UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තපෝවන භාවනා මධ්‍යස්ථානයට අඩ සියවසක් සපිරීම නිමිත්තෙන් කුමාර කාශ්‍යප ළමා සංවර්ධන මධ්‍යස්ථානයට නව ගොඩනැගිල්ලක්

මුල්ලේරියාව නව නගරයේ, කලපලුවාවේ පිහිටි “ගෝතම තපෝවනය භාවනා මධ්‍යස්ථානයට” අනුබද්ධ කුමාර කාශ්‍යප ළමා සංවර්ධන මධ්‍යස්ථානය සුවිශේෂී වූ ආයතනයකි. දැනට මෙහි වයස අවුරුදු 5 ත් 16 ත් අතර ළමයි 40 දෙනෙක් නේවාසිකව සිටිති. ඔවුහු සියල්ලෝම පාසල් ශිෂ්‍යයෝ ය.

6 වසරින් පහළ ළමයින් කලපලුවාවේ ශ්‍රී සිද්ධාර්ථ විදුහලේත්, 6 වසරින් ඉහළ, ළමයින්, බත්තරමුල්ලේ එම්.ඩී.එම්. ජයවර්ධන විදුහලේත් අධ්‍යාපනය ලබති. මේහැර ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා පාලිකාවන් තිදෙනෙක් ද නිවාස පාලක වරයෙක් ද අදාළ කාර්යයන්හි නිරතව සිටිති. මෙහි සියලු කටයුතු වලට පූර්ණ අනුග්‍රහය සහ අනුශාසකත්වය දෙමින් ළමයින්ගේ රැකවරණය හා දියුණුව උදෙසා තම මුළු දිවියම කැප කරමින් සිටින්නේ ආයතනයේ අධ්‍යක්‍ෂ තපෝවනයේ මිතභාණී නායක ස්වාමීන් වහන්සේ ය.

අපවත් වී වදාළ කුඩාවැල්ලේ වංගීස මහානාහිමිපාණන් විසින් 1962 අරඹන ලද ‘ගෝතම තපෝවනය භාවනා මධ්‍යස්ථානය’ ආශ්‍රයෙන් කලකට පෙර ‘මාතිත මාතා සමිතිය’ නමින් සංවිධානයක් බිහිවුණි. මෙම සමිතියේ පුරෝගාමීත්වයෙන් 1970 දී අසරණ ළමයින් 5 දෙනකුගේ රැකවරණය උදෙසා ගොනු කළ නිවාසයෙන් මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ඇරැඹුමට අඩිතාලම වැටී ඇත. එතැන් සිට මේ දක්වා වූ අවුරුදු 42 තුළ මෙම මධ්‍යස්ථානයේ හැදී වැඩී, උගෙන නිපුන වූ පිරිස අතිමහත්ය. ගුණවත්ය. ඔවුහු සියල්ලෝම දැන් ශ්‍රී ලංකාවේ වසන යහපත් වූ සමාජ පද්ධතිය තුළ සක්‍රීය දායකයෝ වෙති. 70 දශකයේ දී, වත්මන් අධ්‍යක්‍ෂ හිමිපාණන්ට බලතල රහිත වූවත්, අසරණ ළමයින්ට උදව් කිරීමේ අභිලාෂයෙන් පෙළෙන හෙයින්, වංගීස නා හිමිපාණන් මධ්‍යස්ථානය පවත්වාගෙන යන දුෂ්කර කාර්යයේ දී සෙවණැල්ලක් සේ හිඳීමින් උදවු කළ සේක. 1982 දී මිතභාණි නා හිමිපාණන් අධ්‍යක්‍ෂ ධූරයට පත් වූ පසු මධ්‍යස්ථානයේ පරිපාලන විධි, නව අංගෝපාංග, එක්කරමින්, ගුණාත්මක බවින් උසස් වූ නවීකරණයකට පත් කළ සේක. වංගීස නා හිමිපාණන්ගෙන් අනතුරුව වත්මන් තපෝවන මහා නායක ධුරන්ධර දොඩම්පහළ චන්ද්‍රසිරි නා හිමිපාණන් වහන්සේගේ ධෛර්යය, ආයතනයේ ප්‍රවර්ධනයට තවත් එක් සාධකයක් විය.

