UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විදේශිකයන් දුටු මහනුවර ඇසළ සිරි

ඩේවි දක්වන මහනුවර ඇසළ පෙරහර විස්තරය දහනවවැනි සියවසේ දෙවැනි දශකයේ තත්ත්වය කෙසේ වීද යන්න දැන ගැනීමට අපට උපකාරි වෙයි. එදා මෙදා තුර දළදා පෙරහරේ වෙනස්වීම් කවරේද යන්න අධ්‍යයනයට මෙම විස්තරය වැදගත් වන බව කිව යුතුය.

( අගෝස්තු 01 වනදා පත්‍රය හා සම්බන්ධයි)

අනාදිමත් කාලයක සිට රටේත් රට වැසියන්ගේත් ශුභ සිද්ධිය සඳහා වර්ෂයක් පාසාම පවත්වනු ලබන මෙම පෙරහර වර්ෂ 1664 දී පවත්වන්නට මහරජතුමා ඉඩ නොදුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෝ එම වර්ෂයේ රජුට විරුද්ධව මහ කැරැල්ල ඇති වූයේය. එයින් පසු කිසිම වර්ෂයක පෙරහර අවලංගු කරලන්නට මහ රජු බිය විය.

මෙම පෙරහර කාලය තුළ හත් අට දවසක් මුළුල්ලේ නගරයේ ඒ ඒ තැන පවත්නා නැටුම් හා ගැයුම් බොහෝය. මෙලෙසින් නොක්ස් දක්වන මෙම ඇසළ පෙරහැරේ තොරතුරු ඇසුරෙන් එම අවධියේ පාලකයා හා පාලක මඬුල්ලත් සාමාන්‍ය ජනතාවත් එක්ව දෙවියන් වෙනුවෙන් මෙම මහා උත්සවය පවත්වා ඇති බවක් පෙනේ. එමෙන්ම එය රටේ එවකට පැවැති ප්‍රධාන උත්සවයක් වූ බව නොක්ස් දක්වන මෙම තොරතුරු තුළින් පැහැදිලිය.

ඉංගී‍්‍රසින්ට වෙරළබඩ ප්‍රදේශ සහ උඩරට ද නතුවීමෙන් පසු මෙරට පැමිණි විද්වතකු ලෙසින් ජෝන් ඩේවි (John Devy) සඳහන් කළ හැකිය.අපරදිග ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කතුවරයකු වන හම්පි‍්‍ර ඩේවිගේ (Humphery Davy) සහෝදරයකු වන මොහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වේ. එවකට ලක්දිව පාලනය කළ ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග්ගේ (Robert Brownrigg) පෞද්ගලික වෛද්‍යවරයා ලෙසින් ද කටයුතු කොට තිබේ. මෙලෙසින් කටයුතු කළ ඩේවි සිය වෛද්‍ය කාර්ය මණ්ඩලයත් සමඟින් වර්ෂ 1816 අගෝස්තු සිට 1820 පෙබරවාරි දක්වා ශ්‍රී ලාංකේය සමාජයේ විවිධ පැතිකඩ සම්බන්ධව එකතු කරගත් සමාජ පාලන ආර්ථික හා සංස්කෘතික තොරතුරු ද පාරිසරික තොරතුරු ද ඇතුළත් කොට ග්‍රන්ථයක් සම්පාදනය කළේය. 1821 දී එය ප්‍රකාශයකට පත් කළේය.

දහනවවැනි සියවසේ දෙවැනි දශකයේ ලක්දිව විසූ විදේශීය වාර්තාකරුවකු වන ජෝන් ඩේවි විසින් මෙරට සම්බන්ධයෙන් තබන ලද වාර්තා අතර මහනුවර ඇසළ පෙරහර ගැන දක්වන වාර්තාව සුවිශේෂිතය. මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය හා එහි පෙළ ගැස්මත් ඒ සම්බන්ධිතව පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා වූ සියල්ලෝම කටයුතු කළ ආකාරයත් විස්තරාත්මකව දැන ගැනීමට ඩේවිගේ වාර්තාව වැදගත්ය.

ඩේවි සඳහන් කරන ආකාරයට ඇසළ මාසයේදී ජාතික මහා උත්සවයක් ලෙසින් මහනුවර ඇසළ පෙරහර පවත්වා ඇත. නව සඳු පුර පෑළවිය දින පෙරහර ආරම්භ කළ බව ඩේවි දක්වයි. විෂ්ණු දෙවියන්ගේ උප්පත්තිය සිහිපත් කිරීම අරභයා මෙය පැවැත්වේය යනු එවකට ඇතැමකු අදහස් කරන බව ද ඔහු පෙන්වා දෙයි. මෙම උත්සවය අවසන් වනුයේ අව පෑළවිය දිනයේ බව ඔහු දක්වයි.

