UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්ෂූන් වහන්සේලාගේ වස් විසීමේ මහා පින්කම

අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” මහණෙනි වස්සාන සෘතුවෙහි වස් එළඹෙන්නට මම අනුදනිමියි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර වදාළහ. මේ ඇසූ භික්ෂූන් වහන්සේලාට වස් විසීම් කෙතෙක්දැයි විමතියක් උපන්හ. එම විමතිය බුදුරජාණන් වහන්සේට දැන්වූ පසු උන්වහන්සේ මහණෙනි පෙර වස් එළඹීම, පසු වස් එළඹීම යනුවෙන් වස් එළඹීම් ක්‍රම දෙකකි. ඇසළ පුර පසළොස්වක පොහෝ දිනට පසු දින පෙර වස් විසීම ද , ඇසළ පොහොය දිනයෙන් මසක් ඉකුත් වූ කල්හි නිකිණි පුර පසළොස්වක අව පෑළවිය දිනයෙහි පසු වස් විසීම ද, වස් විසීමේ සාමාන්‍ය චාරිත්‍රය වේ. වප් මස පසළොස්වක දක්වා පෙර වස් වැස පවාරණය කිරීමද, ඉල් මස පුර පසළොස්වක දක්වා පසු වස් එළඹ පවාරණය කිරීමද දේශනා පාලියට අනුව කළයුතු වේ. මේ වස් විසීමේ ක්‍රම දෙකයි.

වස් විසීමේ චාරිත්‍ර ධර්මය ආරම්භ වූයේ මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. බරණැස ඉසිපතනාරාමයේ දී බුදුරජාණන් වහන්සේ සමග පස්වග මහණුන් වස්විසීම, ශාසන ඉතිහාසයේ පළමුවන වස් විසීමයි. තීර්ථකයන්, පරිබ්‍රාජකයන් වැනි වෙනත් ආගම් අදහන්නන් වස්සාන කාලයෙහි හැසිරීම් ආදියෙන් වෙන්ව එක් ස්ථානයක ජීවත් වූහ. කුරුල්ලන් වැනි තිරිසන් සතුන් ද වස්සාන කාලයෙහි ගොදුරු සෙවීමට උත්සාහ නොගෙන කූඩු තුළම එක්තැන්ව වාසය කරයි. නමුත් ශ්‍රමණ භික්ෂූන් වහන්සේලා හේමන්තයෙහි, ගිම්හානයෙහි වස්සානයෙහි යන හැම කල්හිම නිල් තණ මඩිමින්, පා ගමනින්, ඒකේන්ද්‍රීය, ජීවිත පෙළමින් චාරිකාවෙහි හැසිරුණහ. මේ දුටු මහජනයා කවර කරුණක් නිසා වස්සාන කාලයෙහි හැසිරෙන්නෙහුදැයි භික්ෂූන් වහන්සේලාට අවමන් කළහ. දොස් නැගූහ. ඝෝෂා කරන්නට වන්හ. මේ ඇසූ භික්ෂූහු ඒ කරුණ බුදුරජාණන් වහන්සේට දැන්වූු විට “අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” වර්ෂා (වස්සාන) කාලයෙහි වස් එළඹෙන්නට අවසර දෙන්නෙමියි යනුවෙන් දේශනා කළ සේක.

සමහර වර්ෂ අධි මාසයකින් යුක්ත වේ. මේ අවුරුද්ද එවැනි වර්ෂයකි. අධි මාසයකින් යුක්ත වර්ෂයකදී පෙර වස් විසීම අරඹන්නේ ඇසළ පොහොයට නොව නිකිණි පොහොයට පසු දිනයි. නැතහොත් අධි පුර පසළොස්වක පොහොය පසු කොට ඇසළපුර පසළොස්වක පොහොයට පසු දිනයි. පසු වස් විසීම ද මාසයකින් කල් යයි. සමන්ත පාසාදිකාවේ වස්සික සාටික ශික්ෂා පද වර්ණනාවේ “වස්සං උක්කඩ්ඩයතිති” යන පාඨයෙන් ගිම්හාන සෘතුවේ අන්තිම මාසය ගෙවා වස්සාන සෘතුවේ පළමු මාසය උඩට ඇද ගිම්හානයේ අන්තිම මාසයේ වස් එළඹීම අරඹන ලද බව දක්වා තිබේ. අධි මාසය යනු යම් අවුරුද්දක චන්ද්‍ර මාසයක් හෙවත් පසළොස්වක පොහොයක් වැඩිවේද එනම් පසළොස්වක පොහොයන් 13 ක් එක් වර්ෂයකට පැමිණේද එවිට සෘතුවකට මාසයක් අධි වේ. එබඳු අවුරුද්දක් පැමිණි කල්හි වස්සුක්කඩීඩනය කළයුතුය. බිම්සර මහරජ විසින් අධික ඇති වර්ෂය දැන අධික හරින්නට කියා සිටි බව මහාවග්ග පාලියේ පෙනෙන නිසාද, නක්ෂත්‍ර පදයන් හා ලෞකික පක්ෂ ඉගෙන ගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ නිසාද, අධික මාසය හැර වස් එළඹීම කළයුතු බව පැහැදිලි වේ. සෘතු වර්ෂයක් තුළ මාස 13 ක් වුවොත් එම වර්ෂයට අධික බව සාරාර්ථ දීපනි විනය ටීකාවෙහි “වස්සං උක්කඩ්ඩන්ති” යන්නෙන් පැහැදිලි වේ. සෘතු වර්ෂයකට මාස 13 ක් ලැබෙන්නේ එක රවියක් තුළ හෙවත් එක මාසයක් තුළ පසළොස්වක දෙකක් යෙදීමෙනි. මේ අවුරුද්දේ අගෝස්තු මාසයට පසළොස්වක පොහොයන් දෙකක් වීම නිසා 2012 වර්ෂය අධි මාසයක් ඇතුළත් වර්ෂයක් ලෙස ගණන් ගැනේ.