ආයතනය ළමයි 5 දෙනකුගෙන් ඇරැඹුවත් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයන් මධ්‍යයේ මීතභාණී නා හිමිපාණන්ගේ අධ්‍යක්‍ෂත්වය හා පාලනය යටතට පත්වීමෙන් පසු ළමයින් ගණන වැඩිවන්නට විය. මෙහිදී සීමිත වූ ඉඩකඩ ලොකුම ගැටලුව විය. ළමයින්ට ආහාර, පාන, ඇඳුම්, පැලඳුම් සැපයීම, අධ්‍යාපනය ලබාදීම ආදී කුදුමහත් කටයුතු සම්භාරයක්ම ඒ හිමිපාණන්ගේ පෞද්ගලික හැකියාව, සම්බන්ධතා ආදී මාර්ගවලින්, අප්‍රතිහත ධෛර්යයෙන් නොපිරිහෙලා ඉටු කරන්නට සමත් විය. පැරැණි ළමා නිවාස ගොඩනැගිල්ල ඒ හිමිපාණන්ට විදේශීය බැතිමතුන්ගෙන් විටින් විට, ලැබෙන ආධාර වලින් පිරිමැසුම් දායකව කොටසින් කොටස ඉදිකරන්නට හැකි විය. ළමයින් 40 දක්වා වැඩිවන කාලය වන විට ආගමික හා සමාජසේවාවන් හේතු කරගෙන මීතභාණී නාහිමි නාමය, කීර්තිය, දේශීයව පමණක් නොව විදේශීය බැතිමතුන් අතරද රැව් දෙමින් තිබුණි. ඒ හිමිපාණන්ගේ ආශීර්වාද ලැබ ජීවිතය සාර්ථක කරගත් සෑම බැතිමතෙකුගෙන්ම ලද ආධාර, උපකාර මත කෙසේ හෝ මධ්‍යස්ථානය දිවයිනේ ගුණාත්මක බවින් ඉහළ ළමා නිවාසයක් ලෙස ළමාරක්‍ෂ හා පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය. එහිදී බස්නාහිර පළාතේ පරිවාස කොමසාරිස් ජී.පී.ඩී. සෝමරත්න මහතා සහ මධ්‍යස්ථාන නිරීක්‍ෂණ පරිවාස නිලධාරී විල්සන් මහතාගෙන් ද ලැබූ උපකාර ද මහත් රුකුලක් වුණි.

මේ අතර මීතභාණී නා හිමිපාණන්ගෙන් ආශීර්වාද ලැබ තම දිවි මඟ සකසා ගත් සිංගප්පූරු ජාතික චියාපෙංග් මහතා හා එම මහත්මියත් තවත් එහි සැදැහැවතුන් පිරිසකගේත් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 50ක මුදලින් අභිනව ගොඩනැගිල්ලක් තනවන්නට නාහිමිපාණෝ පියවර ගත්හ. මහල් තුනකින් යුතු එම ගොඩනැගිල්ල ළමයින් 150කට වැඩි පිරිසකට ඉඩ කඩ ඇතිව වර්ග අඩි 23000කින් යුතුව නිමකර ඇත. ආයතනයේ පරිපාලන කටයුතු, භෝජනාගාරය, ගබඩා සංකීර්ණය, මුළුතැන්ගෙය ආදියට එහි පහත මාලය වෙන්කර ඇත. දෙවැනි මහලෙහි වන්දනාමාන ශාලාව, පුස්තකාලය, පරිගණක අධ්‍යයන කේන්ද්‍රය, අධ්‍යාපන ශාලාව සහ නාන කාමර ආදියට සකස් කර ඇත. වයස් කාණ්ඩ අනුව ළමයින්ගේ නිදන කාමර තුන්වන මහලෙහි වෙන් කර ඇත. මතු මහලෙහි පර්චස් 40ක විශාලත්වයෙන් යුතු ක්‍රීඩාගාරයකි. එහි පොළොව ආරක්‍ෂිත රබර් මිශ්‍ර කලාලයකිනුත්, වටේටම අඩි 20ක් උසට දැලකිනුත් ආවරණය කර ඇත. මේ හැර ගොඩනැගිල්ලේ කැමරා පද්ධතියක්ද සවිකර ක්‍රියා කරවයි.

පිරිපුන්, උගත්, නිරෝගී, පෞරුෂයෙන් හෙබි, ජාත්‍යන්තර තලයට පවා පිවිසිය හැකි පුරවැසි පිරිසක් සමාජගත කරනු වස්, මෙහි ළමයින්ව අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, කලා සංස්කෘතික ආදී සියලු අංගයන්ගෙන් පෝෂණය කිරීමේ අමුණෙනුයි, මේ සියලු පහසුකම් යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ. මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇත්තේ ඉංගී‍්‍රසි මාධ්‍ය හා පරිගණක නිපුණත්වයෙන් ළමයින් සන්නද්ධ කිරීම වෙනුවෙන් ය. ඒ හැර මේ පරිශ්‍රය තුළම පිහිටි මුද්‍රණ අංශයෙන් මෙහි ළමයින්ට වෘත්තීය පුහුණුවක්ද ලබාදෙනු ඇත. පාසල් අධ්‍යාපනය නිමා කළ ළමයින් විශ්වවිද්‍යාලයන්ට යොමු වුවහොත් අධ්‍යාපනය අවසන් වී රැකියාවට යනතුරු නොකඩවා අනුග්‍රහයකු ලෙසද ක්‍රියා කරයි. විශ්වවිද්‍යාලයට යා නොහැකි වූ අයට වෘත්තීය පුහුණුවක් ලබා දී රැකියාවකට යොමු කිරීම දක්වා අනුග්‍රාහකයෙකු වෙයි.

දැන් අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීම යොදාගෙන ඇත්තේ මේ මස 09 වෙනි දින උදේ 09.00 ටයි. එදින “තපෝවනය භාවනා මධ්‍යස්ථානය” පිහිටුවා හරියටම වසර 50ක් සපිරෙයි. එයද නිමිති කරගෙන පවත්වන පින්කම් මාලාවේ ආරම්භක උත්සවය ලෙස මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම දෙස් - විදෙස් සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

 

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]