පුර පෑළවිය දිනට දින කිහිපයකට පෙර ප්‍රධාන දේවාල සතරේ මිනිස්සු එක් රැස්ව ගෙඩි පල හට නොගන්නා තෙවියතක් කඳ ඇති කොස් ගසක් තෝරා ගනිති. පසුව දුම්මල දුම් ඇල්ලීමෙන් ද සඳුන් දුම් ඇල්ලීමෙන් ද එම ගස පේ කොට ඒ විගසම ගස කපා හෙළන බව ඩේවි දක්වයි. හිස් සෝදා නහා පිරුවටයක් හැඳගත් විෂ්ණු දේවාලයේ ගස් කපන්නාට මේ කාර්යය පැවැරෙන අතර ඔහු විසින් මේ කඳ කැබැලි සතරකට කපනු ලබන බවත්, කපන ලද එක් එක් ලී කැබැල්ල හේවිසි සහිතව ඒ ඒ දේවාල (මහනුවර අනෙකුත් දේවාල) වෙත ගෙන යන ලද බවත් සිය කෘතියේ ඔහු සඳහන් කරයි.

පුර පෑළවිය දින කැප කළ කොස් කඳ ඒ ඒ දේවාල බිමේ සිටුවා ගොක් කොළ හා මල්වලින් සරසන ලද පැලකින් ආවරණය කෙරේ. මෙදින සහ මීළඟ දින තුන තුළ එක් එක් දේවාලයේ කපු රාලවරු දෙවියන්ගේ දුනු හී ගෙන කොස් කඳ වටා මහ පෙරහරින් යති.

පස් වැනි දින සියලුම නිළමේවරුන් ඇතුළු ජනතාව දහස් ගණනෙන් රැස්වන බවත් රන්සිවි ගෙවල්හි තැන්පත් කරන ලද දේව ආභරණ හා ධාතුන් වහන්සේ මහ පෙරහරෙන් වැඩමවනු ලබන බවත් ඩේවි සඳහන් කරයි. ඔහුගේ සඳහනට අනුව එලෙසින් ගමන් ගත් පෙරහරේ සැකැස්ම මෙසේ විය.පෙරහරේ අනුපිළිවෙළ ක්‍රමවත්ව පෙන්වා දීම ද වැදගත්ය.

පළමුවෙන් ගජනායක නිළමේ සහ රජුගේ අලි ඇතුන් ගමන්කොට ඇත. පසුව කොඩිතුවක්කු නිළමේ හා කොඩිතුවක්කු ද තුවක්කු හා කොඩි රැගත් සතර කෝරළ දිසාවේ මිනිසුන්ද එහි දිසාවේ සහ සුළු නිලධාරින් ද සත් කෝරළ වාසීන් ද ඌවේ, මාතලේ, සබරගමුවේ, වලපනේ හා උඩපළාතේ යනාදි මේ සදිසාවාසින්ද සැරැසී පැමිණ මෙම පෙරහරට සම්බන්ධ වී ඇත. ඉන් අනතුරුව ධාතුන් වහන්සේ රැගත් මාලිගයේ ඇත් පන්තියද මොවුන් පසු පස තවත් ඇතුන් ද කුඩ,සේසත්, කොඩි, තලඅතු, පලිස්, බෙර, දවුල්, හොරණෑ සහිත මාලිගාවේ මිනිසුන් හා නැට්ටුවන් පෙරටු කොටගත් දියවඩන නිළමේ ද නානායක්කාර ලේකම් ද පෙරහරේ ගමන් කර තිබේ.