මේ අනුව සෑම උපසපන් භික්ෂූන් වහන්සේ නමක්ම පෙර වස් හෝ පසු වස් හෝ එළඹිය යුතුය. 2012 වර්ෂයේ නිකිණි පුර පසළොස්වක පොහොයට පසු දින එනම් අගෝස්තු මස 02 වෙනි දින පෙර වස් එළඹිය යුතුව තිබිණි. පසු වස් එළඹෙන භික්ෂූන් වහන්සේ බිනර පුර පසළොස්වක පොහොයට පසු දින එනම් සැප්තැම්බර් 01 වෙනි දින ගත යුතු වේ. ඔක්තෝබර් මස 30 දා සිට නොවැම්බර් මස 27 වෙනිදා දක්වා චීවර මාසයයි. මෙම කාලය තුළ කඨින චීවර පුජා කිරීම් කර අවසන් කළ යුතු වේ. පසු වස් එළඹෙන භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් දැරීම සුදුසු නොවේ. එසේම වස් බිඳ ගන්නා භික්ෂූන් වහන්සේටද කඨින චීවරයක් දැරීම සුදුසු නොවන්නේය.

යම් භික්ෂූන් වහන්සේ නමක් වස් නොඑළඹෙන්නේ නම් එම භික්ෂුවට දුකුළා ඇවැත්වේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව මහා වග්ග පාලියේ සඳහන් වේ. ඒ අනුව සෑම උප සපන් භික්ෂුවක්ම වස් එළඹිය යුතුය. වස් එළඹීම ගස් යට, ගස් සිදුරෙහි, රුක් වෙලෙප්හි, ඡත්‍ර යට, එළිමහන්වල, සුසාන භූ®මිය, ආදි ස්ථානවල වස් එළඹිය යුතු නොවේ. වහලක් හා දොරක් ඇති සෙනසුනක්ම සොයාගෙන නියමිත දිනයෙහි වස් එළඹීම කළයුතු වේ. දායක කාරකාදින් විසින් භික්ෂූන් වහන්සේට වස් එළඹීමට සෙනසුනක් සපයා දිය යුතුය. සෙනසුනක් කරවා නුදුන්නහොත් තමා විසින්ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතුවේ. වස් එළඹීම සිදුකරන දිනයෙහි දායකවරුන් විසින් වැසි සළු සහ දැහැත් ගොටු සකස් කරගෙන විහාරස්ථානයට ගොස් “ස්වාමීනි මේ වස් සාර මාසය (විවර මාසය සමග) තුළ අපි ඔබ වහන්සේලාට හැකි පමණින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදුකරනු මැනවයි යනුවෙන් වස් එළඹෙන ලෙස භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළයුතුය. එය මහඟු පිංකමකි. එම වැසි සළුව භික්ෂූන් වහන්සේ විසින් වස් සාර මාසයෙහි අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගත යුතු බව පැහැදිලි වේ. එය වැසි සළුව භික්ෂූන් වහන්සේ පාවිච්චි කරන මොහොතක් පාසාම දායකයාට මහත් කුසල් වැඩේ.

වස් විසීම ලක්දිවට පැමිණියේ අනුබුදු මිහිඳු මා හිමිපාණන් ඇතුළු පිරිස ලංකාවට පැමිණීමෙන් අනතුරුවය. දෙවන පෑතිස් රජුගේ ආරාධනයෙන් මිහිඳු මා හිමි ඇතුළු දූත පිරිසත්, අරිට්ඨ සිංහල රහතන් වහන්සේ ප්‍රධාන 56 ක් රහතන් වහන්සේ යන 62 නමක් පළමුවෙන් වස් විසීම ආරම්භ කළහ. එතැන් පටන් මේ දක්වා අවුරුදු 2235 කට අධික කාලයක් වස් විසීමේ ක්‍රමය නොකඩවා පැවත ගෙන ඒමේ ගෞරවය ගරුතර මහා සංඝ රත්නය සතුව පවතී. වස් විසීම, භික්ෂූන් වහන්සේටත් දායක පිංවතුන්ටත් කුසල් සිදුවන උතුම් පිංකමකි.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.13 ට ලබයි.
10 වන දා සිකුරාදා අපර භාග 01.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
අගෝස්තු 17 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]