UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීම හා එහි යටගියාව

වර්ෂා, වස්සාන සහ වස් යනු පිළිවෙළින් සංස්කෘත පාලි සහ සිංහල භාෂාත්‍රයෙන් වැසි සහිත කාලය හැඟවීම සඳහා භාවිත කරනු ලබන පදයන්ය. මේ කාලය හා සම්බන්ධ වූ ඉතා වැදගත් විනය කර්මයක් ලෙස වස් විසීමේ ක්‍රියාව දැක්විය හැකි ය. ශාසනයාගේ ආයුෂ රඳා පවතින මෙවලම (විනයො නාම සාසනස්ස ආයු) විනය යැයි සැකෙවින් දැක්විය හැකිය. ඒ සඳහා භික්‍ෂු සමාජයේ යහපැවැත්ම තීරණාත්මක සාධකයකි. විනය වූ කලී විනය සඳහාම නොවිය යුත්තක් බැවිනුත් එය සමාජය හා සමාජයේ යහපත සඳහා විය යුත්තක් බැවිනුත් දේශයට හා කාලයට අනුරූපව පැනවූ විනය නීති අවශ්‍යතාව අනුව යම් යම් වෙනස්කම් වලට භාජනය වූ අවස්ථා බොහෝ ය. ඇතැම් විනය නීති සහමුළින්ම අහෝසි කර දැමූ බව ද පෙනේ.

සම්බුද්ධත්වයෙන් මුල් වර්ෂ විස්සක්ම (20) ගත වූයේ විනය ශික්‍ෂාපදයන්ගෙන් තොරවය. මතු ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ සැරියුත් හිමියෝ වරක් බුදුරදුන්ගෙන් අයැද සිටියෝ එයට ප්‍රතිකර්මයක් ලෙස විනය ශික්‍ෂාපද දේශනා කරන ලෙසයි. එහෙත් එය ප්‍රතික්‍ෂේප කරමින් බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සංඝයා අතර අපවිත්‍රකාරක ධර්ම (ආසවට්ඨානීය ධම්ම) පහළ නොවන තාක් කල් විනය නීති නොපනවන බවයි. (ම.නි. මහාබද්දාලි සූත්‍රය) එම ධර්ම මෙසේ ය.

01. සංඝයාගේ ප්‍රමාණය විශාල වීම (වෙපුල්ල මහත්තතා)
02. සංඝයාට ලැබෙන ලාභ සත්කාර බහුල වීම. (ලාභග්ග මහත්තතා)
03. සංඝයා උගත්කමින් ඉහළ යාම (බාහුසච්ච මහත්තතා)
04. සංඝයා කල් පැවැත්මෙන් ඉහළ යාම (රත්තඤ්ඤු මහත්තතා)

භික්‍ෂු - භික්‍ෂුණී, උපාසක – උපාසිකා ලෙස සිවුවණක් පිරිසකගෙන් සැදුම්ලත් බුදුසසුනේ විනය නීති පද්ධතියක් පනවා ඇත්තේ පැවිදි පක්‍ෂයටයි. යුතුකම් හා වගකීම් ඉටු කිරීම තුළින් ගිහි විනය සුරැකෙන බව බුදුන් වහන්සේ දේශනා කළ මුත් ශික්‍ෂාපද වශයෙන් ගිහි විනයක් ගැන අවධාරණය නොකළේ බොහෝ විට ගිහි සමාජය රාජ්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වන බැවින් විය හැකි ය. රාජ නීතිය සහ බුද්ධ නීතිය අතර සම විෂමතා දක්නට ලැබේ. එහෙත් පැවිදි සමාජයේ ක්‍රියා පිළිවෙත ගිහි සමාජයෙන් (මහාසමාජය) බොහෝ සෙයින් වෙනස් වේ. රජවරුන්ගේ හෝ ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත සහ මහජනයාගේ උද්ඝෝෂණයන් පදනම් කොට ගෙන පමණක් නොව සමකාලීන ආගමික සම්ප්‍රදායයන් හා සමගාමී වීමෙන් ද පැන වූ විනය ශික්‍ෂාවන්ගෙන් බුදුන් වහන්සේ අපේක්‍ෂා කළ අරමුණු 10 ක් පිළිබඳව පාරාජිකා පාළියේ විස්තර වේ.

01. සංඝයාගේ යහපැවැත්ම පිණිස
02. සංඝයාගේ පහසුව පිණිස
03. නොදැමුණු පුද්ගලයන් හික්මවීම පිණිස
04. විනයගරුක භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස
05. මෙලොව වශයෙන් උද්ගත වන ආශ්‍රවයන් කෙරෙන් ආරක්‍ෂා වීම පිණිස
06. පරලොව හා සම්බන්ධ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස
07. නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස
08. පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස
09. සද්ධර්මයේ චිර පැවැත්ම පිණිස
10. යහපත් චර්යාවට අනුබල දීම පිණිස

මෙකී සමස්ත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් විශද වනුයේ විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහ පැවැත්ම බවයි. එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය. දඹදිවට අධික වැසි සහිත කාලය (වර්ෂා සෘතුව) ඇසළ මාසයත් සමඟ උදා වේ. මෙකල හටගන්නා වැස්ස ඇතැම් විට දින 07 ක් පුරාවටම අඛණ්ඩව පැවතේ.