නාථ දේවාලයට අයත් ස්ත්‍රීන් විසින් පිරිවරන ලදුව දෙවියන්ගේ දුනු හී උසුලාගෙන ගිය නාථ දේවාලයේ ඇතා ද පිරිවර සහිත බස්නායක නිළමේ ද ඊළඟට පෙරහරේ ගමන් කළහ. මහා විෂ්ණු දේවාලයේ ඇතාද දුනු හී ගත් මිනිසුන් ද පිරිවර සහිත බස්නායක නිළමේ ද විෂ්ණු දේවාලය වෙනුවෙන් පෙරහරට එක්විය. මීළඟට කතරගම දේවාලයේ පෙරහර, පත්තිනි දේවාලයේ පෙරහර යන මේ දෙපෙරහරම මෙලෙසින්ම සිය දේවාභරණද සහිතව එක්වී තිබේ. පසුව තුවක්කු හා කොඩි රැගෙන සිය ප්‍රධානීන්ට පෙරටුව ගමන් කළ මහලේකම් දෙපාර්තමේන්තුවේ මිනිසුන් ද මුලින් සඳහන් කළ පරිදි සැරැසුණු අතපත්තු දෙපාර්තමේන්තුවේ මිනිසුන් ද අතුපත්තු ලේකම් හා උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර හා හේවාහැට යන රටවල රටේ මහත්වරුන්ද සෙසු දෙපාර්තමේන්තු හා පඩිකාර දෙපාර්තමේන්තුවේ මිනිසුන් ද මේ එක් එක් ලේකම් හා සුළු මුළාදෑනින්ද ඔවුන්ගේ පිරිවරද පෙරහරේ පසු පසින් ගමන් කළබව සඳහන්ය.

මේ පෙරහර පිට පිට ම පස් දිනක් වරක් පස්වරුවේ ද තවත් වරක් රාත්‍රියේ දැයි දිනකට දෙවර බැගින් අගනුවර ප්‍රධාන විථී සතර දිගේ ද නාථ දේවාලය වටා ද ගමන් කළේය. එහෙත් ධාතුන් වහන්සේ රාත්‍රී පෙරහරේ වැඩම නොකරන ලදී.ඇත්ත වශයෙන් කීර්ති ශ්‍රී යුගය එළැඹෙන තුරු ධාතුන් වහන්සේ වැඩමවීම පෙරහරේ අංගයක් නොවීය. පෙරහරේ ධාතු වැඩම කරවන ලෙස මේ රජු විසින් නියම කරන ලද්දේ භික්ෂූ පිරිසක් සෙංකඩගල පුරයට පැමිණි සිටි අවස්ථාවක, බුදුන්ට මෙන්ම දෙවියන්ට තමන් ගරු කරන බව උන්වහන්සේලාට පෙන්වීම පිණිස බව ඩේවි සඳහන් කරයි.

පස් දිනකට පසුව රන් දෝලි බෑම නම් පෙරහරේ තවත් වැදගත් කොටසක් ඇරැඹුණු බවත් මෙහිදී ඉහතින් විස්තර කළ පෙරහරට රන්දෝලී සතරක් එක් වූ බවත් එක් එක් දෙව් දුවට කැප කරන ලද ඒ ඒ දෝලියට එසේ කැප කරන ලද රන් කළය හා කඩුව බැගින් සපයන ලද බවත් ඩේවි කියයි. පස්වරුවෙහි දේවාභරණ රැගත් ඇතුන් පසු පස දෝලා ගෙන යන ලද්දේය. එහෙත් රාත්‍රියෙහි දෝලා ගෙන යන ලද්දේ ඇතුන්ට පෙරටුවය. දේවාලවලට අයත් ස්ත්‍රීන් පමණක් නොව රජු විසින් පරිත්‍යාග කරන ලද රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරැසුණු, නිළමේවරුන්ගේ තරුණ බිරියන් හා දූවරුන් ද දුක්ගන්නා මහත්මීන්ලා ද දෝලාවල පිරිවර වශයෙන් සැදී සිට ගත් බව ඔහු දක්වයි. මෙතෙක් කල් පෙරහර නැරැඹීමෙන් පමණක් සෑහීමකට පත්ව සිටි රජු රන් දෝලි බෑම පැවැති දින පස තුළම අසුන් අටදෙනෙකු විසින් අදින ලද රන් මුවා රියකට නැඟි සවස පෙරහරේ ගමන් ගත් බව ඩේවි පෙන්වා දෙයි. ස්වදේශීන්ගේ අදහස පරිදි පෙරහරේ මේ කොටස අත්‍යාලංකාරවූ බවත් නිළමේවරුන් සිය ඇඳුම්වල ශෝභාව හා පරිවාර සංඛ්‍යාව සම්බන්ධයෙන් ඔවුනොවුන් හා තරග කළ බවත් සඳහන්ය. මේ සංදර්ශනය අතිශෝබන හා මහානුභාව සම්පන්න කිරීම පිණිස හැමදෙනාම විශේෂයෙන් රජතුමා, ප්‍රයත්න දැරූ ආකාරය සිය ග්‍රන්ථයේ ඩේවි විශේෂයෙන් දක්වයි. පුර පසළොස්වක දින රාත්‍රියෙහි ධාතුන් වහන්සේ ප්‍රථම වරට රාත්‍රී පෙරහරට එක් කෙරෙන බව හා එදා පෙරහරෙන් පසුව ධාතුන් වහන්සේ මාලිගාවට පෙරළා නොගෙනෙන ලද බවත් මහනුවර අසල පිහිටි අස්ගිරි විහාරයේ තැන්පත් කරනු ලබන බවත් ඔහු සඳහන් කරයි.

