UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසූමහා ශ්‍රාවක චරිත 18

බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු

සීවලී මහා ශ්‍රාවකයන් වහන්සේ

බුදු සසුනෙහි සුවිශේෂී ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ ශ්‍රාවකයන් වහන්සේ නමක් වශයෙන් සීවලී රහතන් වහන්සේ බෙහෙවින් ප්‍රසිද්ධයි. උන්වහන්සේ මවු කුස පිළිසිඳ ගත් තැන් පටන් සත් වසක් පුදුම සහගත ලෙස කුසෙහි සිටිය බවත් එයින් අනතුරුව සත් දිනක් පුදුම සේ වද වේදනාවට පත් වීමෙන් අනතුරුව බිහි වූ බවත් ධර්ම ග්‍රන්ථ පෙන්වා දී තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව වූයේ අතීතයේ කරන ලද අකුසල කර්මයක් විපාක දීම යි.

සීවලී හිමියන් පෙර ආත්මයක රජ පවුලක ඉපිද ක්‍රමයෙන් වැඩිවියට පත්ව රජ බවට පත් වූවා. ටික කලෙකට පසු වෙනත් කුඩා රාජ්‍යයක් යටත් කර ගැනීම පිණිස යුද වැදුණ නමුත් තම අරමුණ ඉටු කර ගැනීමට ඔහුට එතරම් ලෙහෙසි වූයේ නැහැ. මේ නිසා සත් අවුරුද්දකට වැඩි කාලයක් ඒ කුඩා රාජ්‍යයට ආහාර ගෙන යන මාර්ග ඇහිරුවා. එයින්ද මෙල්ල කළ නොහැකිව සිටින විට රජුගේ මවුතුමියගේ උපදෙස් පරිදි ආහාර ගෙන යන රහස් උමග අහුරා දැමුවා. මෙයින් බලවත් දුකට පත් වැසියන් තම රටේ රජතුමා මරා දමා සතුරු රජතුමාට යටත් වූවා. ආහාරපාන වළකා සත් වසරක වැඩි කාලයක් දරුණු ලෙස ජනතාව පීඩාවට පත් කළ ඒ රජතුමා මරණින් පසු අවීචි මහ නිරයේ ඉපිද තවත් වාර ගණනක් විවිධ ආත්ම වල දුකට භාජන වෙමින් අවුත් අන්තිමේ අප බුදුරදුන්ගේ කාලයෙහි සුප්පවාසා රජ දියණියකගේ කුස පිළිසිඳ ගත් කල්හි සීවලී හිමියන්ට කලින් සඳහන් කළ පරිදි මවු කුසේ දී බලවත් දුක්වේදනා විඳින්නට සිදු වුණා. ආහාර ගෙන යන මාර්ග වැසීමට උපදෙස් දුන් මව ද මරණින් මතු ආත්මභාව රාශියක්ම මහත් දුක් විඳ අන්තිමේ සුප්පවාසා නමින් උපත ලැබීමෙන් පසු වැඩිවියට පත්ව පිළිසිඳ ගත් දරුවා වෙනුවෙන් සිතිය නොහැකි තරම් බලවත් දුක් පීඩා වින්දා.

අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි ප්‍රත්‍යලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලබා වැඩ සිටියේ සීවලී රහතන් වහන්සේ යි. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන්ගෙන් විවරණ ලැබූ තැන් පටන් දාන ආදි මහා පින්කම් කළා. විශේෂයෙන් විපස්සි නම් බුදුරදුන්ගේ කාලයේ දී බන්ධුමතී නුවර උපත ලැබුවා. එකල රජතුමා සහ රටවැසියන් අතර තරගයට දන් පූජා කළා. එක් දිනක් රට වැසියන්ගේ දන් වාරයේ දී කවර නම් දෙයක් එහි අඩු දැයි පරීක්‍ෂා කරන විට මුද වූ කිරි නොමැති බව පෙනුණා. එය ගෙන ඒමට එක් කෙනෙකුට භාර කළා. ඔහු කිරි සොයමින් නගරයෙහි සැරිසරන විට ඉහත කී කුල පුත්‍රයා කිරි නැළියක් සහ දඬුවැල් බෑ එකක් විකිණීම සඳහා ගෙනයමින් සිටියා. එක් කහවණුවක් ගෙන ඒවා තමනට දෙන මෙන් ඉල්ලා සිටි නමුත් අන්තිමේ කහවණු දහස දක්වා ගෙවන බවට කැමැත්ත ප්‍රකාශ කළ නමුත් ලැබුණේ නෑ. මෙපමණ අධික මුදලක් ගෙවන්නට කැමැත්ත දක්වන්නේ ඇයි දැයි විමසුවා. එහි දී තරගකාරිව දෙන දානය පිළිබඳ විස්තර දැනගත් පසු මහත් පැහැදීමට පත්ව කිරි සැළියක් දඬුවැල් බෑ මීයත් නොමිලේ සියතින්ම පූජා කිරීමට ඉදිරිපත් වුණා. මේ අන්දමට අපමණ දාන විවිධ ආත්මවල පූජා කරමින් උපන්උපන් සැම ආත්මයක් පාසා ලාභයන්ගෙන් සහ යසසින් උසස් තත්ත්වයක් තමනට හිමිවේවායි කළ ප්‍රාර්ථනය නිසා සීවලී හිමියන් ලාභීන්ගෙන් අග්‍ර තත්වයට හිමි කර ගත්තා.

