UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමක් වූ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුදු සසුනටත්, රටටත්, දැයටත් සිදුවූ බලවත් පාඩුවකි

2012 අගෝස්තු 29 වැනිදා සන්ධ්‍යා සමයේ බොදු ජන හදවත් කම්පාවටත්, සොවටත් පත් කරවන පුවතක් පැතිර ගියේ ය.

පසුදා වන විට මීරිගම නගරය පුරාත්, ඒ අවට මෙන්ම දුර බැහැරත් කහ වර්ණයේ ධජ ඔසවා තිබුණි.

ශාන්ත සුන්දර නිසල පරිසරයක පිහිටි ඒ පුදබිමට ඇතුළු වන විට වෙනදා නෙත ගැටුනු හැම නෙත් සොවින් බර වී තිබෙනු දක්නට ලැබුණි.

අති සම්භාවනීය තෛ‍්‍රනිකායික පූජනීය මහ සඟරුවන අතර විවිධ තරාතිරම්වල ලොකු කුඩා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙන් ම මීරිගම මෙන්ම විවිධ පළාත්වලින් සුදුවතින් සැරසී පැමිණ සිටි දහස් සංඛ්‍යාත බොදු දනන්, අන්‍ය ආගමික පූජක උතුමන් , මැති ඇමතිවරුන් පෙළින් පෙළට ළඟාවූයේ අපවත් වී වදාළ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් පූජෝපහාර දැක්වීමට ය.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දර ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය, සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති අතිපූජ්‍ය වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් 29 වැනි දා පස්වරුවේ සකර දම් අනියත බව පසක් කරමින් අපවත් වී වදාළහ.

සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමක් වූ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුදු සසුනටත්, රටටත්, දැයටත් සිදුවූ බලවත් පාඩුවකි.

ගම්පහ දිසාවේ වේවැල්දෙණිය මිල්ලවල සිංගම්කුට්ටිආරච්චිගේ ඉසන් අප්පුහාමි සහ රාජපක්‍ෂ විතාරණලාගේ ලියඟුහාමි දම්පතීන්ගේ පින්බර පුත්රුවනක් ලෙස 1909 දෙසැම්බර් 07 වැනි දා උන්වහන්සේ උපත ලැබීය.

නිසි වයස පැමිණි කල්හි එවකට තෝලංගමුව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුමරුවා නාගස්ඇල්ල විවේකාරාමයේ දී වාද්දුවේ ධම්මදින්න හිමියන් යටතේ ද පස්වරුවේ අකුරු කරන ලදී.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ කදිරාගම සුමනසාර මාහිමියන්ගේ සහ කතළුවේ සීලවංශ මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අනුරාධපුර අභයගිරි විහාරයේ දී 1922 මැයි 26 වැනි දා ‘වේවැල්දෙණියේ මේධාලංකාර හිමි’ නමින් පැවිදි බිමට පත් විය. 1926 ජනවාරි 01 වැනි දා මීරිගම ශාසනවර්ධන පිරිවෙනට වැඩම කළ මේධාලංකාර හාමුදුරුවෝ සිය ගුරුදේවයාණන් වහන්සේ වෙතින් මූලික පැවිදි අධ්‍යාපනය ලබමින් නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ මාතලේ ධම්මසිද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දීපේගොඩ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ළඟින් ඇසුරු කළහ. 1930 දී හාපිටිගම කෝරළයේ මා ඔයේ ලෝලුවාගොඩ ඉඹුල්ගොඩ, ඉඹුල්ගහමංකඩ උදකුඛෙප සීමාමාලකයේ දී උපසම්පදාව ලැබූහ.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් ඉමහත් ශාසනික, අධ්‍යාපනික හා සමාජ මෙහෙවරක් සිදු කළ වේවැල්දෙණියේ මේධාලංකාර හාමුදුරුවෝ 1950 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරුවලට පත්වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ පොත්තේවෙල පඤ්ඤාසාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට 1998 දී වේවැල්දෙණියේ මේධාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්වූහ.

තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි සාමගි‍්‍රය හැමවිට අගය කළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය අදහස් නිරන්තරයෙන් අභීතව පළ කළහ.

හැම විට පොදු ජන යහපත මෙන්ම සුබසෙත අපේක්‍ෂා කළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ චාම් සරල දිවි පෙවෙතක් ගත කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දොළොස්වන මහානායක පදවියට පත් වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වයසින් වසර 103 ක් සපිරුවද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩ සිටීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත වූහ.

ජපානය, ඕස්ට්‍රේලියාව, සිංගප්පුරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, බුරුමය, කාම්බෝජය ආදී රටවල් රැසකට වැඩම කර ඇති වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැරැදි දෙය වැරැදි ලෙස පෙන්වාදීමටත්, නිවැරැදි දෙය අගය කිරීමටත් සමත් වූහ. උන්වහන්සේ ළඟ හැම විට පැවැතියේ රට, දැය, සමයට සෙත සලසන හේතු සාධකය.

ශාසනික මෙහෙවරේ දී වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියම් මහා නිකායේ සහ අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමඟ සාකච්ඡා කර පොදු තීරණවලට පැමිණීමට උන්වහන්සේ කැපවූහ.

මෙරට පොදු ජනතාවගේ ගෞරවයට පාත්‍රව වැඩ විසූ වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපේෂල ශික්‍ෂාකාමී සංඝපීතෘවරයකු වූහ. ජාතික ආගමික හා සමාජයීය කටයුතුවලදී අනුශාසකයන් වහන්සේ නමක් වූහ. රටේත් ශාසනයේත් උන්නතිය වෙනුවෙන් මහ මෙහෙවරක් නිහඬව ඉටු කරමින් සෘජු ප්‍රතිපත්ති ගුණයෙන් යුක්ත වූහ.

වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් ශාසන ශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වර සිරි සරණංකරෝපසේන වංශාවතංස ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් ‘ධර්ම ශාස්ත්‍ර ශිරෝමනී’ ගෞරව නාමයෙන්ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලය මගින් ‘සාහිත්‍ය චක්‍රවර්ති’ ගෞරව නාමයෙන්ද අමරපුර මූලවංශික මහා නිකාය මගින් ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූ වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුරුම රජය මගින් ‘අග්ගමහා සද්ධම්මජෝතිකාධජ ගෞරවනාමයෙන් ද පිදුම් ලැබූහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රි කරු ජයසූරිය මැතිතුමා සහ මහා භාරකාර සරත් සෙනෙවිරත්න මැතිතුමා ඇතුළු ජයන්ත සුමනසේකර මහතා ඇතුළු පින්වත් දායකකාරකාදීන් අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුවදුක් නිතර සොයා බලමින් කටයුතු කළ බව මහනාහිමියන්ගේ පුද්ගලික ලේකම් සීතාඑළියේ චන්දානන්ද හිමියෝ කෘතවේදීව සිහිපත් කරති.

උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් පූජෝපහාර දැක්වීම මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ දී සිදු කැරිණි. වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත රාජ්‍ය අනුග්‍රහයෙන් සැප්තැම්බර් 03 වැනිදා මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී සිදු කැරිණි. එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබිණි.

සසුනඹර එකලු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමාමහ නිවන් සුව පතමු.

 

අධි බිනර අව අටවක පෝය

අධි බිනර අව අටවක පෝය සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 05.31 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්ව භාග 07.56 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]