එදින රෑ දේවාලවල දේවරූපවලට ආහාර පූජා කොට ඇත. මෙයින් පසු පෙරහර යළිත් ඇරැඹි මහවැලි ගඟ දෙසට ගමන් කළ අතර අත්‍යාලංකාර ලෙස සරසන ලද ඔරුවක් පෙරහරේ පැමිණීමේ බලාපොරොත්තුවෙන් ගන්නෝ්රුව තොටුපොළේ රඳවා තිබිණි. සතර දේවාලයේ කපු රාලවරුන් සතර දෙන අතවැසියන් සතර දෙනකු සමඟ රන් කළ හා කඩු රැගෙන එසේ සරසන ලද ඔරුවට නැගී ගඟ ඉහළට යාත්‍රා කළ බවත් අරුණෝදය අපේක්ෂා කරමින් ඔවුන් එහි නතර වී සිටින අතර අරුණෝදයත් සමඟම කපු රාළලා රන් කඩුවලින් දිය කපන බවත් අතවැසියන් පෙර වර්ෂයේ ජලය පිරි රන් කළ හිස් කොට දිය කැපූ තැනින් ජලය පුරවා ගන්නා බවත් සිය විස්තරය තුළින් ඩේවි පෙන්වා දෙයි.

මෙයින් පසු පෙරහර අස්ගිරි විහාරයට පෙරළා පැමිණ ඇත.මෙහිදී ධාතුන් වහන්සේ පෙරටු කරගත් රජු හා අමත්‍යවරුන් ද ගඟකරා ගිය පෙරහරට සහභාගි නොවූ සියලුම නිළමේවරුන් ද පෙරහරට එක්වීමෙන් අනතුරුව පෙරහර නුවරට පිවිස තිබේ. මෙයින් මෙම ඇසළ උත්සවය අවසන් විය.

මෙලෙසින් ඩේවි දක්වන මහනුවර ඇසළ පෙරහර විස්තරය දහනවවැනි සියවසේ දෙවැනි දශකයේ තත්ත්වය කෙසේ වීද යන්න දැන ගැනීමට අපට උපකාරි වෙයි. එදා මෙදා තුර දළදා පෙරහරේ වෙනස්වීම් කවරේද යන්න අධ්‍යයනයට මෙම විස්තරය වැදගත් වන බව ද කිව යුතුය.

ඉහත දක්වන ලද විදේශීය වාර්තාවන්හි අන්තර්ගත තොරතුරු දළදා වහන්සේ පෙරටු කර සිදු කරනු ලබන පෙරහර මංගල්‍ය ගැන මෙන්ම මහනුවර ඇසළ පෙරහරේ අතීත ස්වභාව ගැන ද දැන ගැනීමට ප්‍රයෝජනවත් වේ. සමකාලීන සමාජ සන්දර්භයේ විවිධ පැතිකඩද ඒ ඇසුරෙන් හඳුනා ගත හැකිය. පාලකයා හා පාලිතයා අතර මෙන්ම ප්‍රධාන පාලකයා හා පාලක මඬුල්ල අතර පැවැති සම්බන්ධතාව මෙයින් විද්‍යමානය. මහත් වූ ජනසහභාගිත්වයක් මත එක්තැන් වූ ජාතික උත්සවයක් ලෙසින් මහනුවර පෙරහර මංගල්‍යය පවත්වනු ලැබූ බව මේ මගින් සනාථ වේ. අතීත පෙරහරේ ස්වභාව මෙන්ම වත්මන් ඇසළ පෙරහරේ පෙළ ගැස්මට එක්ව ඇති නවාංග සහ බැහැරව ඇති පෙරහර අංග කවරේද යන්නත් අධ්‍යයනය කිරීමට විදේශීය රචකයන් විසින් දක්වනු ලබන මෙම තොරතුරු ප්‍රයෝජනවත් වේ.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]