සීවලී හිමියන් සුප්පවාසා නම් කෝළිය වංශික රජ දියණියගේ කුසෙහි පිළිසිඳගත් දා සිට රජ පවුලට අපමණ සැප සම්පත් ලැබෙන්නට වූවා. අටු කොටු ධාන්‍යයෙන් පිරී ගියා. සුප්පවාසා කුමරිය සැළියෙන් බත් ගත් විට කවර වේලාවකවත් එහි අඩුවක් නොපෙනීම වැනි පුදුම සහගත පුණ්‍ය ලක්‍ෂණ පෙනෙන්නට වුනා. කුසෙහි ගත කළ සත් වසර අවසන් වීමත් සමඟ මවට පුදුම වේදනාවක් දැනුණා. තමා මියයාවිය යි සැකයක් ඇති වූයෙන් එයට පෙර බුදුපාමොක් සඟ රුවනට දානයක් දීමට වැඩම වන්නට යැයි ආරාධනා කරන මෙන් ස්වාමියාට දැන්වූවා. ඔහු සියලු තොරතුරු බුදුරදුන්ට දන්වා කළ ආරාධනය උන්වහන්සේ පිළිගත් අතර කෝළිය දියණිය වූ සුප්පවාසාවෝ සුවපත් වේවා! සුවපත්ව නිරෝගීව නිරෝගි වූ පුතෙකු බිහිකෙරේවා, යි වදාළා. මේ බුදුරදුන්ගේ ප්‍රාර්ථනය හේතු කරගෙන ඇය සුවපත්ව කුසින් දරුවා බිහි කළා. පී‍්‍රතියට පත් සුප්පවාසා ප්‍රධාන රජ පවුලේ අය එක් දිනකට කළ ආරාධනය සත් දින දක්වා වැඩි කොට මහ දන් පැවැත්වූවා.

සියලු දෙනාගේම දුක් බිය නිවා උපන් හෙයින් සීවලී නමින් හැඳීන්වූ කුමාරයා වැඩුණු ශරීර ඇතිව සිටි හෙයින් උපතින් සත්වන දින මවුපියන්ගෙන් අවසර ගෙන සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි වීමට කෙස් කපා අවසන් වත්ම රහත් භාවයට පත් වුනා. උන්වහන්සේ යම් ප්‍රදේශයක වැඩ සිටිනව ද පන්සියයක් දෙනා වහන්සේට සංග්‍රහ කිරීමට තරම් සිවු පසය ලැබීමේ මහා පුදුම වාසනාවක් තිබුණා. ඛදිරවනිය රේවත හිමියන් වැඩ සිටි මහා කටුක වන ප්‍රදේශය දෙව් ලොව හා සමාන සුන්දරත්වයට පත් වීමේ සිදුවීම සීවලී හිමියන්ගේ පුණ්‍ය මහිමය පෙන්වන හොඳ නිදසුනක්. අමනුෂ්‍ය උවදුරු පවතින ප්‍රදේශයක දී වුවද දෙවි බඹුණෝ පැමිණ ඇප උපස්ථාන කරන තරමට වාසනාව ඇති වූයේ කලින් සඳහන් කළ දී කිරි සහ මීපැණි පූජා කිරීම වැනි පින්කම් වල ආනිශංස නිසා බව අප සිහියේ තබා ගන්න ඕන.


අසූමහා ශ්‍රාවක චරිත 17 - බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු - කුටීකණ්ණ සෝණ මහා ශ්‍රාවකයන් වහන්සේ

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]