ලද පින්වත් කුමරා ගමේ පාසලේ දී මූලික අධ්‍යාපනය ලැබුවේ ය. 1922 මැයි 22 වැනිදා කදිරාගම සුමනසාර මාහිමිපාණන් වහන්සේගේ සහ කතළුවේ සීලවංශ නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අනුරාධපුර අභයගිරි ආරාමයේ දී පැවිදි බිමට පත් විය.

1926 ජනවාරි 01 වැනි දා මීරිගම ශාසනවර්ධන පිරිවෙනට වැඩම කළ වේවැල්දෙණියේ මේධාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ගුරුදේවයන් වහන්සේ වෙතින් මූලික අධ්‍යාපනය ලැබීය.

උසස් අධ්‍යාපනය නිට්ටඹුව විද්‍යානන්ද මහ පිරිවෙනින් ලැබූ වේවැල්දෙණියේ මේධාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට බුරුම රටට ගොස් එහි අධ්‍යාපනය ලැබීම සඳහා විශේෂ ශිෂ්‍යත්වයක් ද ලැබිණි.

1930 ජූනි 16 වැනි දා අධිසිල් ලැබූ වේවැල්දෙණීයේ මේධාලංකාර හාමුදුරුවෝ තම ගුරුදේවයන් වහන්සේ අසනීපයෙන් පසුවීම නිසා බුරුම රටට යාමට අකැමැති විය.

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුළ එදා පැවැති ගුරු භක්තිය කෙතෙක්දැයි යන්න එයින් පැහැදිලි වන්නේ ය. වයසින් අවුරුදු 103 ක් ඉක්මවා වයෝවෘද්ධව වැඩ සිටි වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේගේ පුද්ගලික ලේකම් ධූරය දරන ලද ප්‍රධාන ශිෂ්‍ය සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කළ ඇප උපස්ථාන සියැසින් දුටු කවර අයකු වූවද ස්වකීය ගුරුපියාණන්ට සිය සිසු දරුවන් දැක් වූ ගුරු ගෞරවයකියා ලියා නිම කළ නොහැකි තරම් ය.

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම ගුරු දේවයන් වහන්සේ වෙත එදා කළ ඇප උපස්ථාන පූර්ණ ආශීර්වාදයක් වුහයි යන්න මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දැඩි විශ්වාසයක් ද විය.

1950 සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරුවලට පත්වූ උන්වහන්සේ 1972 දී මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති පදවියට පත්වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපරිමානුවිජ්ජක තනතුරටත්, සංඥා ලේඛකාධිකාරී තනතුරටත් අධිකරණ සංඝනායක තනතුරටත් පත් වූ උන්වහන්සේ 1998 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවියට පත්වූහ. එම තනතුරු සඳහා නිතරඟයෙන් පත්වීමද උන්වහන්සේගේ පැවිදි දිවියෙහි සුවිශේෂී ලක්‍ෂණයකි.බලයට පත් සෑම රජයක් ම, සෑම රාජ්‍ය නායකයෙක්ම වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ලද අවවාද අනුශාසනා ගරු කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය සඳහා ඇප කැප වූ වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනේ කලාතුරකින් පහළවන දුර්ලභ ගණයේ සංඝපීතෘන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ අපවත්වීම සඟ සසුනට බලවත් පාඩුවකි.

අපවත්වී වදාළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරමු

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]