බුදුන් වහන්සේ වේළුවන අරමෙහි වැඩවසන සමයෙහි භික්‍ෂුහු හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවෙහිම වෙනසකින් තොරව ධර්ම ප්‍රචාරයේ හැසිරෙති. මේ බව දුටු මහජනයා කළකිරීමට පත්ව ප්‍රකාශ කර සිටියේ අන්‍ය තීර්ථකයින් පමණක් නොව පක්‍ෂීන් පවා එක්තැන්ව සිටින වස්සාන සෘතුවෙහි ළා තණ මඩිමින් භික්‍ෂූන් සංචාරය කිරීම පිළිකුල් සහගත බවයි. මෙම කරුණ පදනම් කොටගෙන බුදුන් වහන්සේ විසින් “අනුජානාමි භික්‍ඛවෙ වස්සං උපගන්තුං” යනුවෙන් මහණෙනි වස් විසීමට නියම කරමියි දෙසූහ. මෙහිදී වස් වැසිය යුත්තේ කවදාද යන පැනය උද්ගත වූයෙන් “අනුජානාමි භික්‍ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් එය සංශෝධනය කරමින් වස්සාන සෘතුවෙහි වස් විසිය යුතු බවට අනුදැන වදාළහ.

වස් විසීමේ චාරිත්‍රය පිළිබඳව තව දුරටත් කරුණු පැහැදිලි කරන බුදුන් වහන්සේ ‘පෙර වස’ සහ ‘පසු වස’ වශයෙන් වස් විසීමේ ක්‍රම 02 ක් ඇති බවත් ඇසළ මස අව පෑළවියදා පෙර වස් වසන දිනය සහ එයින් මසකට පසුව උදාවන නිකිණි මස අව පෑළවියදා පසු වස් වසන දිනය ලෙසද නම් කෙරිණි. ඇසළ මස පුණු පොහෝ දින පොහොය කොට සිටි භික්‍ෂූන් වහන්සේට වැසි සළු, දැහැත් ගොටු ආදිය පිළිගන්වා මෙතැන් සිට වස් කාලය පුරාවටම අප සෙනසුනේ වැඩ වසන ලෙසත් එම කාලය තුළ සිවුපසයෙන් උපස්ථාන කිරීමට බැඳී සිටින බවත් දායක පින්වතුන් විසින් දැන්විය යුතු ය. එසේ කිසිඳු ඇරයුමක් නොවූයේ නම් යෝග්‍යස්ථානයක් තමා විසින්ම වුව තෝරාගෙන වස් කාලය එහි ගත කළ යුතු ය. වස් නොවිසූ උපසපන් භික්‍ෂුවට සහ වස් වසා පෙර පරිදිම චාරිකාවේ යෙදෙන භික්‍ෂුවට දුක්කටාපත්ති වේ

මෙහිදී බුදුන් වහන්සේ විසින් වස් විසීමට නුසුදුසු ස්ථාන රාශියක් ද පෙන්වා දී ඇත. එනම් ගස්බිලය, ගස්වල අතු බෙදුනු තැන්, එළිමහනෙහි, මිනී කුටියෙහි, වහලය හෝ දොරක් නැති තැනක, කුඩයක් යට, සැළියක් යට යනාදි තැන් වර්ජනය කළ යුතු බැවින් මෙම තන්හි වස් විසුයේ නම් දුක්කටාපත්ති වන බවත් දෙසූහ. සුදුසු ස්ථානයේ යෝග්‍යකාරයෙන් වස් විසූ භික්‍ෂූන් වහන්සේ අදාළ ආරාමයෙන් බැහැරට යන්නාහු නම් එදිනම නැවතත් ආරාමයට පැමිණෙමියි යන අදිටනින් යුක්තව යෑම සතිකරණය නම් වන අතර එදින නොපැමිණ සත් දිනක් තුළ ආපසු පැමිණීමේ නිගමණය ඇතිව යෑම සත්තාහකරණය නම් වේ. එබැවින් විහාරස්ථානයෙන් බැහැරව යන සෑම විටම තමා වස් සමාදන්ව ඇති බව සිහිකට යුතු ය. එය සිහිපත් වනු වස් මෙම කාලය තුළ බොහෝ විහාරස්ථානයන්හි අයං වස්සාන කාලො යනුවෙන් සටහන් කළ පුවරුවක් භික්‍ෂූන් වහන්සේට හොඳින් පෙනෙන ස්ථානයක සවිකර තිබෙනු දැකිය හැකි ය.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]